දෙල් බෝධිය…!!

වැඩේ දෙල් වුණා කියලා කයියක් තියෙනවා. මතකය දෙල් වුණාම මක්කා කොරනවා? මේ දෙල් ගස හැර තවත් දෙල් ගස් තිබේද? ඔව් තිබෙයි තිබෙයි. ඒ ගස මහා විශාල යැ. ඒ නිසා ඒක මට දෙල් බෝධියක් ම යැ. ඉතිං මේ මතකය අරා රූස්සෙට වැඩුණ දෙල් බෝධිය ගැන කතා ලතා වස්තුව…!

මේ දෙල් ගස දෙමටගොඩට ආවාම හීක් ගාලා හිනා වුණා. දැන් දෙල් එල්ලන් බලන් ඉන්නවා. මේ දෙවෙනි ගමන මහිතේ. ඉතිං මේන් දෙල් මතක. ඒ මතකය සුළඟක් වෙලා අරං ආවාට මේ දෙල් බෝධියට පිං.

ඉස්සර මම පොඩි කාලේ හංගමුව ගමට එනකොට ඒ ආපු කාලේ පුංචිම පුංචි සන්දියේ මතකයට ගියොත් ඒ මතකය උඩ රූස්ස දෙල් ගහක් ඇණ තියන් බලන් ඉන්නවා.. මට හිතෙන්නේ ඒක තමයි මුලු සපරගමුවටම තිබුණ ලොකුම දෙල් ගහා. ඔව් මට හිතෙන්නේ එහෙම. මට එහේ කොන මෙහේ කොන ගාටනකොට තවමත් එහෙව් දෙල් බෝධියක් ඇහැ ගැටිලා නෑ. ගඟ නයෙක්වගේ ගලනකොට ඊට ටිකක් උඩින් තාර පාර ගඟට සමාන්තරව ගලනවා. ඒ පාරයි ගඟයි අතරින් තමයි දෙල් බෝධිය මහා යෝධයෙක් වගේ උසට උසේ මේ අහසම මගෙයි කියලා හරිම ආත්මාර්තෙට අහස අල්ලන් හිටියේ. ඉතිං ඒ දෙල් බෝධිය යට හරියට බුදු මැදුරක් ඉන්දුවා වගේ සිරිබෝ හාමිගේ කඩේ තිබුණා. ඒ අපේ ආතා. මට මතක ආතගේ මළගම විතරයි. ඒත් ආතගේ කඩේ ඔව් ඒක ලෑලි කඩයක් බිමටත් ලෑලි කඳු පාරට කඩේ උසයන්න ලී කණු උඩ තමයි කඩේ අටෝලා තිබුණේ. සිරිබෝ අයියගේ කඩේ. ඉතිං ඔය කඩේ දුවන කොට මහා සද්දයි. ඒ සද්දේ තාම මට මතකයි. ඒ සද්දේ අස්සේ මට තවමත් මතක් වෙන්නේ උදේට පාරේ ලැගලා ඉන්න හරක් සනුහරේ අස්සේ සමහර හරක් එල්ලගෙන ඉන්න ගෙජ්ජි සෙළවෙන හඬ. ඊටපස්සේ ඉතිං මතක මේ කඩේ වහලෙට දාලා තිබුණ ටකරමට ඩාං ඩෝං ගාලා ගල්ගහන දෙල් බෝධිය. ඇත්තටම කඩේ හත්තක් වගේ වහලේ ඉර වැටෙයි කියලා ආරක්ෂා කොරගෙන හිටියේ මේ දෙල් බෝධිය.

අක්කර බාගයක් වගේ ගඟයි පාරයි අතරේ හිරවෙලා තිබුණ වැලිතලප ඉඩම් කෑල්ලෙන් බාගෙට බාගයක් වහගෙන කිසිම කමක්කාරියක් නැතුව අප්පෝ කෙනෙක් වගේ හිටියේ මේ දෙල් බෝධිය. ඒක ගමට ලයිට් නැති කාලයක්. බල්බ් වල මදේ අයින් කරලා ඒක ලස්සනට සාඩින් ටින් නැත්තං ටිං කිරි බෝතල්වලට බස්සලා හදලා තිබුණ එළි බුබුලු කණාමැදිරි පස්සවල් වලින් තමයි අපි හය පාස් කළේ.

