ඉඳුරුවේ ආචාරියාටත් හපන් මිනිහෙක් 

සමෘද්ධි නිළධාරීන්ට හා ක්ෂේත්‍ර නිළධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කරලලු. ඊට අදාළ නීති හදන්න පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරිණිය වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේලු.

ක්‍ෂේත්‍ර නිළධාරීන් නැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජන්ද දිනන්න බැහැ. එස්. බී. ගේ සමුර්දි ජන්ද මැෂිමේ අඬුපඬු මේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා අවසන් වර්තාවෙත් මේ ගැන තිබෙනවා. මේ වාර්තාවට උපදෙස් දෙන්න පත්කළ මහාචාර්ය සුදන්ත ලියනගේ වෙන්න ඇති මෙහෙම උපදෙස් දෙන්න ඇත්තෙ. සාභිමානී මැතිවරණ ප්‍රතිසංස්කරණයක් සඳහා උපදෙස් නොදී මේ වගේ සිල්ලර වෙනස්කම් වලට උපදෙස් දෙන විද්වතුන් නම් අපිට පොල්පිත්තකින් වුණත් කපා ගන්න පුළුවන්.

සැකයකින් තොරව කිව යුත්තේ ජන්දය ඉල්ලන්න ඕනනම් කරුණාකරලා තමන්ගේ වැඩකරන කොට්ඨාශය වෙනස්කරගන්න. මිනිස්සු අමාරුවෙන් හම්බ කරන හැරුබස්ස මඟින් ගන්න බදු මුදලින් දෙන සහනාධාර පෙන්නලා ගම්වල මිනිස්සු රැවටීම පාපයක්. ඒ මිනිස්සු ආධාර ටික දෙන්නේ මේ ක්‍ෂේත්‍ර නිළධාරීන් සෙට් එක කියල හිතාගෙන ජන්දය දෙනවා බයටම.

මේ නිසා මැතිවරණ කොමිසම ජන්දයට පෙර යටත් පිරිසෙන් 06 මාසෙකට පෙර තමන්ගේ කොට්ඨාශයෙන් අදාළ ක්‍ෂේත්‍ර නිළධාරීන් ඉවත්විය යුතුයැයි කීවා. මට පේන විදියට නම් දිනේෂ් ගුණවර්ධන මේ හදන්නේ දොඩම් ගොඩ එහෙම පිටින්ම බදාගන්න.

මේ මිනිස්සු වියපත් වෙලා තියෙන්නේ මේ ආකාරයෙන් රට ආපස්සට අදින්න මිසක් වෙනස් කරන්න නොවෙයි. මේවා මේ විදියට වෙනවනම් විධායක/මාණ්ඩලික නිළධරයන්ගේ දේශපාලන අයිතිවාසිකම් ද දියයුතුමයි. ඇයි ඒ මිනිස්සු විතරක් හිර කරන්නෙ.

ලංකාවේ බහුතරයක් දේශපාලන පක්‍ෂ මීට විරුද්ධයි. ඒ බව මැතිවරණ කොමිසමේදී ඔවුන් පැවසුවා. ඊළඟ මැතිවරණයක බලවත්ම අනෙක් අනතුර මේ මිනිස්සු ටික. තමන්ගේ ස්වාධීන හැකියාවෙන් ජන්දය ඉල්ලන්න ඕනෑ නම් වැඩකරන කොට්ඨාශය වෙනස් කරනොගෙන මෙහෙම කෙටි පාරවල් වලින් එන මිනිස්සු එක්ක අපිට හැමදාම බංකොලොත්බවේ තමයි ගිලිලා ඉන්න වෙන්නෙ.

– මංජුල ගජනායක –

 

Social Sharing
නවතම විශේෂාංග