-සුන්දර නිහතමානි ද මැල්-
(පහුගිය දොහක අපේ මුණුබුරා මුළු දවසම මොනවාදෝ ලියමින් සිටියේය .ඔහුට නොදැනෙන්නට එය කියවා බැලූ මට එය මෙවර මානිගෙ තීරැව හැටියට පළකිරීමට සිතුණේය. මා එහි ඇතැම් වෙනස්කම් කර ඇතත් මෙහි අදහස් සියල්ල ඔහුගේ බව කරැණාවෙන් සලකන්න )
මගේ නම ගෝඨාභය නන්දසේන රාජපක්ෂය. මම ශ්රී ලංකාවේ ජනාධිපතිය.(වැරදුණා,හිටපු ජනාධිපතිය)මෙසේ ජනාධිපති බව මට අමතක වෙන්නට තව කොයිතරම් කාලයක් ගතවේදැයි මා දන්නේ නැත.
මා 1948න් පසු මේ රටේ බිහිවූ නරකම පාලකයා යැයි දැන් ඔබ සලකන බව මම දනිමි. (ඒ ඔබ 1959 සැප්තැම්බර් සිට 1960 මාර්තු දක්වා රටේ අගමැතිවරයා වූ විජයානන්ද දහනායක ගැන හරිහැටි නොදන්නා නිසා විය හැකිය ) කෙසේ වුවත් මම දුර්වල පාලකයෙකු වූ බව නම් මම පිළිගනිමි.මට ජනාධිපතිකමින් මතු නොව රටින්ද පළායන්නට සිදුවූයේ ඒ නිසා නොවේද ? ඒ අතරේ දක්ෂ පාලකයෙකු කවදාවත් හොඳ මිනිසෙකු වන්නේ නැතැයි කතාවක්ද මා අසා තිබේ.මේ මා හොඳ මිනිහෙකු යයි කියන හැටි නම් නොවේ. මුළු රටටම නරක මිනිහෙකු වී සිටින මා එසේ කීවොත් එය ලොකු විහිළුවක් වෙනවා ඇත. එහෙත් මට එය මතක් වූයේ දැන් ඔබ සියළුදෙනා සිටින්නේ දක්ෂ පාලකයෙක් සොයමින් බැවිනි .
රටේ ජනාධිපතිවීම මුළු ජීවිත කාලයම දේශපාලනය කළා යැයි කියා කෙනෙකුට කරගත හැකි දෙයක් නොවේ. එහෙත් කවදාවත් දේශපාලනය නොකළ මට ජනාධිපතිවීමට හැකි වුණේය. හැබැයි මට වැරදුණේද එතැනය. එහෙත් ඊට පෙර මා ආරක්ෂක ලේකම්කම අවුරුදු දහයක් පමණ කර තිබූ බව ඔබට මතක ඇත. එවැනි කිසිදු පළපුරුද්දක් නැතිව,ඡන්දයකටවත් ඉදිරිපත් නොවී රටේ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක නම් මා මෙන් ඇණගත්තේ නැතුවාය. හැබැයි ඇයට හොඳ උපදේශකයින්ද,දක්ෂ ඇමතිවරැන්ද,විශ්වාසවන්ත නෑදෑයින්ද සිටි බව ප්රසිද්ධ කාරණයකි .
ධනපතියන්ගේ බදු අඩු කිරීම,රසායනික පොහොර තහනම් කිරීම ,රැපියල පාවෙන්නට නොදී රඳවා ගැනීම,රට බංකොලොත් වෙන්නට පෙරාතුව අයි.එම්.එෆ්.වෙත නොයෑම ආදී සියළු වැරදි තීරණ ගැනුණේ මගේ නොදන්නාකම නිසාය. මගේ උපදේශකයින්, නිලධාරීන් හා ඇමතිවරැන් ගන්නේ ගොන් තීරණ බව මා නොදන්නාකම නිසාය. රට බංකොලොත් වූයේ ඒ නිසාය.
