සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ සහ ‘රතු වෙස් මුහුණ’

මේ තිබෙන්නේ ප්‍රියංකර රත්නායකගේ ‘රතු වෙස් මුහුණු‘ නාට්‍ය නැරඹීමෙන් පසුව මේ නාට්‍ය පිළිබඳ කලක සිට සිතමින් සිටි අදහස් කිහිපයක් පිළිබඳ කෙටි සටහනකි. ඊට ප්‍රථමයෙන් ප්‍රියංකරගේ නාට්‍ය ගැන යමක් කිව යුතුය. පෙරේදා (2023.03.03) ප්‍රියංකර රත්නායකගේ ‘රතු වෙස් මුහුණු‘ නාට්‍ය නැරඹීමට අවස්ථාවක් උදා වුණා. සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ‘ නාට්‍ය සඳහා නවීන අර්ථකථනයක් එකතු කිරීමට මෙහිදී උත්සාහ කර තිබුණා. ලෝක ඉතිහාසයේ ඉතාම සුවිශේෂතම නාට්‍යයක් ලෙස ‘ඊඩිපස් රජ‘ නාට්‍ය මෙලොව මිනිස් වර්ගයා පවතින තුරු එලෙසම පවතිනු ඇත. සම්භාව්‍ය ගණයේ නාට්‍යයක් ලෙස එහි ඇති සම්භාව්‍ය ගුණය කිසිඳු ආකාරයක අවප්‍රමාණයක් වීමක් කිසිදිනෙක සිදු නොවනු ඇත. එනයින් අප වැනි නාට්‍ය කලාව බොහොම අපහසුවෙන් නඩත්තු කරන රටක මෙම කෘතියෙහි නිෂ්පාදනයක් තිබීම හා එවැනි නිෂ්පාදනයක් සඳහා තමුන්ගේ ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් වෙන් කිරීම පිළිබඳ අප නාට්‍ය කණ්ඩායමට කෘතඥ විය යුතුය. මෙම නාට්‍යයේ තිබෙනා විශ්වීය සහ සම්භාව්‍ය ගුණය නිසාම මෙය නිෂ්පාදනය කිරීම අන් කවර නාට්‍යයක් නිෂ්පාදනය කරනවාටත් වඩා අතිශය අපහසු මෙන්ම බරපතළ කටයුත්තකි. තවත් ආකාරයකට කියන්නේ නම් මෙවැනි නාට්‍යයක් කොයි ආකාරයකින් නිෂ්පාදනය කළද අවලාද ඇසීමට ඇත්තේ වැඩි ඉඩකි. නාට්‍ය කලාව තුළ ‘ඊඩිපස් රජ‘ නාට්‍ය නිෂ්පාදනයක් සඳහා තෝරාගන්නවා යනු එය යම් අධ්‍යක්ෂවරයෙකුට තිබෙනා අතිශය අවදානම්කාරී තෝරාගැනීම වනු ඇත. එම නිසාම එය එක්තරා රැඩිකල් තෝරාගැනීමකි.

‘ඊඩිපස් රජ‘ නාට්‍ය ජනප්‍රිය වී ඇති තේමාව වන්නේ දෛවය සහ තාර්කිකත්වය අතර සිදු වන අරගලයක ප්‍රතිඵලයක් හැටියට ඊඩිපස් ඛේදයට පත් වීමයි. කැතාර්සියස්කරණය නැතිනම් භාව විශෝධනය වැනි ඓතිහාසික කලා න්‍යයායන් වර්ධනය වීමට මූලික උත්තේජනය සපයන්නේ මෙම නාට්‍යයෙහි එන මෙම මූලික ගැටුමයි. එහෙත් බොහෝ දෙනෙකු මුලාවට පත්වන කරුණක් නම් මෙහි ඇපලෝ දෙව් මැදුරෙහි අනාවැකිය එනම් ඊඩිපස්ගේ දෛවය අනිවාර්යතාවක් ලෙස මෙහි නියෝජනය වීමයි. එමගින් අපට අපගේ ඉරණම මගහැර යා නොහැකි ලෙස අපගේ සෙවනැල්ලක් සේ පවතින බවට විශ්වාසය තවදුරටත් තහවුරු කරයි. එහෙත් ග්‍රීකයන් එසේ බලාපොරොත්තු වූවා යැයි සිතීම උගහටය.

