ඡන්දය කල් යයි?

දැනට ක්‍රියාත්මක මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම නිසා පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කල් යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බව දැනගන්නට ලැබේ.

මේ වනවිට මැතිවරණ කොමිෂමේ සාමාජිකාවක් වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ද සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බව වාර්තා වෙයි.

පසුගිය දින කිහිපය තුළ මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා වෙන වෙනම හමුවී ඇතැයි මේ අතර වාර්තා වෙයි.

මේ අතර පසුගිය 25 දා පාර්ලිමේන්තු සංක්‍රීරණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවතී ඇති අතර එහිදී මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත්කිරීමට අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කරන්නට තීරණයක් ගෙන ඇත. මෙම තීන්දුව හුවා දක්වමින් කොමිෂන් සභාවේ සාමාජිකයන් සියල්ල ඉදිරියේදී ඉල්ලා අස්වෙනු ඇතැයි වාර්තා වෙයි.

යම් හෙයකින් මෙසේ මුලු කොමිෂන් සභාවම ඉවත්වී නව කොමිෂමක් ස්ථාපනය කළ හොත් එම නව සාමාජිකයන්ට පැරණි සභාව ගත් තීන්දු ගැන නැවත සළකා බැලීමක් කළ හැකි බව සඳහන්. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් මැතිවරණය කල් යනු ඇතැයි වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්