මාධ්‍ය වාර්තා නොකළ මාධ්‍යවේදියාගේ ගිනි අවි ජාවාරම!

පාතාලය සමඟ ව්‍යාපාර කළ තවත් මාධ්‍යවේදීන් 2ක් අල්ලන්න විමර්ශන

හෝමාගම දී පාතාලයේ අවි ගබඩාවක් අත්අඩංගුවට ගැනීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. ගිනි අවි 12ක් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් අතර, එය එක් ස්ථානයක තිබී අත්අඩංගුවට ගත් විශාලතම ගිනි අවි තොගය විය. පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු ලද තොරතුරක් මත මෙම ගිනි අවි තොගය අල්ලන්නේ ව්‍යාපාරිකයකුගේ ගබඩාවක සඟවා තිබිය දී ය.

පසුව කළ විමර්ශනයේ දී මෙම අවි කොස්ගොඩ තාරක නමැති අපරාධකරුට අයත් බවට අනාවරණය වීමත් සමඟ ඉදිරි පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ දී අනාවරණය වන්නේ මෙම ගිනි අවි තොගය පාතාලය අතට පත් වීම පිටුපස යුද හමුදාවට සම්බන්ධ පිරිසක් ද සිටින බව ය. මින්නේරිය ප්‍රදේශයේ පිහිටි යුද හමුදාවේ විශේෂ කඳවුරක තිබූ ගිනි අවි මෙලෙස පාතාලය අතට පත්ව ඇති බව දැනගැනීමෙන් විමතියට පත් වන අපරාධ පරීක්ෂඔහුගෙන් ලද අවසරය මත කරන ලද පරීක්ෂණවල දී ටී. 56 මෙන්ම ටී.81 වර්ගයේ ගිනි අවි 100ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් හොර රහසේ මින්නේරිය කඳවුරෙන් පන්නා අපරාධකරුවන්ට අලෙවි කර ඇති බව හෙළිව තිබේ. එලෙස පිටමං කළ ගිනි අවි අතුරින් ගිනි අවි 30ක් කොස්ගොඩ තාරක මිල දී ගෙන ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ කොස්ගොඩ තාරක මෙම ගිනි අවි මිල දී ගැනීමේ ව්‍යාපාරික කටයුත්ත කරන්නේ බන්ධනාගාරය තුළ සිටිමින් වීම ය.

කොරෝනා හේතුවෙන් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන දිනයන් මෙම ගිනි අවි කොළඹට ප්‍රවාහණය කිරීමට සුදුසුම දිනයන් ලෙස තීන්දු කරන කොස්ගොඩ තාරක මින්නේරියේ සිට අවි ගෙන ඒමේ කටයුත්ත භාර කරන්නේ නාරාහේන්පිට සිටින ඔහුගේ තවත් ගෝලයකුට ය.

නාරාහේන්පිට අමිල නම් ඔහුගේ ගමනට කොස්ගොඩ තාරක තවත් පුද්ගලයකු සම්බන්ධ කර දුන්නේ ය. ඔහු මාධ්‍යවේදියකු බව හෙළි වී ඇත. වෑන් රථයකින් මින්නේරිය බලා පිටත්ව යන මාධ්‍යවේදියා සහ අමිල වෑන් රථයේ ඉදිරිපස වීදුරුවේ ‘මීඩියා’ යනුවෙන් සඳහන් බෝඞ් ලෑල්ලක් ද සවි කරගෙන ඇත. ඔවුන් ගිනි අවි තොගය මින්නේරියේ දී වෑන් රථයට පටවා ගැනීමට යන අවස්ථාවේ දීත්, ගිනි අවි තොගය පටවා ගෙන එන අවස්ථාවේ දීත් වාර කිහිපයක දී පොලිස් මුරපොළවල මෙම වෑන් රථය නවතා ඇත.

