රාජපක්ෂලාගේ 2021 විදෙස් සංචාර සෙල්ලමට මිලියන 44 යි…!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකරනු ලැබූ නිල විදෙස් සංචාර පහක් වෙනුවෙන්, රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් අගමැති කාර්යාලයෙන් හා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ 2022 වර්ෂයේ ජනවාරි 01වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අගමැති කාර්යාලය වෙත යොමු කළ ඉල්ලුමට අදාළ තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(ඌ) ii වගන්තියට අනුව ප්‍රතික්ෂේප කරන බවට දන්වා සිටින ලදී.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත සිදුකළ අභියාචනයකට අනුව අවස්ථා දෙකකදී සිදුකරනු ලැබූ අභියාචනා විභාග තුළදී මෙම තොරතුරු, තොරතුරු ඉල්ලුම්කරුට ලබාදෙන ලෙස නියෝග කළේය.

ඒ අනුව මෙම තොරතුරු 2022 ඔක්තෝබර් හා නොවැම්බර් මාස තුළ අවස්ථා කීපයකදී ලබාදීමට අදාළ පොදු අධිකාරීන් කටයුතු කර තිබේ. නමුත් වැඩකරන දින 14ක් තුළ හෝ දින 21ක් තුළ පුරවැසියෙකු හට ලබාදීමට නියමිත තොරතුරු ලබාදීමට මෙම පොදු අධිකාරීන් දෙක ලබාගත් කාලය මාස 10කට අධික බවද පෙන්වා දිය යුතුය.

විශේෂයෙන්ම ජනාධිපති හා අගමැති මෙම නිල සංචාර සඳහා භාවිත කර ඇත්තේ මෙරට පුරවැසියන්ට අයත් බදු මුදල් බවත්, එසේ පුරවැසියන්ගේ බදු මුදල් රාජ්‍ය නායකයන් මේ ආකාරයෙන් භාවිත කරන්නේ නම්, ඒ ගැන ජනතාවට තොරතුරු දැනගැනීමට අයිතියක් තිබෙන බවද මෙරට පුරවැසියන් දැනගත යුතුය. ඒ බවද තොරතුරු කොමිසම තුළදී අභියාචක වන ලියුම්කරු විසින් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් මෙසේ ලබාදුන් තොරතුරු විශ්ලේෂණය මගින් අනාවරණය වූයේ එසේ සිදුකළ මිලියන 44කට අධික වියදම් අතුරින් රුපියල් මිලියන 36කට අධික මුදලක් (36,970,864.14 ) වැයකර තිබෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත්, ඒ නිල විදෙස් සංචාර 02ක් සඳහා පමණක් බවත් හෙළි විය. එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල විදෙස් සංචාර 03ක් වෙනුවෙන්ම යොදවා ඇත්තේ රුපියල් මිලියන 07ක පමණ (7,768,320.77 ) මුදලක් බවද එම තොරතුරු මගින් අනාවරණය වේ.

මෙම දත්ත මගින් අනාවරණය වන්නේ මෙසේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් වැය කරනු ලැබූ රුපියල් මිලියන 44කට අධික මුදලින් ප්‍රතිශතයක් ලෙස 83%ක්ම වැය කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් බවයි.

 

සංචාරය කරපු තැන්

විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 7,768,320.77ක මුදලක් වැය කරමින් සිදුකළ නිල විදේශ සංචාර මොනවාද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරුවලට අනුව, නිව්යෝර්ක්, ග්ලාස්ගෝ(UK), එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ එම සංචාර කටයුතු සිදුකර තිබෙන බව පෙන්වා දිය හැකිය. නමුත් එම සංචාරයන් කරන ලද්දේ කුමන කාරණා සම්බන්ධයෙන්ද යන්න ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙතෙක් තොරතුරු ලබාදීමට කටයුතු කර නොමැති බවද පෙන්වා දිය යුතුය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ සංචාර තුන අතුරින් නිව්යෝර්ක් සංචාරය වෙනුවෙන් රුපියල් 5461221.71 මුදලක්, ග්ලාස්ගෝ (UK) සංචාරය වෙනුවෙන් 1785210.42ක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය වෙනුවෙන් 521888.68ක් මුදලක්ද යොදවා තිබේ.

කෙසේ නමුත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් විදෙස් සංචාර දෙකකට සහභාගි වී ඇති අතර, එම නිල සංචාර අතර 2021 මාර්තු 19වැනි දින බංගලාදේශයේ 50වැනි නිදහස් දිනය සැමරීම සහ බංග්ලාදේශයේ නිර්මාතෘ ෂේක් මුජිබර් රහ්මාන් මහතාගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් වූ සංචාරය වෙනුවෙන් රුපියල් මිලියන 10කට අධික (10,568,962.53) මුදල් යොදවා තිබේ. එමෙන්ම 2021 සැප්තැම්බර් 10වන දින ඉතාලියේ G20 ජ්‍යාත්‍යන්තර සමුළුවට සහභාගී වීම වෙනුවෙන් රුපියල් මිලියන 26කට අධික මුදලක් (26,401,901.61) හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් යොදවා තිබෙන බවද එම තොරතුරු මගින් අනාවරණය විය.

