යුපුනා යුපුනා… අඩේ යුපුනා….!!

-ලක්මාල් කුලසේකර-

පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩකයෙක්. පාදයෙ ආබාධයක් සහිත පැරා ක්‍රීඩකයෙක්. ඔහුගෙ ඉසව්වෙ පස්වන ප්‍රයත්නයෙ ඔහු තමන්ගෙ ජීවිතයෙ හොඳම විසිකිරීම කරනවා. මීටර 44.20…ඒ විසිකිරීමෙන් තමයි ඔහු රිදී පදක්කමට යන්නෙ. හැබැයි මේ විසිකිරීමෙ ප්‍රතිපල රෑපවාහිනි තිරයෙ වැටෙන්නත් කලින් ඔහු දකිනව යුපුන්ව. යුපුන් මීටර සියයෙන් ලෝකඩ පදක්කම දිනලා !

ආදරණීය මිත්‍රවරුනි,

කකුල අද්ද අද්ද පාලිත දුවනව “යුපුනා, යුපුනා…අඩේ…යුපුනා” කිය කිය යුපුන් දිහාවට… ඒ දිවිල්ල දැක්කම ඇඬෙනව !

කොමන්වෙල්ත් වල මීටර සියයෙ පදක්කමක් දිනන එක දෙවනි වෙන්නෙ ඔලිම්පික් සහ ලෝක ශූරතාවයට විතරයි. ඒ ඉසව්වෙ ජයකෙහෙලි නංවන ඇමරිකානු ක්‍රීඩකයන් විතරයි මෙතන දැනෙන අඩුවක් තියෙන්නෙ.

ආදරණීය මිත්‍රවරුනි,

පාලිත මේක දන්නවා. යුපුන්ගෙ ලෝකඩ පදක්කමෙ වටින කම පාලිත දන්නවා. තමන්ගෙ විසිකිරීම කරපු ගමන් පාලිත යුපුන් දිහාට දුවන්නෙ ඒකයි. පාලිත යුපුන්ව වැළඳගනිද්දි පාලිතගෙ ඉසව්වෙ ප්‍රතිපල රෑපවාහිනියේ වැටෙනවා.

ආදරණීය මිත්‍රවරුනි, හල්ගහවෙල ගෙදර පාලිත බණ්ඩාර කොමන්වෙල්ත් රිදී පදක්කමක් දිනලා… ඒ පැරා ඉසව්වෙ කවපෙත්ත විසිකරාට…

හැබැයි ඒ වෙනකොට “යුපුනා යුපුනා” කියාගෙන තමන්ගෙ සහෝදර ලාංකිකයාට සතුට පල කරන්න කකුල ඇද ඇද දුවපු පාලිත අපෙ හදවත්වල රන් පදක්කම දිනල ඉවරයි…

ලංකාවෙ බොහෝ දෙනෙකුට නැති ගුණයක් තමයි. අනෙකාගෙ ජයග්‍රහණයෙදි සතුටු වෙන්න බැරිකම. අනෙකාගෙ ජයක් ඉවසන්න බැරි කම. ඒකට හිමි ගරුත්වය දෙන්න බැරි කම. මේ ගඳගහන හදවත හිරිවැටිච්ච ගතිය වැඩිපුරම තියෙන්නෙ එකම ක්ෂේත්‍රයේ අය අතරෙ…

එහෙව් රටක පාලිත කියන්නෙ කවපෙත්ත විසිකරල රිදී පදක්කම දිනුවා වගේම රත්තරන් මෘදු මනුස්සයෙක්, රත්තරන් හදවත් දිනන්නෙක් !

යුපුන් අබේකෝන්, පාලිත බණ්ඩාර,

උඹල දෙන්නටම ගෞරවනීය ආචාරයත් ආදරයත් !
ලංකාවට බලාපොරොත්තුවක් හිනාවෙන්න කාරණයක් දුන්නට !

 

Social Sharing
අවකාශය නවතම