“දෙවියන් මිය ගිහින්… අපි දෙවියන්ව මරා දැමුවා.”

-Malcolm Sang-

God is Dead… We killed him…! මේ ප්‍රකාශයත් එක්ක ෆ්‍රෙයිඩ්‍රිච් නීට්චෙ (Friedrich Nietzsche) සාහිත්‍ය ලෝකයත් ආගමික ලෝකයත් දර්ශණය හදාරන සමාජයත් කලඹවනවා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය… දියුණුයැයි සම්මත සමාජය… සැප සම්පත් ඇති නගරය අත හැරල ඇල්ප්ස් කඳුකරයට පලායන නීට්ශෙ එක්තරා ආකාරයක මානසික මට්ටමකට… ආලෝකයකට ළඟාවුනු බව කියනවා. ඉඳල හිටල පවුලෙ අයට ලියුමක් දෙකක් ලියපු මේ මහත්තයා කාලය ගෙවන්නෙ කඳු උඩ… මුහුද කිට්ටුව… ශිෂ්ඨ යැයි සම්මත සමාජයෙන් ටිකක් ඈත්වෙලා. මේ කියන තත්වය රහත් බව හෝ සෝවාන් බව විදිහට බෞද්ධ ඉගැන්වීම් වලට අනුව වර්ග කරන්න පුළුවන්ද.?
එහෙමත් නැතිනම් ඒ ජෛන හෝ බෞද්ධ ඉගැන්වීම් වලට සම්බන්ධයක් නැති වෙනත් මානසික අවධියක්ද.? ඒ වෙනම කතා කල යුතු මාතෘකාවක්.

මීට ටික කාලයකට කලින් මොළය ආශ්‍රිත ශල්‍යකර්මයකට මේ ලියන මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කාලය තුළ ඇතිවූ මානසික අවපීඩනයෙන් මිදෙන්නෙ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අභ්‍යාස කරන්න සිද්ධ වෙනව දිගු කාලයක්. මගේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ආර්මේනියානු ග්‍රීක සම්භවයක් ඇති වෛද්‍යවරයෙක්. ඔහු විසින් නිර්දේශ කරපු මේ හුස්ම ගැනීමේ අභ්‍යාස බෞද්ධ ඉගැන්වීම් වලට අනුව ආනපානසති භාවනාව විය හැකිද.? ඒ තවත් ගැටළුවක්.

ගෞතම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තර්කාණුකූල නම්, ඇදහීමකින් තොරව ඒ කරුණු දර්ශණයක් හෝ විද්‍යාවක් ලෙස සැලකීමෙන් නිවන් අවබෝධකරගන්න බැරිද කියන ප්‍රශ්ණය අපිට අහන්න පුළුවන්. වනපොත් නොකර දහම කියවන්න පුළුවන්ද.? ඒ කියන්නෙ පිළිම… බෝධීන් වැඳීම බැහැර කරල… පන්සල් හා මාළිගා ඉදිකිරීම් හා වන්දනා අමතක කරල නිවැරදි මඟ පෙන්වීමක් යටතේ බුදු දහම හැදෑරුවොත් නිවන සාක්ශාත් කරගන්න පුළුවන් විය යුතුයි. ගෞතම සිද්ධාර්ථගෙ ඉගැන්වීම් ආසියාවෙන් පිටත රටවල දර්ශණයක් විදිහට සලකද්දි ඇයි ඉන්දියාවේ .. ටිබෙටයේ හෝ ශ්‍රී ලංකාවේ ඇදහීමක් හෝ ආගමක් බවට පත්වුනේ.?

