දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය

– සහන් කසීර වික්‍රමසිංහ –

වසර 28 ට පෙර අද වැනි දවසක ජපානයේ ආගමික නිකායක නායකයා ලෙස කටයුතු කළ ෂ්‍යෝකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ.

ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වූ අතර පන්දහසක් පමණ තාවකාලිකව හටගත් දෘෂ්‍යාබාධ වලින් පීඩාවට පත් විය.

ඕමු ෂින්නිකියෝ (Aum Shinrikyo) නම් වූ ආගමික කල්ලියේ සාමාජිකයින් පස් දෙනෙක් විසින් මෙම විෂ වායු ප්‍රහාරය එල්ල කරනු ලැබිණ. දුම්රිය මාර්ග තුනක් ඉලක්ක කර සාරීන් (Sarin) වායුව පුරවන ලද මලු යොමු කොට ඒවාට තියුණු තුඩ සහිත කුඩ වලින් අනිනු ලැබීය. මලු සිදුරු වී සාරීන් වායුව දුම්රිය පොළ පුරා පැතිරුණේ දහස් සංඛ්‍යාත මගීන්ගේ ස්නායු පද්ධතියට හානි පමුණුවමිනි. මෙම ප්‍රහාරය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස එවකට ඉතිහාසගත වන්නේය.

ඕමු ෂින්නිකියෝ ආගමික නිකායේ නායකත්වය දරන්නේ ෂ්‍යෝකෝ අසහරාය. 1984 වසරේ දී පිහිටුවන ලද මෙම නිකාය ජපානයේ නව ආගමික ව්‍යාපාරයක් ලෙසින් කළ එළි බට අතර එහි ඉගැන්වීම් සඳහා තන්ත්‍රීය වජ්‍රාසනය , බයිබලය සහ අනෙකුත් ආගම් වල පදනම් ද මුසුව තිබිණ. විටෙක තමන් ‘ක්‍රිස්තූන්’ ලෙස හඳුන්වා දුන් ෂ්‍යෝකෝ අසහරා තමන් වනාහී ජපානය තුළ සිටින එක ම ‘අරහත් ශාස්තෲන් වහන්සේ’ ලෙස ද ‘දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණෝ’ ලෙස ද හඳුන්වාගනු ලැබීය.

ෂ්‍යෝකෝ අසහරා

තෝකියෝ ප්‍රහාරයෙන් මුලු ලොවම කැළඹිණ. 1995 මැයි 16 වැනිදා ඕමු ෂින්නිකියෝ මූලස්ථානයේ ඉතා කුඩා කුටියක හුදෙකලාව සිටි ෂ්‍යෝකෝ අසහරා ජපාන පොලිසියේ අත් අඩංගුවට පත් වේ. කුරිරු මිනිස් සංහාරයක භයානක මහමොළකරු හා ගැටෙන්නට වේයැයි සුදානමින් ජපාන වාසර සේනාංකය සහ භූමි ආරක්ෂක ප්‍රහාර සේනාංකය ද ඒ සමීපයේම පෙළගැසී සිටියහ. නුමුදු ෂ්‍යෝකෝ අසහරා කිසිවක් නොදන්නාක් මෙන් නිහඬව, සාමකාමීව පොලිසියට අවනත විය. ඔහු වාසය කළ පුද්ගලික කුටියේ කුඩා ප්‍රමාණයේ බෝතල් රැසක් දක්නට තිබිණ. ඒවා තුළ බොකුටු කාන්තා කෙස් රොද බැගින් දක්නට ලැබුණු අතර බෝතල් වල අසහාරාගේ කාන්තා අනුගාමිකයින් පිරිසකගේ නම් සඳහන් කර තිබිණ. ඕමු ෂින්නිකියෝ නිකායේ අනුගාමිකයින් අතර විවාහයන් හෝ කායික සබඳතා පැවැත්වීම් අසහාරා විසින් තහනම් කර තිබුණද නායකයා වශයෙන් ඔහුට ඒ සඳහා අවසර සහ ඉඩ ප්‍රස්තාව සලසා තිබිණ. එය ඔහුගේ ආධ්‍යාත්මික ගමන් මගට පිටිවහලකැයි අර්ථකථනය කර තිබිණ.

දීර්ඝ කාලයක් තිස්සේ විසඳුමකින් තොරව පැවති, ජපාන මාධ්‍යය විසින් ‘සියවසේ නඩු විභාගය’ ලෙස හඳුවනු ලැබූ නඩුවෙහි තීන්දුව 2004 පෙබරවාරි 27 වැනි දා ප්‍රකාශයට පත් විය. ෂෝකෝ අසහාරා මේ මනුෂ්‍ය ඝාතනවලට වරදකරු වූ අතර ඔහුව එල්ලා මැරීමට නියම විය. නමුත් ඕමු ෂින්නිකියෝ අනුගාමිකයින්ගේ බලවත් ඉල්ලීම් මත 2012 ජූනි මාසයේ දී ඔහුගේ මරණ දඬුවම කල් දමන්නට සිදු විය.

තෝකියෝ උමං දුම්රිය ප්‍රහාරයෙන් වසර 23 ක් ගත වු පසු; එනම් 2018 වසරේ ජූලි 06 වැනි දා ෂ්‍යෝකෝ අසහරා සහ ඔහුගේ අනුගාමිකයන් හය දෙනෙක් තෝකියෝ රැඳවුම් කඳවුරේ දී එල්ලා මරනු ලැබිණ.

ලෝ ප්‍රකට ජපන් ලේඛක හරුකි මුරකමි ‘Underground: The Tokyo Gas Attack and the Japanese Psyche’ නම් කෘතිය රචනා කරන්නේද මෙම ඛේදජනක සිදුවීම ඇසුරෙනි

ඒ ෂ්‍යෝකෝ අසහරා එල්ලා මරා දැමුව ද ඔබ අප වෙසෙන්නේ සාමාන්‍ය මිනිස් ජීව්ත තුළට විෂ වායු මුදා හරින දහසක් අසහරාලා ජීවත් වන සමාජයක බව අමතක නොකළ යුතු ය.

 

Social Sharing
නවතම විදෙස්