නමුත්, වෑන් රථයේ ඉදිරිපස ‘මීඩියා’ යනුවෙන් සඳහන් වීමත්, එහි ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයා තමන් මාධ්‍යවේදියකු බවත් හඳුන්වා දීමෙන් පසු නිසි පරීක්ෂාවකින් තොරව පිට කර ඇත්තේ, රටේ මාධ්‍යයට ඇති පිළිගැනීම හේතුවෙනි. නමුත්, මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදැ වූ මේ පුද්ගලයා ප්‍රසාද් අබේවික්‍රම නම් අයකු බව පරීක්ෂණ අංශවලට අනාවරණය වී තිබේ. ඒ අනුව එම තැනැත්තා ඉකුත් 17 දා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ ගිනි අවි ප්‍රවාහණයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ය.

ඔහු ‘මව්බිම’ පුවත් පතේ අපරාධ තොරතුරු වාර්තාකරුවෙකි. නමුත්, ‘මව්බිම’ පුවත් පත පවසන්නේ, ඔහු තම පුවත් පතේ නිදහස් මාධ්‍යවේදියකු පමණක් බවයි. ‘මව්බිම’ පුවත් පතට සම්බන්ධ වීමට පෙරත් මොහු ‘රිවිර’, ‘දේශය’, ‘ජනයුගය’ හා ‘අරුණ’ වැනි පුවත් පත්වල සේවය කර ඇත.

අපරාධ තොරතුරු වාර්තාකරුවකු වන මොහු සිය මාධ්‍ය හැඳුනුම් පත අවභාවිත කරමින් මින්නේරිය ප්‍රදේශයේ ඇති හමුදා විශේෂ ඒකකයකට අයත් ගිනි අවි ප්‍රවාහණය කරන්නේ පාතාල සාමාජිකයකුගේ ගෝලයකු සමඟිනි. ගිනි අවි කොළඹට ගෙන ඒමට දුන් සහයෝගය හේතුවෙන් මොහුගේ ගිණුමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් බැර වී ඇති අතර, ඊට අදාළ කුවින්තාසිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.

තොරතුරු අනාවරණය වී මසක් ගත වන තුරු මාධ්‍යවේදියා අත්අඩංගුවට නොගෙන ඇත්තේ, සියලු කරුණු හෙළි කර ගැනීමකින් තොරව ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ඉහළින් ලද අණකට අනුව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන් පසු ඉතා රහසිගත විමර්ශනයක් කරමින්, දුරකථන කුලුනු ආදී සියුම් තැන් සියල්ලක ම සාක්ෂි රැස් කර ගැනීමෙන් පසු මාධ්‍යවේදියා ඉකුත් 17 දා අත්අඩංගුවට ගන්නේ ඔහුගේ නිවසේ දී ය.

මාධ්‍යවේදියාගේ පාර්ශ්වයෙන් මේ ගැන පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඔහු සමඟ පවතින පෞද්ගලික ප්‍රශ්නයක් මත තමාව මේ සිද්ධියට පටලවන්න විශේෂ කාර්ය බළකාය සැලසුම්සහගතව මෙය කර ඇති බව ය. නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව රාජ්‍ය බුද්ධි අංශ ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කොට සියලු කරුණු තහවුරු කර ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත්තේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ දී කොස්ගොඩ තාරක ඇතූළු පාතාල සාමාජිකයන් සමඟ ගනුදෙනු කළ තවත් මාධ්‍යවේදීන් දෙදෙනකුගේ තොරතුරු හෙළිදරව් වී තිබේ. ඔවුන් ද මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන් වීම විශේෂත්වයකි. ඔවුන් ද අපරාධ තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් ය. ඔවුන් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනය කරනු ලැබේ.

ඉන් එක් මාධ්‍යවේදියකු තමන්ගේ පවුලේ ප්‍රශ්නයක දී ඔහුගේ ඥාති සහෝදරයකුට පහර දෙන ලෙස කොස්ගොඩ තාරකට දන්වා ඇති අතර, පසුව තාරක සිය ගෝලයන් යොදවා මෙම තැනැත්තාට අමානුෂික ලෙස පහර දී ඇත. එය පොලිස් පොතේ ලියැවුණ ද, ඉහළ පොලිස් නිලධාරීන් සමඟ ගනුදෙනු කරන මාධ්‍යවේදියකු බැවින්, ඔවුනට දන්වා මාධ්‍යවේදියා මෙහි පරීක්ෂණ යටගස්වා තිබේ.

