එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරු යන්නේ ඇයි?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ දී විනාශ වීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවීම සහ ඊට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ලංකාවේ නඩු පැවරිය යුතු බවට විශේෂඥ කමිටු නිර්දේශ කර තිබුණද, එම නඩුව සිංගප්පූරුවේ පැවරීමට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. එම නඩුව පවරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව මගිනි.

මෙම නඩුව සිංගප්පූරුවේ පවරන බව නීතිපති සංජය රාජරත්නම් ද ඊයේ (16) සන්ඩේ ටයිම්ස් පුවත්පතට තහවුරු කර තිබිණි. ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ එහි පවතින නීති, නැව් සමාගමේ හිමිකාරිත්වය සහ සිංගප්පූරු නීතිඥ සමාගමක් හරහා මෙම කටයුතු සිදුකිරීම වඩා වාසිසහගත බවයි. ඕස්ට්‍රේලියානු නීති විශේෂඥයන්ගේ උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව පවත්වාගෙන යෑමට අපේක්ෂිත ය.

ඩොලර් බිලියන 6.2ක්

මෙම විනාශය පිළිබඳ ඇස්තමේන්තුගත වන්දිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ සඳහන් කර තිබිණි. එසේ ම මෙම නඩුව නොපවරා සිටීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 25ක අල්ලසක් හුවමාරු වී ඇතැයි ද ඇමතිවරයා මාධ්‍යයට පවසා තිබිණි. එහෙත් එම අල්ලස ලබාගත්තේ කවුද යන්න හෝ ඒ පිළිබඳ ගනු ලබන නීතිමය පියවර සම්බන්ධයෙන් ඇමතිවරයා කිසිදු අදහසක් දක්වා තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් විමසීමට අප අධිකරණ ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද, එය අසාර්ථක විය.

මෙම නඩුව සිංගප්පූරුවේ පැවරීමට සහ පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ණය මුදලක් ලබාගැනීමට ද මේ වන විට ආණ්ඩුව සැලසුම් සකස් කර තිබේ. කෙසේ වෙතත් නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පෙන්වා දෙන්නේ මෙම නඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිමත් සමුද්‍රීය නීති පද්ධතියක් ලංකාවේ පවතින බවයි.

දින 40ක් පමණයි !

පරිසර යුක්ති කේන්ද්‍රය නියෝජනය කරන නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැනි කටයුතු මගින් තවත් දින 40කදී මෙම නඩුව පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වුවහොත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වන්දි මුදලක් රටට අහිමි විය හැකි බවයි. එනම් මෙරට නීතියට අනුව මෙවැනි වන්දි නඩුවක් වසර 2ක් තුළ පැවරිය යුතුය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට අදාළ වන්දි ලබාගැනීමට නඩු පැවරීමේ වසර 2ක කාලය ලබන මැයි 19දා අවසන් වේ.

නීතිපති දෙපාර්තමේන්තුව ?

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නඩුවට අදාළ පූර්ව වන්දි ඇස්තමේන්තුව පවා නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙතෙක් විධිමත් ලෙස සකස් කර නැති බවයි. එසේ ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් මීට අදාළ ව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති වාර්තාව, මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවකු බාරයට පත්කොට හෝ එය අධ්‍යයනයට රජයේ නීතිඥවරයෙකු පත්කොට හෝ නොමැති බව ද අදාළ ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාපිත පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම වාර්තාව සහ ඊට අදාළ වැදගත් ලේඛන නඩුව පැවරීමටත් පෙර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගමේ නියෝජිතයන්ට ලබාදීමේ උත්සහයක් සම්බන්ධයෙන් ද අනාවරණය වී තිබේ. මෙම අනාවරණය වීම නිසා එය තාවකාලිකව වැළකී ඇත.

එක්ස්ප්‍රස් පර්ල් !

2021 මැයි 19දා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණියේය. එය මැයි 25 දින පුපුරා ගියේය. ජුනි 02 දින කොළඹ වරායෙන් නාවික සැතපුම් 9ක් දුරට නැව ඇදගෙන යනු ලැබිණි. එක්ස්ප්‍රස් ෆීඩර්ස් (X-Press Feeders) නම් සිංගප්පුරු සමාගමකට අයත් මෙම නැව මගින් ශ්‍රී ලංකා මුහුදේ සිදු වූ අනතුර, ලෝකයේ විශාලතම රසායනික නෞකා අනතුර ලෙස හැඳින්වේ.

විනාශයේ තරම

මෙම බරපතළ අනතුර පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කළ පරිසර යුක්ති කේන්ද්‍රය නෞකාවේ තිබූ අන්තර්ගතය පිළිබඳ මෙසේ සඳහන් කරයි.

‘එම නෞකාවේ තිබූ බහාලුම් 1,486ක් අතරින් 81ක පරිසරයට ඉතා අහිතකර සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය තිබූ අතර, බහාලුම් 349ක තිබූ මෙට්‍රික් ටොන් 9,700ක් වූ epoxy resin ද, මෙට්‍රික් ටොන් 6,700ක විවිධ වර්ගවල ප්ලාස්ටික් පබළු හා නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක්, ලිතියම් බැටරි, ඊයම්, මොලිබ්ඩික් අම්ලය ඇතුළුව පරිසරයට හානි කළ හැකි බොහෝ ද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ ගිනිගනිමින්, විශේෂයෙන් ම මීගමුව අවට මුහුදු තීරයේත්, ලංකාව වටා කිලෝමීටර් 750ක මුහුදු ප්‍රදෙශයකත්, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති වෙනත් රාජ්‍යයන් ද මුහුදු හා වෙරළ සම්පත් ද, අප්‍රිකාවේ සෝමාලියාව දක්වා ද සමුද්‍ර දූෂණය සිදුකරන ලදි.