ඉතිං මේ රූස්ස දෙල් බෝධිය අපිට අවුරුද්දට නොවැරදීම දෙපාරක් දෙල් දුන්නා. ඔව් සීතල දෙසැම්බරයේ තමයි වැඩියෙන්ම දෙල් බල්බ් ගහේ ඉඳන් අපි දිහා බලාගෙන හිටියේ. දෙසැම්බර නිමාඩුවට අපි ඉස්සර කරන ආසම වැඩක් තමයි මීදුම මැදින් සීතලේ සරම සිවුරක් වගේ ඔතාගෙන පාර අතුගාල ගොඩවල් ගහලා ගිනි තියන එක. ඊටපස්සේ ඒකෙන් එන රස්නෙන් පොඩි සොමියක් ගන්න එක. උදේට කොහොමත් නැඟිටලා ළිප් බොක්කට තමයි ගාටන්නේ ඒක වෙන කතාවක්. ඒත් ඉතිං මේකාලෙට අපි ළිප් බොක්ක මහාපාරට ගෙනවා. මෙහෙම ගිනි කඳු ගොඩ ගහනකොට ඉදිලා වැටුණු දෙල් අපි ඒ ගිනි ගොඩට දාලා අරං කනවා. ඒක මා රස කෑමක්..! දැන්නම් කාපු කාලයක් මතකයට එන්නේ නෑ.

ඉතිං අවුරුද්දකට දෙපාරක් දෙල් දෙන මේ දෙල් මිනිහා සමහර අවුරුදු වලට ගමන් තුනක් දෙල් දුන්නා මගේ මතකය නිවැරදි නම්. ඒකට හේතුව ගඟ අරගෙන එන පෝෂණය මේ මිනිහා පොළව යටින් අත් දහසක් දාලා සොරකම් කිරීම. හැබැයි ඉතිං අපිට දෙල් දෙන්නනේ එහෙම හොරකම් කළේ කියලා හිතනකොට ඒක ලස්සන හොරකමක් කියලා නිකං ඔහොක් කරගන්න ඇහැක්. දෙල් ගස් පැටව් ගහන්නේ මුලෙන් ඉතිං මෙයත් වටේට පිටේට එහෙම පැටි රංචුවක් හදාගෙන හිටියා. එතකොට ඉතිං දෙල් කැලේ දෙල් සිංහයා වගේ.

මේ දෙල් දෙයියා ජීවිතේ සෑහෙන කාලයක් බඩගින්න නිවලා දැම්මා. ඒ විතරක් නෙවෙයි ෆිල්ම් බලන්න යන්න බීඩි සුරුට්ටු බොන්න ගල්කාලක් ගහන්න සල්ලි එල්ලගෙන හිටියා. අතු කඩාගෙන වැටෙයි කියල හිතෙන දෙල් කාලවලට අපි දෙල් කඩාගෙන විල්බැරෝවක දාගෙන අල්ලපු ගමට පයින් ගියා. ගමේ එවුන්නම් නිකම්ම තමයි මේ දෙල් ගහෙන් දෙල් කෑවේ. අපේ අම්මා ඕනී යකෙක්ට දෙල් කඩාගෙන යන්න ලයිසොම දීලයි තිබුණේ. හැබැයි ඉතිං විල් බැරෝවෙන් දෙල් ගෙදරට එනකොට අල්ලපුගම් ඈයෝ දෙල් සල්ලිවලටත් කෑවා. ‘අම්මෝ ඔය ගහේ දෙල් පිට්ටුවගේ තැම්බෙන්නේ’ කියලා පොඩි කයියකුත් එක්ක උන් දෙල් ගත්තා.

අම්මා ඉතිං එක එක විදිහට දෙල් හැදුවා. මම ආසම දෙල් රැහැලා දිග අතට ගස්ලබු පලු වගේ කපලා තම්බලා පොල් එක්ක කන්න. ඒක ඉතිං අමා රසක් දෙන්නේ. අපේ අම්මා කවදාවත් වතුර පෙරණ සයිස් එකට දෙල් එකට වතුර තිබ්බේ නෑ. දෙල් කෑල්ලේ තියෙන වතුරෙන් තමයි දෙල් කෑල්ල පිට්ටු වුණේ. හුමාලයෙන් තම්බනවා වගේ, එහෙම තැම්බුවේ කොහොමද කියලා මම තවමත් හිතනවා. ඒ නිසා කවදාවත් වැඩේ දෙල් වුණේ නෑ. ඒ කියන්නේ දෙල් කෑල්ල චොර වුණේ නෑ.