මේ පැනයට පිලිතුරක් ලැබෙනව උගත්.. බොහෝ දැනුමැති හිමිනමකගෙන්… “ලාංකිකයන්ට හෝ ලාංකික භික්ෂූන්ට තිබුනු ප්‍රධාන වගකීම කටපාඩමින් රැකගෙන ආපු ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කිරීමත්.. ඒ අදහස් හා ඉගැන්වීම් ඒ පරිදිම පවත්වාගැනීමත් නිසා දර්ශනයක් ලෙස විවාදයට හෝ අධ්‍යයනයට ඉඩක් ලැබුනෙ නෑ”
ඒක පිලිගත හැකි තර්කයක්. නමුත් ඉන්පසු සංදේශ කාව්‍යයන් බිහිවෙන අවධියේ හෝ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ගම්පෙරලිය ලියන අවධියේ බුද්ධ ඉගැන්වීම් දර්ශණයක් ලෙස විග්‍රහ නොකෙරුනේ පාරම්පරික හෝ ගතානුගතික විශ්වාස නිසාද කියන පැනය අපිට මතුවෙනවා. ඊළඟට අහන ප්‍රශ්ණය ටිකක් හිත රිදවන සුළුයි.

ගෞතම සිද්ධාර්ථ කියන්නෙ රන් රිදී.. මුතු මැණික්… මිළ අධික ඇඳුම්… මාළිගා හෙව්වෙ නැති…බොහෝම බුද්ධිමත්… සරළ පුද්ගලයෙක්. එහෙම නම් ඇයි දකුණු ආසියාවෙ වගේම සමහර ඊසාන දිග ආසියානු රටවල දෙවි කෙනෙක්, සුපර් හීරෝ කෙනෙක්, රූපලාවන්‍ය තොල් ආලේපන වලින් සරසවපු දේවත්වයක් ආරූඪ කරපු අසාමාන්‍ය පුද්ගලයෙක් ලෙස බුදුන් වහන්සේ දක්වන්නෙ. කලින් ලිපියේ සඳහන් වුණු ග්‍රීක හා ඉන්දු දාර්ශණිකයන් එක් කණ්ඩායමකට ගත්තොත් ..

තේල්ස් (Thales of Miletus) ක්‍රිස්තු පූර්ව 625- 546
පයිතගරස් (Pythagoras) ක්‍රිස්තු පූර්ව 570- 495
මහාවීර (Mahavira) ක්‍රිස්තු පූර්ව 599- 527
ගෞතම සිද්ධාර්ථ (The Buddha) ක්‍රිස්තු පූර්ව 563- 483
කන්ෆියුසියස් (Confucius) ක්‍රිස්තු පූර්ව 551–479
සොක්‍රටීස් (Socrates) – ක්‍රිස්තු පූර්ව 469- 399
ඩිමොක්‍රිටුස් (Democritus) ක්‍රිස්තු පූර්ව 460- 370
ප්ලේටෝ (Plato) – ක්‍රිස්තු පූර්ව 428-348
ඇරිස්ටෝටල් (Aristotle) ක්‍රිස්තු පූර්ව 384-322
චානක්‍ය (Chanakya) ක්‍රිස්තු පූර්ව 375–283
පයිරෝ/පිරෝ – Pyrrho ක්‍රිස්තු පූර්ව 360- 270
ඔනෙසික්‍රිටුස් (Onesicritus) ක්‍රිස්තු පූර්ව 360 -290
ඇනාක්සාර්චුස් (Anaxarchus ) ක්‍රිස්තු පූර්ව 380 – 320

මේ අයගෙන් ඔනෙක්‍රිටුස් සහ ඇනාක්සාර්චුස් දෙදෙනාම ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සමග ඉන්දියාව දක්වාම ගමන් කරපු දාර්ශණිකයන් දෙදෙනෙක්. පයිරෝ නැතිනම් පිරෝ සැලකෙන්නෙ බෞද්ධ ඉගැන්වීම් වලින් ආභාශය ලත් දාර්ශණිකයෙකු විදිහට. මේ තිදෙනාගේම ඉගැන්වීම් අධ්‍යයනය කරද්දි අපිට වටහා ගන්න පුළුවන් ගෞතම සිද්ධාර්ථගෙ වගේම මහාවීර විසින් දේශණා කලේ යැයි සැලකෙන කරුණුත් අඩංගු බව.

