දර්ශනයේ කාර්යභාරය තරුණ සිතිවිළි දුෂණය කරන එක…!

ලියොන් ද ප්‍රොෆෙෂනල් (Léon: The Professional) බැලුවේ මිට ගොඩක් කාලෙකට කලින්. ෆිල්ම් එක ආවේ 1994 විතර. මොන විදියටද මන්ද එක පාරටම ඉමේජ් එකක් පොප් අප් වෙලා තිබ්බ මුහුණු පොතේ. ඒකත් එක්ක මෙමරි එක අළුත් උණා. ෆිල්ම් එක ආයෙත් බැලුව.

මැටිල්ඩාගේ (නැතලි පෝට්මන්) පවුලේ ඔක්කොම සමූල ඝාතනය කරන කොට එයාට වයස අවුරුදු 12යි. ඒක කරන්නෙත් ඇමෙරිකාවේ නාකොටික් පොලිසියම තමයි. අනික් අය ගැන මැටිල්ඩා එච්චර වද වුණේ නැතත් මේ සමූල ඝාතනය ඇතුලේ එයාගේ සහෝදරයා මැරුණ එක ගැන එයාට පළිගන්න අවශ්‍ය වෙනවා. හය හතර නොතේරෙන දරුවෙක් මරල දැම්මේ ඇයි කියල එයාට ආත්මීය ගැටළුවක් එනවා ගැළවෙන්න බැරි.

අල්ලපු අපාට්මන්ට් එකේ ඉන්නේ ලියොන්. අකුරු දන්නේ නැහැ. දන්නේ දෙන ටාගට් එකක් සුද්ද කරන්න විතරයි.

පවුලේ ඔක්කොම මරපු නිසා දැන් මැටිල්ඩා යන්න එන්න තැනක් නැහැ. තිබ්බේ අල්ලපු අපාට්මන්ට් එකේ දොර ළඟ අඬන්න විතරයි මාව ඇතුළට ගන්න කියල.

ලියොන් මැටිල්ඩා ඇතුළට ගන්නවා. ජිවිතේ බේරලා දෙනවා. මැටිල්ඩා තේරුම් ගන්නවා ලියොන් කියන්නේ කුළියට මිණීමරණ කෙනෙක් කියල. එදා ඉඳල එයා ඒ ‘අඳුරු සත්‍යය’ එක්ක ජීවත් වෙන්න හිත හදා ගන්නවා විතරක් නෙවෙයි ලියෝන්ට ආදරය කරන්න පවා පෙළඹෙනවා. ඒ ඔස්සේම ඇයට ඕනි වෙනවා තමන්ගේ සහෝදරයා මරලා දාපු එකාගෙන් පළිගන්න.

එයාට කුකුසක් නැහැ තමන් කරන දේ ගැන. ‘මට නවාතැන් දුන්නට ස්තුති. මට ඕනි ඔයා දන්නා දේ ඉගෙන ගන්න. ඒක ඉගෙන ගෙන අරූගෙන් පළිගන්න. ඊටත් අමතරව මගේ බඩ ඇතුලේ මොකක්ද වෙලා වගේ තේරෙනවා. මම හිතන්නේ මම ඔයාට ආදරෙයි කියල. මට ආදරය කරන්න ඉඩ අරින්න. උන්ගේ සදාචාරයට හැමිල්ටන් උනාවේ…’

ලොලීටා කෙනෙක් ආදරය කරන්න ගන්නවා ගොඩක් වැඩිහිටි පිරිමි කෙනෙකුට කුකුසක් නැතුව. මරණීය ආදරයක්. ඒක බටහිර අයට හුරුයි.

බටහිර ආත්මය ඇතුලේ තියන මේ ‘පැහැදිලි බව’ අපූරු ආලෝකයක් ගෙනෙනවා ලෝකයට. ආදරෙයි නම් ආදරෙයි. පැහැදිළියි. මරන්න ඕනි නම් මරන්න ඕනි. පැහැදිළියි. ඒ උනාට බලන්න මේ පාර ඔස්කා ආපු මුරකමිගේ Drive My Car ෆිල්ම් එකේ ආසියාතික ගැහැණිය. සංසාරේ…එකම එක වංකගිරියක්. ඒක අපි පස්සේ කතාකරමු.