එමගින් ඇසට දකින්නට ලැබුණු බහාලුම් කිහිපයක් සහ සරක්කුව අවට මුහුදු තීරය ප්ලාස්ටික් පබළුවලින් වැසී යන සේ දූෂණය වුවත්, නැව නිසා සිදු වූ මුළු දූෂණයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් මුහුදු ජලයේ සඟවාගෙන තිබිණි. මෙට්‍රික් ටොන් 80,000කට ආසන්න භාණ්ඩවලින් නැවත එකතු කරගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 1,762ක් පමණි.’

වගකීම

මේ නිසා 2021 ජුනි 30 වන විට තල්මසුන් අටදෙනෙක්, කැස්බෑවුන් 417ක්, ඩොල්පින් මසුන් 48ක් සහ සමුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබිණි. පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ මෙම මරණ පිළිබඳව කිසිදු මරණ පරීක්ෂණයක් මෙතෙක් සිදුව නැති බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සත්‍ය තොරතුරු සඟවන බවත් ය.

නිව් ඩයමන්ඩ් !

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් මුහුදේ දී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හටගත්තේ 2020 සැප්තැම්බර් 03දා ය. ග්‍රීක සමාගමකට අයත් මේ නැව, දිගින් මීටර් 330ක් වූ අතර, ඒ තුළ බොරතෙල් ටොන් 2,70,000ක් ක්වේට් සිට ඉන්දියාව වෙත ගෙනයමින් තිබිණි. එහි ගින්න සැප්තැම්බර් 03දා නැවේ යන්ත්‍රාගාරය තුළ හටගත් අතර, එය මුළුමනින්ම නිවා දමන්නට හැකිවූයේ සැප්තැම්බර් 11දා ය. සිද්ධිය නිසා තෙල් කාන්දුවීමක් සිදුවූ අතර, එය, නැවේ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා තිබූ තෙල් මිස ගබඩා ටැංකි තුළ තිබූ තෙල් නොවන බව ප්‍රකාශ විය. ඉන්පසුව මෙම නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් ඔබ්බට ඇදගෙන යන ලද අතර, පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන ගොස් තෙල් තොගය ගොඩබා තිබේ. එසේම මෙම ගින්න නිවීම වෙනුවෙන් වැයවූ මුදල ලෙස ප්‍රකාශිත රුපියල් මිලියන 441, එම නැව අයත් සමාගම මගින් ගෙවන ලදි.

නීතිය

මේ සඳහා බලපවත්නා නීතිය වන්නේ 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත ය. මේ පනත යටතේ මෙවැනි අවස්ථාවක අදාළ සමාගමට එරෙහිව අපරාධ නඩුවක් මෙන්ම සිවිල් නඩුවක් ද පැවරිය හැකි වේ. මේ පිළිබඳව අපරාධ නඩු පැවරීම කළ හැක්කේ පනතේ 26 වන වගන්තිය යටතේ ය. එසේම සිවිල් නඩුවක් පැවරීමට අදාළ ප්‍රතිපාදන පනතේ 34 වන වගන්‍තියේ දක්වා තිබේ. මේ නැව් අනතුර වලක්වා ගැනීමට නිසි පරිදි කටයුතු නොකිරීම යන කරුණ පාදක කර ගනිමින් නැවේ කපිතාන්වරයාට එරෙහිව අපරාධ නඩුවක් පවරන ලදි. ඔහු ඊට වරද පිළිගත් අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 12ක දඩයක් නියම කෙරිණි. ඔහු එය ගෙවා තිබිණි.

මිලියන 3,480 ?

නමුත් පරිසර හානියට අදාළ ව තක්සේරු කෙරුණු රුපියල් මිලියන 3,480ක මුදල නැව් සමාගමෙන් ගෙව්වේ නැත. පනතේ 34 වන වගන්තිය යටතේ පවරනු ලබන සිවිල් නඩුවක් හරහා ශ්‍රී ලංකාව මෙම මුදල අයකර ගත යුතුය. නඩුව පැවරිය යුතු බලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවයි. එම නඩුව පැවරීම ප්‍රමාද කරමින් සිට, කෙසේ හෝ නියමිත කාලය අවසාන වන දින නඩුව පැවරිණි.

නීතිපති ම තමයි !

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPE), 2022 මාර්තු මාසයේ අනාවරණය වූයේ අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා තිබෙන බවයි. සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ කටයුතු සිදුකිරීමේ බලය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට (Marine Environment Protection Authority – MEPA) පැවරී තිබුණත්, නඩු පැවරීමේ බලය පනතේ 50 වගන්තියට අනුව පැවරී තිබෙන්නේ නීතිපතිවරයා වෙත ය.
එම නිසා මේ නඩුව ගොනුකළ යුත්තේ නීතිපතිවරයා විසිනි.

උපුටා ගැනීම – https://thetime.lk

Social Sharing
නවතම විශේෂාංග