පයිරෝගෙ දර්ශණය බෞද්ධ ඉගැන්වීම් වලට සමීපයි. පයිරෝගෙ දර්ශණය අනුගමනය කරන ටිමොන් ඒ ඉගැන්වීම් වලින් සමහරක් ලේඛන ගත කරන්න සමත්වීම නිසයි අපිට පිරෝ ගැන දැනගන්න පුළුවන් වෙන්නෙ. උදාහරණයක් විදිහට ග්‍රීක දර්ශනයේ අඩංගු කරුණු කීපයක් සැලකිල්ලට ගනිමු. Ataraxia – අතරාක්සියා, අතරාක්සියා යන අදහසේ මූලික හරය හෝ අරමුණ පීඩාවන් ගෙනෙන සිතිවිලි වලින් හා වේදනා වලින් නිදහස් වීම( freedom from distress and worry).

වේදනා හා කරදර වලින් මිදී සිතේ ඒකාග්‍රතාවය සතුට හා සාමය ලඟා කරගැනීම පිරෝවාදීන් එය්‍යුඩයිමෝනියා(eudaimonia) විදිහට හඳුන්වනවා. එය්‍යුඩයිමෝනියා කියන්නෙ සෝවාන් හෝ රහත් අවස්ඨාවන්ට කිට්ටු මානසිකත්වයක්ද.? Epistemology – එපිස්‍ටමොලොජි (Justification and knowledge)
දැනුම සහ සාධාරණීකරණය විදිහට සිංහලට පරිවර්තනය කලත් මෙහි මූලික අදහස වෙන්නෙ යමෙක් යමක් විශ්වාස කරනව නම් ( දෙවියෙක් හෝ අදහසක් ) ඒ කුමක් නිසා විශ්වාස කරනවද… හේතුව මොකද්ද කියල ප්‍රශ්ණ කරන එක. තවත් විදිහට කීවොත් දැනුම මූලික වෙද්දි අසන හෝ කියන යමක් ඒ විදිහටම විශ්වාස නොකර ප්‍රශ්ණ කිරීම… හේතු සෙවීම… තර්කය හා විමසා බැලීම මේ තුල අඩංගු වෙනවා.

Phronesis ප්‍රොනෙසිස්; Mindfulness විදිහට සමහර දාර්ශණිකයන් මේ වචනය ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. තමන් කරන ක්‍රියාව.. ක්‍රියාවේ ප්‍රථිඵල… ප්‍රායෝගික ක්‍රියාවන්… පවතින තත්වයන් හා ප්‍රථිඵල කොයි ආකාරයක බලපෑමක් සිදු කරනවද යන්න තේරුම් ගැනීම. ඉන්දියානු වේවා… ග්‍රීක වේවා මේ අදහස් ලෝකයට පැහැදිලි කරපු දාර්ශණිකයන් සමකාලීනයි…. ඒ වගේම මේ අය කියන්නෙ එකම කතන්දරය විවිධාකාරයට. ලාංකිකයන් විදිහට අපි හිතනව බෞද්ධ දේශණා වගේම …. ගෞතම සිද්ධාර්ථ අපිට අයිතියි කියලා. ඒ එක්කම ඔහු උපත ලබපු සුද්ධෝදන රජ පවුල අපේ ඥාතීන් කියලා. ඊට හේතු වෙන එක කාරණයක් තමයි ත්‍රිපිඨකය හෙවත් බෞද්ධ දේශණා ග්‍රන්ථාරූඪ කලේ ශ්‍රී ලංකාවේ වීම. ඒ එක්කම දේවානම් පියතිස්ස රජු බෞද්ධාගම දේශපාලන ආයුධයක් ලෙස යොදාගැනීමෙන් පැලපදියම් වූ අදහස් මීට හේතු වූවා වෙන්න පුළුවන්.