මොහුට කොස්ගොඩ තාරක හඳුනා ගන්නට ලැබෙන්නේ ආරක්ෂක අංශ හරහා ය. මෙම මාධ්‍යවේදියා කොස්ගොඩ තාරක බූස්සට හෝ අඟුණකොළපැලැස්සට මාරු කර තිබෙන අවස්ථාවල දී තවත් පාතාල කණ්ඩායමක් තාරක ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා පළ කරන්නේ ය. ඉන් පසු තාරකගේ නීතිඥයන් මේ ගැන අධිකරණය දැනුම්වත් කොට කොළඹට මාරු කරවා ගන්නා අතර, ඉන් නොනැවතී විශේෂ කාර්ය බළකායේ විශේෂ ආරක්ෂාවක් ද ලබා ගනියි. ඉන් පසු මෙම අපරාධකරුවන් බන්ධනාගාරයේ සිට අධිකරණයට හෝ වෙනත් කටයුත්තකට රැගෙන යන්නේ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ප්‍රභූවරුන් සේ ය.

මාධ්‍ය මඟින් බොරු පුවත් පළ කරවා ලබා දෙන සහයෝගය වෙනුවෙන් මුදලින් මෙන් ම ඔහු ඉල්ලන ඕනෑ ම වෙනත් උපකාරයකින් ප්‍රතිඋපකාර කිරීමට පාතාලයෝ ද සැදීපැහැදී සිටිති. මෙම මාධ්‍යවේදියා විසින් කොස්ගොඩ තාරක සමඟ දඹුල්ලේ සිට කොළඹට එළවළු ගෙන්වා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබේ. කොවිඞ් ප්‍රශ්නය පැමිණීම දක්වා එය කර ඇති අතර, ඉන් පසු එය ඇනහිට ඇත.

ඊට අමතරව මොහු 2014දී පමණ විදෙස් මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරිකයකු දැන හඳුනාගෙන ඔහුට එවක ආරක්ෂක ලේකම්වරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන බව කියමින්, වරප්‍රසාද ලබා ගැනීමක් ද හෙළිදරවු වී තිබේ. එම ව්‍යාපාරිකයා ද පසුගිය කාලයේ රටින් පැන ගොස් යුරෝපීය රටක සැඟව හෙරොයින් ව්‍යාපාරය කරන අයකුගේ හිතවතෙකි. පසුව මාධ්‍යවේදියා හා ව්‍යාපාරිකයා අතර ඇති වූ විරසකයකින් පසු ව්‍යාපාරිකයා හෙරොයින් ජාවාරම්කරුට මාධ්‍යවේදියා තමන්ගෙන් වරප්‍රසාද ගත් අයුරු හෙළි කර ඇති අතර, ඔහු ආණ්ඩුවේ සියලු තැන්වලට මේ ගැන දැනගැනීමට සලස්වා ඇත.

ඊට අමතරව ආණ්ඩුවේ ඉහළ තැන්වලට දන්වා පොදු සමාවක් ලබා ගැනීමට අවශ්‍ය වටාපිටාව සකස් කළ හැකි බව දන්වා තවත් ජාවාරම්කරුවකු වන පොට්ට නවුෆර් නමැත්තාට දන්වා ඔහුගෙන් ද මොහු ඇතූළු මාධ්‍යවේදීන් වාසි ලබා ගෙන ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ.

අනෙක් මාධ්‍යවේදියා ප්‍රසිද්ධ හොරොයින් ව්‍යාපාරිකයකු වන වෙලේ සුදා සමඟ සබඳකම් පවත්වන බව හෙළිදරවු වී තිබේ. මෙම මාධ්‍යවේදියා වෙලේ සුදාගේ දරුවන් සමඟ විනෝද චාරිකා ගොස් ඇති බවට තොරතුරු හෙළිදරවු වී ඇත. වෙලේ සුදා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥයන්ට ඔහුගේ නැඟණියගෙන් මුදල් ගෙන ගොස් දී ඇත්තේ ද මෙම මාධ්‍යවේදියා විසිනි.

