මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) කාර්යභාරය සහ ඒ සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති හා එක්සත් ජාතීන්ගේ ඩිජිටල් සහයෝගිතා කමිටුවේ සාමාජික මහාචාර්ය රොහාන් සමරජීව සමඟ කළ කතාබහකි.
MCC ගිවිසුම පදනම් කරගෙන විවිධ අදහස් සමාජ ගතවෙමින් තිබෙනවා. මේ ගිවිසුම යටතේ ඉඩම් සිතියම්ගත කර ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඔබ ආයතනය ඒ පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් කළොත්?
ඉඩම් සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියේ අපේක්ෂාව වන්නේ පෞද්ගලික ඉඩම් සහ අවම ලෙස භාවිතට ගැනෙන රජයේ ඉඩම් පිළිබඳ තොරතුරු පහසුවෙන් එක් රැස් කිරීමට හැකි ආකාරයට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන සිතියම් ගත කර එමඟින් ඉඩම් වෙළඳ කටයුතු වැඩි දියුණු කිරීමයි. මෙහිදී කුඩා ඉඩම් හිමියන් සහ ආයතනවල ඉඩම් භුක්තියේ ආරක්ෂාවත්, ඒවා විකිණීමේ හැකියාව දියුණු කිරීමත් සඳහා ප්‍රතිපත්තිමය සහ නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය ඉඩම් තොරතුරු කළමනාකරණ කිරීමේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දැනටමත් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක්. නමුත් ඒ කටයුතු සම්පූර්ණ කර අවසන් කරන්න අවශ්‍ය මුදල් අපට නැහැ. මෙතෙක් ඒ කටයුතු අප කළේ ජනතාව රජයට ගෙවන බදු මුදල්වලින්. නමුත් මේ ගිවිසුම යටතේ ලැබෙන ප්‍රදානයෙන් ඩිජිටල් ලේඛනාගාරය සහ බිම්සවිය කටයුතු වඩා පහසුවෙන් කරගන්න අපට හැකියාව ලැබෙනවා. එයින් එහි වාසිය අත්වන්නේ මේ රටේ ජනතාවටයි.
ඉඩම් ඩිජිටල්කරණය මඟින් රජයේ සහ පෞද්ගලික ඉඩම් සිතියම්ගත කිරීමේ අරමුණ; විදේශිකයන්ට මේ ඉඩම් පහසුවෙන් විකුණන්න තියෙන හැකියාව ශක්තිමත් කිරීමයි කියලා චෝදනාවක් නැඟෙනවා.
ඔය කතාව පදනම් විරහිතයි. එහි කිසිදු සත්‍යතාවක් නැහැ. අපේ මූලික අරමුණ මේ රටේ සියලුම ඉඩම් සිතියම් ගත කිරීමයි. එමඟින් බොහෝ ඉඩම්වල තියෙන ගැටලු නිරාකරණය කරගන්න පහසු වෙනවා. මේ රටේ තියෙන පෞද්ගලික වේවා රජයේ වේවා මේ කවුරුවත් තමන්ගේ ඉඩම් ගැන හරි අවබෝධයක් නැහැ. ඉඩමක් මිලදී ගන්න ගියොත් ඕනෑම කෙනෙක් එහි නිරවුල්භාවය හොයලා බලනවා. පත්ඉරු ලබා ගන්නවා. ඒවා කාලාන්තරයක් තිස්සේ ෆයිල්වල තිබිලා දූවිලි වැදිලා දුර්වර්ණ වෙලා. ඇතැම් විට අතින් අල්ලන්න බෑ. ඒ තරමට දිරාපත් වෙලා. නමුත් ඉඩමක නිරවුල් භාවය සොයද්දී ඒ දේවල් අවශ්‍ය වෙනවා.
ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය වුණා. ඒ අනුව තමයි මේ ඉඩම් සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වුණේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් විශාල වාසියක් සැලසෙනවා. උදාහරණයකට ඔබට ඉඩමක් තියෙනවා කියලා හිතමු. ඒකේ හොටෙල් එකක් හදන්න කියලා මෙරට හෝ පිටරට ආයෝජකයෙකු ඇවිත් ඔබෙන් ඉඩම ඉල්ලනවා. ඔහු ගෙවන්න හදන මුදල ඉතා විශාල වුණත් ඒ ඉඩම ඊට වඩා වටිනවා. නමුත් ඔබට ඒක මිල කරන්න දන්නේ නැහැ. නමුත් ඔබේ ඉඩම සිතියම් ගත වී තිබුණොත් එම ගනුදෙනුව වඩා වාසිදායක ලෙස කළ හැකි වෙනවා. මොකද මෙවැනි සිතියම් මඟින් ලෝකයේ වෙනත් රටවල එවැනි පරිසර කලාපවලට තිබෙන වටිනාකම හොයාගන්න පුළුවන්. ඒ අනුව ලෝකයේ එවැනි පරිසරයක පවතින වටිනාකම අනුව ඔබට එය විකිණීමට හො බදු දීමට හැකියාව සැලසෙනවා.
මේ ව්‍යාපෘතිය මඟින් සිදු වන කාර්ය මොනවද?
ඉඩම් කට්ටි නිර්මිත සිතියම සහ රාජ්‍ය ඉඩම් වට්ටෝරුව සකස් කිරීම. ඔප්පු ලේඛනාගාරය වැඩිදියුණු කිරීම. ඉඩම් තක්සේරු කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීම. ඉඩම් ප්‍රදාන ලියාපදිංචිය සහ ඔප්පු පරිවර්තනය (ඉඩම් අයිතිය ඔප්පු ලියවිල්ල පදනම් කරගත් ක්‍රමයෙන් හිමිකම පදනම් කරගත් ක්‍රමයට හැරවීම).
මේ ඉඩම් ප්‍රතිපත්තිය සහ ඉඩම් පාලනය රටේ සංවර්ධනයට දායක කර ගන්නේ කොහොමද?
රාජ්‍ය ඉඩම් සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධ අංගසම්පූර්ණ ඩිජිටල් දත්ත පද්ධතියක් ඇති කිරීමෙන් විශේෂිත ඉඩම් කලාප හඳුනා ගැනීමට ඉඩ ලැබෙන නිසා ක්‍රමවත්ව හා විද්‍යාත්මක ව රටේ භෞතික සංවර්ධනය සැලසුම් කිරීමට හැකි වෙනවා. පෞද්ගලික ඉඩම් ඔප්පු සහ හිමිකම් පරිගණකගත කිරීම මඟින් ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වෙනවා. ඉඩම් සම්බන්ධ කටයුතුවලදී භෞතික ලේඛන ගබඩා කිරීමේ සහ සෙවීමේ ප්‍රමාද සහ ඒ ආශ්‍රිත සොරකම්, ගිනිගැනීම්, වෙනස් කිරීම් සහ වංචා නිසා ඇති විය හැකි අපහසුතා වළක්වාගැනීමට හැකි වෙනවා.
ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමෙන් ඉඩම්වල ආර්ථික භාවිතය වැඩි දියුණු වෙනවා. එමඟින් පෞද්ලික සහ ජාතික ආර්ථික වර්ධනයට දායකත්වයක් ලැබෙනවා.