මෙම දෛවය නැති නම් ඊඩිපස්ගේ අනාගතය පිළිබඳ අදහස අනිවාර්යතාවක් වීම වෙනුවෙන් පෙනී සිටිනා චරිතය වන්නේ ටෙරාසියස්ය. ඔහු ඊඩිපස් හමුවට පැමිණෙන්නේ මෙම අනාගතය අනිවාර්යතාවක් ලෙස සිදු වනවාද යන්න පිළිබඳ ස්ථීර අධිෂ්ටානයකින් නොවන බව ඔහුගේ හැසිරීම තුළින් අපට පෙනෙයි. ඔහු ඊඩිපස් සමග කරන සංවාදයේදී මෙම සංවාද කොටස එයට ප්‍රබල සාක්ෂියක් සපයයි. ‘ඔබ ගලවා මටත් ගැලවෙන්නටයි මට ඕනෑ‘ ‘I will not bring this pain upon both of us, neither on you nor on myself.’ මෙම ප්‍රකාශය මගින් පෙන්වා දෙන්නේ මෙම අනාවැකිය පිළිබඳ යම් අවිනිශ්චිත බවක් ටෙරාසියස්ටද තිබෙනා බව නොවේද? එනම් ඔහු මෙම අදහස සහ ඔවුන්ගේ පැවැත්ම අහඹු බව මතට බරක් තැබීමේ උනන්දුවක් පෙන්වයි. මෙම අදහස මග හරින්නට මෙම අනිවාර්යතාව මගහැර යාමට උත්සාහයක් මෙහිදී දක්නට ලැබේ. තවත් ආකාරයකට කියන්නේ නම් දෛවය නැතිනම් ඉරණම ඕනෑම මොහොතක වෙනස් විය හැකි බව පිළිබඳ සංශය ඔහු තුළ පවතියි. මරණය පිළිබඳ අප තුළ පවතින අර්ථ විරහිත සංඥාව මගින් මෙවැනි අතීරණාත්මක වර්තමානයක් වෙත අපව ගෙන එනු ලබයි.

ප්‍රියංකරගේ නාට්‍යයෙහි මග හැරී තිබුණු ‘ඊඩිපස් රජ‘ නාට්‍යයෙහි තීරණාත්මක වැකිය මෙහිදී අපට අතිශය වැදගත් වේ. මෙය ග්‍රීකයන් නූතනත්වය සමග දක්වන නෑ කම ප්‍රකට කරවන සංවාද කොටසකි.

ඇපලෝය මිතුර, ඇපලෝය
මේ විපතට හෙලුවේ මා
ඔහුගේ අතින් නම් නොවෙයි
නෙත් අඳ වුණේ
මගේම අතින්මයි, එය කරගත්තේ
it was Apollo, friends, Apollo that brought this bitter bitterness, my sorrows to completion. But the hand that struck me was none but my own.

මෙමගින් කියවෙන්නේ මෙම නාට්‍යයෙහි අතිශය තීරණාත්මක අදහසයි. මෙහිදී ඊඩිපස් පවසන්නේ මෙම ඛේදය වළක්වාලීම හෝ මග හැර යාම සිදු කිරීමට හැකිව තිබුණද එය තමාගේම හෘද සාක්ෂිය විසින් ක්‍රියාත්මක කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින්ම, එය සිදු කරගත බවයි. වැඩිදුරටත් එමගින් අපට පෙන්වා දෙන්නේ අනාවැකිය යථාභූත වන්නේ මගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස මිස වෙනත් ආකාරයක මෙලොව පාලනය කරන අදෘශ්‍යමාන අනිවාර්ය බලයක් මත නොවේ.

තර්කය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම් ඇත්තෙන්ම මෙහිදී ඊඩිපස් තම ජීවිතයෙහි පවතින දරා ගත නොහැකි වරදකාරීත්වය මත තමාටම දඬුවම් පමුණුවා ගන්නේ යුක්තිය හා සදාචාරය නම් වූ සංකීර්ණ ප්‍රපංච වෙත අභිමුඛ වීමට හෝ එය ඉක්මවා යාමට ඔහු තුළ පවතින කුඳු බව නිසාය. ඔහු දණ නමන්නේ යුක්තියට මිස දෛවයට නොවේ. ග්‍රීකයන් උත්සාහ කළේ එවැනි සිතීමක් වෙත තම ජනතාව දිශානත කරවීමට බව අයෙකු විසින් යෝජනා කිරීම යුක්ති යුක්ත වන්නේ මෙම නිසාය. එම නිසා මෙම සංවාද කොටස ‘ඊඩිපස් රජ‘ නාට්‍යයෙහි මගහැර යා නොහැකි සංකීර්ණ මෙන්ම තීරණාත්මක සංවාද කොටසක් බව පෙන්වා දිය යුතුය.

-රංග මනුප්‍රිය-

 

Social Sharing
අවකාශය නවතම