මොවුන් මාධ්‍ය වෘත්තිය නිර්ලජ්ජිත ලෙස අවභාවිත කිරීම හේතුවෙන් අනෙක් මාධ්‍යවේදීන් පිළිබඳව ඇති සමාජ ගෞරවය ද පිරිහෙමින් තිබේ. මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මාධ්‍යවේදියා මින් පෙර ද පොලිසිය විසින් මාධ්‍ය හැඳුනුම් පත අවභාවිත කරමින් හෙරොයින් ප්‍රවාහණය කරන බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයක දී ම උත්සාහ කර ඇති අයෙකි.

කෙසේ වෙතත්, මෙම මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන දිනකට පසු, හෝමාගම දී කොස්ගොඩ තාරකගේ ගිනි අවි 12ක් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලැබුණා යැයි කියු විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්ෂකවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට වැටලීම් කර ඇත්තේ මොහුට ලැබුණු තොරතුරු මත ය. ඉන් ප්‍රසිද්ධම සිද්ධියක් වන්නේ 2014දී කැලණිය පන්සල ආසන්නයේ දදී හෙරොයින් කිලෝග්‍රෑම් 85ක් අත්අඩංගුවට ගැනීම ය. නමුත්, මෙම අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගත බව මාධ්‍ය මඟින් වාර්තා කරද්දී, තවත් මාධ්‍යවේදීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම නිවැරදිව කෙරී ඇති බවට විශේෂ කාර්ය බළකායට සහතික දෙමින් වාර්තා කළෝය. එයින් නොනැවතුණු මේ මාධ්‍යවේදීහු එය ප්‍රශ්නසහගත බව කියූ මාධ්‍යවේදීන් දේශද්‍රෝහීන් කරමින් ලිපි ලීවෝය.

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා සේ ම අත්අඩංගුවට ගන්නට නියමිත මාධ්‍යවේදීන් දෙදෙනා ඇතූළු කණ්ඩායම සිටියේ වැටලීම කළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැත්තේය. කෙසේ නමුත්, පසුගිය කාලයේ මෙම මාධ්‍ය කණ්ඩායම හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායම අතර මතගැටුමක් ඇති වී බැණ තර්ජනය කර ගන්නා තත්ත්වයකට පත්ව තිබේ. එම විරසකය මත මාධ්‍යවේදීන් හා පාතාල කණ්ඩායම් අතර පවතින ගනුදෙනු සේ ම විශේෂ කාර්ය බළකාය හා පාතාලය අතර පවතින ගනුදෙනු ද එළියට පැමිණෙමින් තිබේ.

කෙසේ නමුත්, මෙම මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම එක් විද්‍යුත් මාධ්‍යයක් හැර අන් කිසිදු මාධ්‍යයක් වාර්තා කළේ නැත. දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් කරන සියලු දේ පොල්ගෙඩි අකුරින් වාර්තා කරන මාධ්‍ය ආයතන මෙම පුවතට සුළු ඉඩක් හෝ වෙන් නොකිරීම විමතියට කරුණකි.

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා මෙන් ම අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින මාධ්‍යවේදීන් ද වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් සමාජ මාධ්‍යයේ මෙන්ම සිය පුවත් පත්වල පිටු පිරෙන්න ලිපි ලියූ මාධ්‍යවේදීන් ය. එම නිසා වත්මන් ආණ්ඩුව යටතේ ම මොවුන් අත්අඩංගුවට පත් වීම දෛවයේ සරදමකි.●

ලසන්ත වීරකුලසූරිය

උපුටා ගැනීම ලංකා පුවත්පතෙනි.

Social Sharing
නවතම