MCC ගිවිසුම මඟින් ඇති කරන MCA ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම ඔස්සේ ඇමරිකාවට ඕන විදියට මේ කටයුතු සිදු කරන බවට චෝදනා නැඟෙනවා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත බලයලත් ආයතනය වන MCA ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම, පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවීමට තමයි බලාපොරොත්තු වන්නේ. එම සමාගමට ජනාධිපතිවරයාගේ නියෝජිතයකු, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයකු, වැඩසටහනට සෘජුව සම්බන්ධ අමාත්‍යාංශයක ලේකම්වරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයෙකු සහ සිවිල් සමාජ නියෝජිතයන් දෙදෙනෙකු අයත් වෙනවා. මෙහෙයවීමේ බලය හිමි අධ්‍යක්ෂක මණ්ඩලය බවට පත් වන්නේ ඒ අයයි. ඔවුන් ශ්‍රී ලාංකිකයන් මිසක් ඇමෙරිකානුවන් නෙමෙයි. ඒ නිසා ඔය චෝදනාව පදනම් විරහිතයි. මෙම සමාගම ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ඉ ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවන ලද අයි සී ටී ඒ (ICTA) ආයතනය වන අප ආයතනය හා සමාන ආයතනයක්.
එහෙත් MCC ගිවිසුමේ පාරදෘශ්‍යභාව පිළිබඳ සැකසංකා මතු වන බව ඇතැමුන් ප්‍රකාශ කරනවා.
එම ගිවිසුම පාරදෘශ්‍ය භාවයකින් යුතුව සිදු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන ගිවිසුමට අන්තර්ගත කර තිබෙනවා. ඒ අතර ගිවිසුම් යටතේ සිදු කෙරෙන මිලදී ගැනීම් පිළිබඳ ප්‍රතිපාදන, ගිණුම් තැබීම පිළිබඳ ප්‍රතිපාදන සහ විගණනය පිළිබඳ ප්‍රතිපාදන ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා. MCC ගිවිසුම යටතේ සිදු කරන මිලදීගැනීම් සියල්ල “MCC වැඩසටහනේ මිලදීගැනීම් මාර්ගෝපදේශ” මත පදනම්ව සිදු කළ යුතුයි. එම් මාර්ගෝපදේශ අතර භාණ්ඩ, වැඩ සහ සේවා මිලදී ගැනීම් සඳහා මිල ගණන් කැඳවීම, කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සහ පාලනය කිරීම සඳහා විවෘත, සාධාරණ සහ තරගකාරී ක්‍රියාපරිපාටි පාරදෘශ්‍ය භාවයකින් යුතුව ක්‍රියාත්මක කරන්න ඕන. මිල ගණන් කැඳවීම, එසේ මිලදී ගැනීමට අපේක්ෂිත භාණ්ඩ, වැඩ සහ සේවා පිළිබඳ පැහැදිලි සහ නිවැරදි විස්තර කිරීමකින් සමන්විත සිදු විය යුතුය. කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම එම කොන්ත්‍රාත්තු පිරිවැයඵලදායී සහ කාලීන පදනමකින් සිය කොන්දේසි මත ක්‍රියාත්මක කිරීමට ශක්‍යතාව සහ කැමැත්ත ඇති සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ට පමණක් ලබාදිය යුතුයි. භාණ්ඩ, වැඩ සහ සේවා මිලදී ගැනීම සඳහා වාණිජමය වශයෙන් සාධාරණ මිලට වැඩ වැඩි මිලක්, නිදසුනක් ලෙස ඉදිරිපත් කර ඇති මිල සහ වෙළෙඳපොළ මිල සසඳා, ගෙවීම් කරන්න බැහැ.
ගිණුම් තැබීම ඇමරිකානු එක්සත් ජනපදයේ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සිදු කළ යුතුයි. ශ්‍රී ලංකා රජය විසින් වැඩසටහනේ අරමුදල් උපයෝගී උපයෝජනය අර්ධ වාර්ෂිකව ස්වාධීන විගණකයෙකු විසින් විගණනය කළ යුතුයි. ඒ වගේම විගණන කාලසීමාව ඉක්මවා දින අනුවක් ගත වීමට ප්‍රථම MCC ආයතනයට ඒවා ලබාදිය යුතු වෙනවා.
උපුටා ගැනීම – http://www.silumina.lk