සමහර දවසට අපි පොල් ගාන්නේ නැතුව පොල් දිගට තීරුවට ගලෝලා දෙල් එක්ක කෑවා. කට අස්සේ දෙලුයි පොලුයි එකට ඇඹරෙනකොට ඒක වෙන රසක්. සමහර දවස් තිබුණා අපේ ගඟේ හිටිය ලොකුම මාළුවා ගොනාගේ මස එක්ක දෙල් පොල් එකට මික්ස් වෙලා බඩට වැටෙන. මාළුවා හැදෙන්නේ කළුවට. ගොරකා කෑලි ලොකුවට, ගම්මිරිස් ඇට පොඩි නොකොට, වේලුන මිරිස් හොදිත් පුරවන්, දෙල් කෑලි උඩ සැමනිලා ඉන්නකොට ඒක වෙනම රහක්..

සමහර දවසට දෙල් කිරට තම්බලා චට පට ගාන්න අබ ඕසෙට රත් කරලා දාලා එහෙක් මෙහෙක් කරලා ගත්තා. එහෙම හැදෙන දෙල් සාරු පාන් එක්ක දැවටුවාම ඒක වෙන රහක්. තවත් දවස් තිබුණා රෑට ඉතුරු බිතුරු දෙල් දණ්කුඩේ ලොකු ළූණු මුදුවලට කපලා වේලිච්ච මිරිස් රතුළූණු සුදුළූණු රන්වනට බැදලා අබ එක්ක තෙලට දාලා ගන්න. සමහර දවස්වලට මේකට කොච්චි එක්ක අබරපු පොල් මික්ස් කළා. එතකොට ඉතිං අපි ඒකට කීවේ අමාදෙල් කියලා.

සමහර දවස් තිබුනා උදේට ඉදිලා වැටෙන දෙල් ඕසෙට එකතුකරලා ඒවා රැහැලා රවුමට කපලා ගැඹුරු තෙලට දාන. එහෙම දාලා අරං ඊළඟට ඒවා රත්වුණ පැණි හැලියකට දාලා එහෙට මෙහෙට පද්දලා අරං අපි ඒවා කකා කහට ගුදමක් බීවා. ඉතුරු වුණ ඒවා හෝර්ලික්ස් බෝතල්වල දාලා සීල් කළා. ගේ අස්සේ එහෙට මෙහෙට පනිනකොට ඒ දෙල් රවුම් බඩට පැන්නා අපිටත් නොදැනීම.

සමහර ඕසෙට දෙල් කාලෙට අම්මා දෙල් වේලලා දෙල් අටුකොස් හැදුවා. ඒවා ගමපුරා බෙදුවා. දෙල් අටුකොස් මාළුවට වගේම මැල්ලුමත් හැදුවා. ඒක වෙන රහක්.

මෙහෙම එක එක රසට දෙල් දුන්න දෙල් බෝධිය කපන්න කියලා ලයිට් මහත්තු ඇවිත් ලකුණක් දාලා ගියා. මොකද මේ යකා මුලු පාරම වහගෙන හිටියේ ඒ වෙනකොට. මේයකා පාස්කරලා ලයිට් වයර් අදින්නේ කොහොමෙයි? ඒක ප්‍රස්නයක්.. දැන් මොකෝ කරන්නේ. අපි ඒකාලේ ගෙයක් හදන්න ට්‍රයි කර කර උන්නු කාලේ. කවුද යකෙක් අම්මට කියලා තිබුනා මුලු වහලෙටම රීප්ප කපන්න පුලුවන් මේ ගහෙන් කියලා.

අන්තිමට දෙල් බෝධියට අපෙන් සමුගත්තා. මට හිතෙන්නේ අවුරුදු සීයක් විතර හතරදිගේම ගම්වලට දෙල් දුන්න දෙල් මිනිහා බිමට පාත් වුණා. ඒක බලාගෙන ඉන්න බැරි මොහොතක්. අපේ අම්මා මම අපි හැවෝම සෑහෙන්න කාලයක් සොවින් තැවුනා. ගමේ ඈයොත් තවමත් එතනින් යනකොට දෙල් බෝධිය මතක් කරනවා. සිරිබෝ අයියගේ කඩේට වඩා තවමත් මිනිස්සුන්ගේ මතකයේ මේ දෙල් දෙවි මිනිහා වැඩ ඉන්නවා.

දෙල් ගෙනාවේ පෘතුගීසි කියනවා. අපේ ශක්තිය හීන කරන්න නේ ගෙනාවා කියන්නේ. ඒත් මටනම් හිතෙන්නේ මේ දෙල් ගහා කොස් ගහා වගේම අපිව ශක්තිමත් කළා. කන්න නැති කාලේ අපිට කන්න දුන්නා. මේවගේ කාලෙක මෙහෙම රූස්ස දෙල් මිනිහෙක් වත්තේ කොනක බලාගෙන ඉන්නවා කියන්නේ ඉතිං වාසනාවක්…!!

කේ. සංජීව

Social Sharing
අවකාශය නවතම