බෞද්ධ ඉගැන්වීම් දර්ශණයක් ලෙස ග්‍රීක සංස්කෘතියට ඇතුල් වෙන්නෙ අද ඊයෙ නෙවේ. මිලින්ද ප්‍රශ්නය හරහා බෞද්ධයෙක් බවට පත්වූ මිලින්ද රජු ( ක්‍රිස්තු පූර්ව 155-130) හෙවත් මෙනන්ද්‍රෝගෙන් පසු (King Menandros ) තවත් ග්‍රීක රජවරුන් 20 දෙනෙක් පමණ බෞද්ධ දර්ශනය පිලිගත් හෝ බෞද්ධ රජවරුන් බව අපිට අමතක කරන්න බෑ. අනුමාන වශයෙන් මිලින්ද රජුගෙ සමකාලීන ලාංකික පාලකය තමයි දුටුගැමුණු. ( ක්‍රිස්තු පූර්ව 161-137) මහාවංශයට අනුව ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ වෙන්නෙ එයින් ටික කාලයකට පස්සෙ වට්ටගාමීණී හෙවත් වලගම්භා රජතුමාගෙ කාලයේදී. ආගමක් හා ඇදහීමක් ලෙස බුදු දහම ලංකාවේ ප්‍රචලිත වෙද්දි ගෞතම සිද්ධාර්ථගෙ ඉගැන්වීම් දර්ශණයක් ලෙස ග්‍රීසිය හරහා යුරෝපයට ගමන් කරනවා. Relational Buddhism ලෙස බෞද්ධ ඉගැන්වීම් සාකච්ඡාවට බඳුන් වෙද්දි … මෙටා දර්ශණයක් විදිහට බෞද්ධ මනෝ විද්‍යාව හා මනෝ විශ්ලේශණය දෙසට ලොකු අවධානයක් යොමුවෙනවා.

සියුස්… නෙප්චූන්… ඇතීනා අතරෙ ග්‍රීකයන් ගෞතම සිද්ධාර්ථව දෙවි කෙනෙක් බවට පත් කරන්නෙ නැහැ. ඇදහීම වෙනුවට බුදුන්ගේ අදහස් හා ඉගැන්වීම් විමර්ශණ හරහා ඔවුන් දර්ශණයක් ගොඩ නගනව. නැතිනම් තිබුනු දර්ශණයට තවදුරත් ඉදිරියට අරන් යනවා. නමුත් ඉන්දියානු උප කලාපය තුළ විශ්ණු, ශිව, බ්‍රහ්ම වැනි දෙවි වරුන් අතරේ ගෞතම සිද්ධාර්ථ රජාණන් කෙනෙකු ලෙස ඇදහීමටත් අමූලික ශ්‍රද්ධාවට බඳුන් වෙන චරිතයක් හෝ පිළිමයක් බවට පත්වෙනවා.
(මහායාන පාසැල් තුල හෝ වෙනත් උප ඛාන්ඩ තුල බෞද්ධ ඉගැන්වීම් විවිධාකාරයට සැලකිල්ලට ගන්න බව සත්‍යයක්… නමුත් සමස්තයක් ලෙස බෞද්ධ චරිතය ඇදහීමක් බවට පරිවර්තනය වන බවයි මම අදහස් කරන්නෙ).

මිලින්ද ප්‍රශ්නය හරහා ග්‍රීක දර්ශණයටත් ආගමික මතවාද වලටත් එක්වූ කරුණු මොනවද කියන කාරණා හොයල බලද්දි ලැබුණු තොරතුරු පුදුමාකාරයි.
මිලින්ද රජු හෙවත් මිරැන්ඩා නාගසේන හිමියන්ගෙන් ( නාගසේන රහතන් වහන්සේ නමක් ලෙස බෞද්ධයන් සලකනු ලබනව) විමසන ලද කරුණු පහත දැක්වෙන්නෙ.
(1) The 4-Ennobling Realities,
(2) The 8-Fold Balancing Practice.
(3) The 3-Empirical Marks of Existence,
(4) The 3-Poisons,
(5) The state/trait of Nirvana,
(6) The notion of Karma,
(7) The 5-Skandhas (psychological modalities),
(😎 The provisional self and ultimate not-self,
(9) The Dependent Origination hypothesis,
(10) The smallest units of experience: dharmas,
(11) The 6th Sense: the mind’s eye,
(12) The 12-Meditations themes,
(13) The 4-Foundations of Mindfulness
(14) The 4-Immeasurables and
(15) The 24-Patthanas: the functional/conditional relations between Karma, skandhas and dharmas.

මේ තියෙන්නෙ ග්‍රීක භාශාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කල කරුණු පහළවක්. අදාල කරුණු පහළව සිංහලට පරිවර්තනය කරල දෙන්න කියල මම මගේ මිත්‍රයන් දෙදෙනෙක්ගෙන් ඉල්ලුවා. මගේ මිත්‍ර සුමනා විජේරත්න කියනවා මෙතන තියෙන්නෙ බුදු දහමේ සම්පිණ්ඩනයක්… මේ හැර බුදු දහමක් මම දන්නෙ නෑ කියලා.
ආචාර්‍ය ක්‍රිස්ටියන් ලුක්නාටිස් අහනව ඇයි මේ බුදු දහමේ සම්පූර්ණ හරය කරුණු පහලවක් ඇතුලෙ හිර කරල තියෙන්නෙ කියලා. මේ දෙන්නම බෞද්ධ දර්ශණය ගැන මනා වැටහීමක් තියන අය.

පුදුමයක් වුනත් මේ තමයි ඇත්ත.
1. චතුරාර්ය සත්‍යය
2. ආර්ය අෂ්ටාංගික මාර්ගය
3. ත්‍රිලක්ෂණ , අනිච්ච දුක්ඛ අනත්ත
4. රාග ද්වේශ මෝහ
5. තණ්හා නිරෝධය නම් වු නිවන, දුක්ඛ නිරෝධය නිවන,
6. කර්ම නියාමය, පංච නියාම ධර්ම ද සහිත
7. පංච උපාදානස්කන්ධ
8. පැවැත්මේ මම සහ පරමාර්ථ මම යන්නෙහි ශුන්‍යතාවය
9. පටිච්ච සමුප්පාදය
10.චිත්ත වීඨිය – චිත්තක්ෂණ 17 කින් සමන්විත සිතුවිල්ලක්
11. සළායතන, six faculties of sences.
12. මට හිතෙන්නේ, Six senses and six sence objects. ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට සුවද දිවට රස ශරීරයට පහස මනසට මනෝ සංචේතනා ආදී
13. සතර සතිපට්ඨානය
14. මෙත්තා.. මුදිතා.. කරුණා .. උපේක්ශා.
15 ප්‍රත්‍ය ධර්ම විසි හතර. අභිධර්මයේ ප්‍රත්‍ය විභාගය. හේතු ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අඤ්ඤමඥ ප්‍රත්‍ය ආදී හරිම ලස්සන විග්‍රහයක්.

(මිලින්ද පඥ්ඥ ග්‍රන්ථාරූඪ වෙනව අපි මේ කතා කරන කාල පරිච්ඡේදය තුළ) මේ අදහස් දැනට අවුරුදු දෙදාහකට කලින් ග්‍රීක සාහිත්‍යයට… දර්ශණයට බලපාන ලද කරුණු වීමට ඇති ඉඩ කඩ වැඩියි. (නාගසේන (Nagasena) ක්‍රිස්තු පූර්ව 150 ) නාගසේන හිමියන් හෙවත් නාගසේන මහරහතන් වහන්සේගේ ගුරුවරයා අශ්වඝෝශ හිමි. (අස්වඝෝශ Aśvaghoṣa ක්‍රිස්තු වර්ශ 80 – 150 ) අශ්වඝෝශ හිමි උපතින් ග්‍රීක ජාතිකයෙක්. මෙතැනදි වැදගත් වෙන්නෙ ජාතිය නෙවෙයි නමුත් මේ ජාතීන් දෙකේ කියවීම්… අදහස් … විමර්ශණ හා ඇදහීම් කොයිතරම් දුරකට සමානද කියන කාරණයයි.

අනිත් අතින් මෙටා ෆිසික්ස් කියන දර්ශණය හෝ ඉගැන්වීම් සලකල බලද්දි අපිට හොඳින්ම වැටහෙනව මේ හා සමාන කරුණු අපි බෞද්ධ ධර්මයේ ඉගෙන ගන්න බව. මෙන්න මේ සාහිත්‍ය… විචාර… සංස්කෘතිය…. හෝ විද්‍යාව හරහා තමයි ග්‍රීක දර්ශණය බිහිවෙන්නෙ. එතකොට අපිට කියන්න පුළුවන්ද ග්‍රීක දර්ශණය බොරුවක්… මුලාවක් කියලා.

කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඉන්දු ග්‍රීක රාජ්‍යයන්ගේ දැනුම ග්‍රීසිය දක්වා ගමන් කල බවට සාක්ෂි නැහැ කියලා. මෙතැනදි එක් දාර්ශණිකයෙක් හෝ කීපදෙනෙක් ඉන්දියාවේ ඉඳල ඇතෑන්ස් දක්වා ගොස් බෞද්ධ ලිපි ලේඛන ගීක ඇකඩමියා ආයතනයේ තැන්පත් කල බව අපිට ඔප්පු කරන්න බෑ. ඒක තාර්කික හෝ ප්‍රායෝගික නෑ. නමුත් මේ ඉගැන්වීම් ග්‍රීසිය දක්වා ගමන් නොකල බවට ඔප්පු කරන්නත් සාක්ෂි නෑ. චීන මහා ප්‍රාකාරය වගේ තාප්පයක් ගොඩ නගල අදහස් හා දේශකයන්ගේ සංචාර නවත්වන්න මේ දෙපිරිසිම කටයුතු කලේ නෑ. භූගෝලීයව සැලකුවොත් ග්‍රීසිය හා ඉන්දියාව අතර පොදු රාජ්‍යයන් තිබුනු බව අපි හොඳින්ම දන්නවා.

මේ දෙපිරිසගේම ඉගැන්වීම් බොහෝ දුරට සමාන බවත් අපිට වටහා ගන්න පුළුවන් බොහොම කල්පනාවෙන් මේ ඉගැන්වීම් දෙස බැලුවොත්. මෙතැන තියන අවාසනාවන්ත තත්වය තමයි තේරවාද… මහායාන.. හෙලයාන… ටිබෙට්.. වජ්‍රායන.. සෙන්.. ආදී වශයෙන් කොටස් වලට බෙදිල ඒ ඒ අය සටන් කරනව මිස… වාද කරනව මිස පොදු වටිනාකම හෝ අරමුණු අමතක කිරීම.

උදාහරණයක් විදිහට බෞද්ධ ඉගැන්වීම් පාසැල් 18 කට හෝ ඊට වඩා වැඩි ගනනකට බෙදෙනව… තවත් බෙදෙමින් තියනවා. සමහර පාසැල් බුදුන් වහන්සේ දෙසූ කරුණු ඒ ආකාරයටම විග්‍රහ කරනවා, තවත් පාසැල් ඒ කරුණු ආශ්‍රයෙන් තර්කා හා මූල ධර්ම ගොඩ නගනවා, තවත් සංස්කෘතීන් ඒ ඉගැන්වීම් තමන්ගෙ දර්ශණයන්ට එකතු කරගන්නවා. කාට හෝ කියන්න හැකිද මේ තුනෙක් එකක් හරි අනිත් පාසැල් වැරදියි කියලා.

ජීවිතය හෝ පැවැත්ම කියන්නෙ මොකද්ද..? අපි දකින දේ ඒ විදිහටම පවතිනවද..? මේ පැවතීමේ හෝ ඇතිවීමේ හේතුව මොකද්ද.? කාලය… අවකාශය… මේ මොනවද..? මෙන්න මේ වගේ ප්‍රශ්ණ බෞද්ධ දර්ශණය කියල ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේ මෙටා ප්‍රිසික්ස් හි මූලික ප්‍රශ්ණ වලින් කීපයක්. ප්‍රිසික්ස් හෙවත් භෞතිකත්වයෙන් ඔබ්බට කියන එකයි මෙටා ප්‍රිසික්ස් විඳිහට හඳුන්වන්නෙ. මෙටා ෆිසික්ස් සරලව අවබෝධ කරගන්න ඊ ලඟ ලිපියෙන් උත්සාහ කරමු.

Social Sharing
අවකාශය නවතම