ගැහැණියක් හැටියට මැටිල්ඩා තමන් ඉදිරියේ තිබ්බ ඇත්ත සත්‍යය කොච්චර අඳුරු උණත් පිලිගන්නවා (acknowledge). ඒ සත්‍යය එක්ක ගමන් කරන්න හිත හදා ගන්නවා. නිකම්ම නෙවෙයි ආදරයේ රූපකය ඇතුලේ. ඒක පට්ට.

ගමනක් කියන්නේ තනි රේඛාවක් දිගේ කරන සුවපහසු ක්‍රියාවක් නෙවෙයි. වංගු සහිත, ඛණ්ඩනයන් සහිත, වෙනස්වීම් සහිත, ආගන්තුකයින් මුණගැසෙන, දුෂ්කර ක්‍රියාවක්.

මෙතන තියන අනික් දේ තමයි කරන දේ ගැන සැක නොකිරීම. ඒ නිසා වරදකාරී බවක් නැහැ කරන දේ ගැන. ලියොන් වහලක් උඩ ඉඳල ඈත මනුස්සයෙක් ටාගට් කරන හැටි මැටිල්ඩාට උගන්වනවා. එතකොට මැටිල්ඩා අහනවා පහළ ඉන්න සෙනඟ අස්සේ කවුරුද ටාගට් කරන්න ඕනි කියල. ලියොන් කියනවා කවුරු ටාගට් කරත් කමක් නැහැ කියල (whoever). ඔව්. පහළ ඉන්නේ චන්දදායකයෝ නේ. කෝකට තිබ්බත් එකයි. එක්කෝ උණුත් හොරු. නැත්නම් හොරකම, දූෂණය, සූරාකෑම දැකල නොදැක්ක වගේ ඉන්න සයිලන්ට් නරුමයෝ (silent cynics – නිශ්ශබ්ද නරුමයින්). කෝකට වෙඩි තිබ්බත් එකයි.

අකුරු දන්නේ නැති ලියොන් කියන දේ සැක නොකර පිළිගන්න නිසා මේ ක්‍රමයට එරෙහි බුර්ෂුවා දාර්ශනික විරෝධී අධ්‍යාපනයක් මැටිල්ඩාට ලැබෙනවා. ඒ ‘උන් ඔක්කොම එකයි – කෝකට තිබ්බත් එකයි මල්ලි’ වගේ එකක්.

මේ සියල්ල ඉවර වෙලා ආපහු ඉස්කෝලෙට යනකොට මැටිල්ඩාට ඕනි ඇත්තම අධ්‍යාපනය ලැබිල ඉවරයි. ඒ තමයි මේ තමන් ඉදිරියේ තියෙන්නේ පට්ට දූෂිත අමානුෂික ක්‍රමයක් කියන එක. අපි හැමෝම ඒකෙ කොටස් කාරයෝ කියන එක.

ලියොන් ඒ අධ්‍යපනය විතරක් නෙවෙයි එයාගේ විදියට ආදරය උණත් දෙනවා මැටිල්ඩාට. ජීවිතෙත් දෙනවා එයාගේ ආදරය සහ සම්බන්දය වෙනුවෙන්. මැටිල්ඩාගේ සහෝදරයා මරපු පළිය එයාට අරන් දීලා තමයි ලියොන් මැරෙන්නේ. ලියොන් මැටිල්ඩාගේ ලෝකේ වීරයෙක්. අපෙත් වීරයෙක්. හැබයි සංකේතීය ඊඩිපස් විරෝධී තැනකින්.

‘දර්ශනයේ කාර්යභාරය තරුණ සිතිවිළි දුෂණය කරන එක’ කියල සොක්‍රටීස් කිව්වේ නිකම් නෙවෙයි. මේ ලෝකේ එකම දාර්ශනිකයා ඒ අනුව සොක්‍රටීස්…

ගෝඨා ගෝ ගම කියල එකක් තව ඉතුරු වෙලා තියනවා නම් පෙන්නපල්ලා ලියොන් ද ප්‍රොෆෙෂනල්!

ඊට පස්සේ සිල් ගම්මු!

මහේෂ් හපුගොඩ
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග