සියවසක් කලින් ඉපැදුණු මියුරුසර මිනිසා

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
25.01.1937 – 24.10.2008

ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳව අලුතෙන් යමක් ලියන්නට උත්සාහ නොකරන්නේ මා එයට නොතරම් බැව් ද කේමදාසයන් වෙනකෙක්ට තමා පිළිබඳව අලුතෙන් ලියන්නට යමක් ඉතිරි කර නැතැයි ද හැඟෙන බැවිනි. එබැවින් ඔහු අරභයා ඊෂා ඉන්ද්‍රචාපා බුලත්සිංහල නම් කුසලතාපූර්ණ සංගීතවේදිනිය ලියූ සටහනක් උපුටා දක්වන්නේ කේමදාස සහ කේමදාස භාවිතය පිළිබඳ මතුපිට ස්පර්ශයකට ඔබ්බෙන් වූ ප්‍රබල කියවීමක් එතුළින් ගම්‍යමාන වන බැවිනි.

ඉන්ද්‍රචාපා බුලත්සිංහල වනාහි මේ කුඩා දූපතට ඉහිලිය තරම් නොහී ශක්‍යතාවන්ගෙන් ද අගනාකම්වලින් ද පිරුණු ගායිකාවකි. අද වන විට දුරු රටක සුප්‍රානෝ ඔපෙරා ගායිකාවක් ලෙස ඇය නිසග හැකියාව සහ හැදෑරීම ඔස්සේ ලද මහත් වූ පන්නරය උරගා බලන්නීය. 2007 වසරේ දී එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘කේමදාස’ නම් වූ ශාස්ත්‍රීය චරිතාපදානයට ඉන්ද්‍රචාපා බුලත්සිංහල ලියන ලද මේ කෙටි ලිපිය ප්‍රේමසිරි කේමදාස නම් වූ ගාන්ධර්වයා පිළිබඳ දිගු කියවීමකට අප පොළඹවනසුලු ය.

—————– —————–
මා ප්‍රිය කලා ගුරුනි,

දිගු නිහැඬියාවකට පසු මම ඔබට ලියමි. සංගීත විද්‍යාලයේ ඉගෙනුම අවසන් බැවින් මම ප්‍රායෝගික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සූරිච්හි ජාත්‍යන්තර ඔපෙරා කලාගාරය හා ජර්මනියේ හා ප්‍රංශයේ වෙනත් ඔපෙරා සමාගම් වෙත යන්නෙමි. දැන් මගේ ප්‍රාසාංගික කුසලතා මුළුමනින්ම ප්‍රංශ හා ජර්මන් ප්‍රවර්ගික වන අතර මගේ හඬ හා පෙනුම ඊට ගැලැපේ. මගේ ගුරුවරිය වූ ආචාර්ය මාග්‍රට් එල්කින්ස් කල්පනා කරන්නේ මා ඒ රටවල දී වාසනාව උරගා බැලිය යුතු බවයි. ජාත්‍යන්තර ඔපෙරා ලෝකයට ඇතුළු වීමේ වාසනාව මා සතු බව ඇය නිශ්චය කරගෙන තිබේ. මම සැබැවින් ම ඉතා ම වෙහෙස මහන්සි වී මගේ කලාව ප්‍රගුණ කරමි. ඒ සඳහා ඉමහත් ඉවසීමක් වුවමනා ය. ඉතාමත් දුෂ්කර අභ්‍යාස වලට මම දැන් හුරු වී සිටිමි.

ඔබ පිළිබඳව මගේ මතකය අවදි කරවන්නේ මගේ අංග චලන ගුරුවරිය වූ ඇනා ය. එංගලන්තයෙන් ආ ඇය ඔබ මෙන් ම සීමාන්තික වැඩලෝලියෙකි. ඔබ විසින් ගායනා ශිල්පීන් වෙතින් ඉල්ලා සිටින ලද කුසලතාවන්ගේ තරම මට අවබෝධ වන්නේ දැන් ය. ඔබ විසින් ඉල්ලා සිටින ලද ඒ බරපතල කුසලතා මට්ටම වෙත ළඟාවීමට අපට නුපුළුවන් වූයේ එවැනි ශික්ෂණයක් හා පුහුණුවක් ලබා ගත හැකි තැනක් අප රටේ නොතිබුණු නිසා ය. මා අනික් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩා වෙනස් වන්නේ මන්දැයි ඇය කල්පනා කරයි. අපේ පන්තියේ සිටින අනෙක් කවර ගායක ගායිකාවකටත් වඩා හොඳින් මා ඇය තේරුම් ගන්නේ ද ඒ කාරණය නිසාම ය. මා ඔබ විසින් සංගීතයේ මුලකුරු කියවා ඇති බවත්, ඒ ගැන ආඩම්බර වන බවත් මම ඇයට කීවෙමි. ඇය මා හා වැඩ කරන්නට ඉතා ප්‍රිය කරන්නී ය.

– ඉන්ද්‍රචාපා බුලත්සිංහල –

උපුටාගැනීම : සහන්  k වික්‍රමසිංහගේ ෆේස්බුක් වෝලය

Social Sharing
අවකාශය නවතම