වාසනාවද මගේ පැත්තේ තිබුණේ නැත. මට රනිල් වික්රමසිංහ ගැන කල්පනා කළ විට වඩ වඩාත් එසේ සිතෙයි. සජිත්ට මා මුලින් අගමැතිකමට ආරාධනා කළ විට ඔහු මට කොන්දේසි දැමුවේය. ඔහු කොන්දේසි විරහිතව ඊට කැමති වූයේ මා රනිල් අගමැති කළ විටය. අන්තිමේදී පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් තිබූ රනිල් අගමැතිවීමෙන් නොනැවතී දින කීපයකට හෝ රටේ ජනාධිපතිද වූයේය. 1993 සිට හයවතාවක් අගමැතිව සිටි රනිල්ට පළමුවතාවට තමන්ගේ බයොඩේටාවට ජනාධිපති කියාද දාගන්නට අවස්ථාව ලැබුණේ වාසනාව නිසා නොවේද ? දැන් ගූගල් සර්ච් කර බලන්න. ශ්රී ලංකා ජනාධිපති හැටියට එන්නේ ඔහුගේ නම සහ රෑපයයි. කවුරු දනිත්ද? ජූලි 20වැනිදාට ඔහු මගේ ඉතිරිවී ඇති දෑවුරැදු කාලයටද ජනාධිපති වන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් ඔබට නැවතත් මා මතක් වන්නටද බැරි නැත.
2005දී යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩව හදිසියේ විශ්රාම යවා, තව ටික දිනකින් විශ්රාම යන්නට සිටි සරත් ෆොන්සේකාව හමුදාපති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට නිර්දේශ කළේ එවකට සිටි ආරක්ෂක ලේකම්ය. ඒ සරත් ෆොන්සේකාට යුද්ධය දිනා දිය හැකි බව ඔහු දැන සිටි නිසාය. එහෙත් ඒ පුද්ගලයා දැන් ඉතිහාසයට එක්වන්නේ ඒ නිසා නොවේ. රටවැසියන් විසින් බලහත්කාරයෙන් පළවා හැරි මේ රටේ එකම රාජ්ය නායකයා හැටියටය.
2009 සිට 2019 දක්වා මා සැලකුණේ ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගත් වීරයෙකු හැටියටය. මා ජනාධිපතිකමේ දිවුරැම් දී අත්සන් කළ පෑන, පෙට්ටියට දමා වැසීම ගැනද කවිගී ලියවුණා මට මතකය. එහෙත් ඔබට උයන්නට ගෑස් ,ගමන් යන්නට පැට්රෝල්, ඩීසල්, වැඩක් කරන්නට විදුලිය නැතුව ගිය විට ඊට වගකිවයුතු පුද්ගලයා පට්ට සතුරෙකු වීම සාධාරණය. මේ සම්බන්ධව අයෝමා කියන්නේ “සිංහාසනයේ හිඳුවා ඔබව පුදන මේ ලෝකයමයි ඔබට එරෙහිවී නැගිටින්නේ” කියාය.
මුළු ලෝකයම අද කතා කරන රාජපක්ෂ පවුල ගැනද යමක් නොකියා මෙය අවසන් කළහොත් එය බරපතල අඩුපාඩුවකි. ජනාධිපති පදවියට පත්වීමේදී අපේ පවුල මගේ විශාලතම ශක්තිය වූ බවද, ජනාධිපතිකම කරගෙන යෑමේදී අපේ පවුල මගේ විශාලතම දුර්වලකම වූ බවද පමණක් සඳහන් කරනු කැමැත්තෙමි .
රටේ සියළුදෙනා මගේ වටේ සිටි මට දැන් තනියට සිටින්නේ එකම එක්කෙනෙකු පමණය. ඒ අයෝමා (උදේනි)රාජපක්ෂය. මුළු රටම මට බණිතත්, ඇයට ඔබ කිසිවෙකු බණින්නේ නැති බව මම දනිමි. රටෙන්ම ආදරගෞරව ලැබුවත් ගෙදරින් එය ලැබෙන්නේ නැති මිනිස්සුද සිටිති. ඒ අතින් නම් මා ඔවුන්ගෙන් වෙනස්ය.
උපුටාගැනීම : ෆේස්බුක්