විශේෂයෙන්ම මෙසේ සිදුකරනු ලැබූ වියදම් අතුරින් බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශය වෙත ලබාදුන් ප්‍රතිපාදන ලෙස රුපියල් 10,353,102.54ක මුදලක් හා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දරන ලද අනෙකුත් වියදම් රුපියල් 215,859.99ක මුදලක්ද යොදවා තිබේ.

එමෙන්ම ඉතාලි සංචාරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විදේශ අමාත්‍යාංශය වෙත ලබාදුන් ප්‍රතිපාදන ලෙස රුපියල් 25,048,539.18ක මුදලක් මෙන්ම, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රුපියල් 1,ි353,362.43ක මුදලක් යොදවා තිබේ.

G20 Interfaith Forum 2021 සමුළුව සඳහා ප්‍රධාන කථිකයෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉතාලියට ගිය විට එය හෙළා දකිමින් එහි සිංහල හා දෙමළ ජනතාව කටයුතු කළ බව tamilguardian වෙබ්අඩවිය වාර්තා කරන ලදී. එම වාර්තාවේ පළවූ සුවිශේෂී කරුණක් වන්නේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නියෝජිතයන් ඉතාලි අවන්හලක ආහාර වේලක් බෙදාගන්නා ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමග රජයට ද දැඩි විවේචන එල්ල වීමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක විශාල දූත පිරිසක් රැගෙන විත් මේ ආකාරයෙන් කටයුතු කිරීම එහිදී එල්ල වූ විවේචන අතර වේ.

 

මහින්දගේ අධික වියදම ඇයි?

රටේ ජනාධිපතිවරයා ලෙස සිදුකළ නිල විදේශ සංචාරවලදී අඩු පිරි වැයකුත්, රටේ අග්‍රාමාත්‍යවරයාගේ නිල විදේශ සංචාර තුළදී සිදුකළ නිල විදේශ සංචාරවලදී වැඩි පිරිවැයකුත් සිදුවීමට හේතු සම්බන්ධයෙන් සොයා බැලීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් තම නිල විදේශ සංචාර වෙනුවෙන් වැඩි පිරිසක් සහභාගී කරගැනීම බවයි.

මෙහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 වර්ෂයේ සිදුකළ නිව්යෝර්ක් සංචාරයේදී ඔහු සමග ගමන් කර ඇත්තේ 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව පෙනී යයි.

නමුත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙන්ම, ඉතාලි සංචාරය වෙනුවෙන් 18දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරවාගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ලබාදුන් තොරතුරු අනුව අනාවරණය වේ. එම පිරිස අතර තම පවුලේ සාමාජිකයන්, හිතවතුන්ද සිටින බව ඉහත ඇති tamilguardian වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය මගින් අනාවරණය වේ.

විශේෂයෙන්ම කෝවිඩ් වසංගත තත්ත්වය මෙන්ම රටේ පැවැති දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයකදී පවා රටේ නායකයන් ලෙස තම විදෙස් සංචාර වෙනුවෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් සතුටු කිරීම වෙනුවෙන් රටේ මහජනතාවගේ මුදල් මේ ආකාරයෙන් යෙදවීම බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ගෝලීයකරණය වෙමින් පවතින ලෝකයට අනුව ඕනෑම රටක රාජතාන්ත්‍රික සම්බන්ධතා මනා ලෙස පවත්වාගෙන යාම සිදුකළ යුතුවේ. එමෙන්ම රටක සංවර්ධනයක් කරා යන ගමනේදී හුදෙකලාව ජීවත් විය නොහැකි අතර, ඒ සඳහා රාජතාන්ත්‍රික සබඳතාවන්ගෙන් විශාල ශක්තියක් ලැබෙනවා සේම, නව තාක්ෂණයත්, ගෝලීයකරණ සංවර්ධනයත් සමග වේගවත්ව ඉදිරියට ගමන් කිරීම සඳහා ඉන් පිටුබලයක් ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

නමුත් එම සම්බන්ධතා වෙනුවෙන් විදෙස් සංචාර සඳහා මේ ආකාරයෙන් රටේ නායකයන් රටේ ආර්ථිකයට දැඩි හානියක් ගෙන එන ලෙස කටයුතු කරන්නේ නම්, ඉන් රටේ ආර්ථිකයට සිදුවන හානිය සුළුපටු නොවන බව අද ලංකාවට අත්වි ඇති ආර්ථික ඉරණම සාක්ෂි දරනු ඇත. එමෙන්ම මෙරට බිහිවන සෑම නායකයෙකුම මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කළයුතු බවද මෙමගින් පෙන්වාදෙන ප්‍රධානතම කරුණ වේ.

උපුටාගැනීම : රාහුල් සමන්ත හෙට්ටිආරච්චි (අද) / නිව්ස්පීඩියා

Social Sharing
නවතම විශේෂාංග