මහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)

මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා.

මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල් ප්‍රශ්නයක් වෙලා, ඒනිසා ඔය අස්වීම රිවස් වෙන්නත් පුලුවන් කියලා.

ඒ කොහොම වුණත් එදා තිබුණ කැබිනට් රැස්වීමෙදී ජනාධිපති මේ ඉල්ලා අස්වීම ගැන වගේම අලුත් සර්වපාක්ෂික ආණ්ඩුව ගැනත් කතාකරපු බව ඇත්තක්. ඒත් ඒ කැබිනට්ටුව ඉවරවෙලා ගෙදර ගියාට පස්සේ ආයිත් ඉතිං පරණ බෙර පදයම තමයි..!

දැනගන්න තියෙන විදිහට නාමල් ඇතුලු පවුලේ පිරිස සහ බැසිල් රාජපක්ෂ මේ වෙලාවෙ මහින්ද අගමැති ධුරයෙන් අයින් වෙන්න ඕනෑ නෑ කියන ස්ථාවරයේ ඉන්නවා. ඒ ස්ථාවරය තමයි පොහොට්ටු ස්ථාවරය විදිහට එන්නේ. ඔවුන් තවමත් රාජපක්ෂ පවුල් දේශපාලනය ඉවරයි කියලා හිතන්නේ නෑ.

ඔවුන් කල්පනා කරන්නේ මහින්ද අගමැතිකමෙන් අයින් උන දවසට තමයි රාජපක්ෂ දේශපාලනය ඉවර වෙන්නේ කියලා. කොහොම වුණත් මේ තීන්දු තීරණ බැඳිලා තියෙන්නේ පවුලේ ආදරය සමගිය වගේ දේවල් උඩ. ඒනිසා මේවා කොයිවෙලාවෙ වෙනස් වෙයිද ගල්වෙයිද කියන්න අමාරුයි. රටට කෙළවෙලාම ගියෙත් මෙන්නමේ දේශපාලනය නිසා.

කොහොමවුණත් මේ වෙලාවෙ ජනාධිපති ඉන්නේ විමල්_ඩලස් ප්‍රමුඛ පොඩි මන්ත්‍රි කණ්ඩායමක අණසක අස්සේ. ඔවුන්ගේ අදහස තමයි අඩියක් පස්සට අරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවකට යන්න ඕනෑ කියන දේ. ඒක එන්නේම පොහොට්ටුවේ දේශපාලන නායකත්වය තමන් අතට ගැනීමේ ඩලස්ගේ උවමනාව එක්ක. මෙහෙම පොහොට්ටුව අස්සේ නායකත්වයට සටන් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා කියන්නෙම ලොකු ජයග්‍රහනයක්. ඩිලාන් පෙරේරා වගේ අය ඩලස් ඉල්ලන්නේ ඒකයි. අරුන්ධික වගේ අය මේක පවුලේ ප්‍රශ්නයක්, ඒක ඔයාලා ගෙදර කතාකරලා විසඳගන්න කියන්නේ ඒකයි. මම හිතන්නේ මේ මිනිස්සු අපෘස්ඨවාංශික සත්ව කොට්ඨාශයේ ඉඳලා පුෂ්ඨවාංශික කිරීම ම මේ අරගලයේ එක ජ්‍යග්‍රහනයක්.

මම හිතන්නේ විමල් මේ වෙලාවේ සෑහෙන්න රාජකාරියක් තිරය පිටුපස ඉදලා කරනවා මේ පොහොට්ටු දේශපාලන වෙනස වෙනුවෙන්. ඉස්සර එකට වැඩකරපු පත්තර ජීවිතයත් මතක් වෙනවා ඇති නේ.!.

ඩලස් ලා හොඳටම දන්නවා මේ වෙනකොට රාජපක්ෂවාදය අවසන් කියලා. ඒනිසා මේ කඳවුරට තවදුරටත් ලංකාවෙ දේශපාලනය කරනවා නම් හැව අරින්න වෙනවා. ඉතිං ඩලස් විමල් ඇතුලු මේ පිරිස මේ වෙලාව්වේ බලන්නේ ගෝඨාභය කියන පාවෙන කොටයට නැඟලා නේරංජනාව තරණය කරන්න.

කොහොම වුණත් මේවෙනකොට හැම ග්‍රාමසේවා කොඨ්ඨාශයකින්ම 50 දෙනෙක් හෙට (9) අරලියගහා මන්දිරය අසලට රැස් කිරීමේ වැඩේ පටන් අරගෙන.

මේ වෙනකොට ඒ කොන්ත්‍රාත් එක වැලි, ගල්, පස්, සමෘද්ධි බලකායට පවරලා තියෙනවා. සමහර පලාත් පාලන ආයතවල ලොක්කෝ (සභාපතිලා/ නගරාධිපතිලා) මේ වැඩේ තදටම භාර අරගෙන තියෙනවා. මේ කියන ලොක්කෝ මරාගෙන මැරිලා හරි රාජපක්ෂවාදය තවදුරටත් මේ රට අස්සේ තියාගන්න වෙහෙසෙන අය. ඒත් සමහර ප්‍රදේශවලින් දැනගන්න තියෙන්නේ මිනිස්සු එන්න කැමති නැහැ කියන දේ.

මොරටුව ප්‍රදේශයේ මගේ මිත්‍රයෙක් කිව්වේ හෙට අරලියගහා මන්දිරය ගාවට මොරටුවේ මිනිස්සු එන්නේ සමන් ලාල් ගේ බලපෑම නිසා කියලා. ගොඩක් මිනිස්සු එන්න කියන ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා. ඒත් මේ දේශපාලනයෙන් වරදාන වරප්‍රසාද ගත්ත බොහෝ දෙනෙක්ට මෙවැනි ඉල්ලීමක් ආවාම ඒක ප්‍රතික්ෂේප කරන්න බැරිවෙනවා. එතකොට අකමැත්තෙන් හෝ එන්න වෙනවා. එහෙම බැලුවාම හෙට යම් සෙනඟක් අරලියගහ මන්දිරය ළඟට එන්න පුලුවන්. ඔවුන් ඇවිත් හඬාවැටෙමින් අනේ ඉන්න කියලා කෑගහන්න පුලුවන්.

ඒ කොහොම වුණත් එවැනි පැලියාවකින් මහින්දව නතරකරන්න පුලුවන් සීමාව පහුවෙලා ඉවරයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙවේ නැත්නම් විපක්ෂයේ ප්‍රධානියෙක්ගේ අගමැතිකම යටතේ මේ දේශපාලන අර්බුදයෙන් ගොඩඑන්න මඟක් දැන් නෑ. ජනාධිපතිවරයාත් මේ වෙලාවේ කල්පනා කරනවා ඇත්තේ ඉතුරු කාලය රූකඩයක් විදිහට හරි ගෙවලා දාන්න නම් මේ තීන්දුව ගන්න වෙනවා කියලා. අනික් පැත්තෙන් රාජපක්ෂවරුන්ට රාජපක්ෂවාදයේ අනාගතය ගැන හිතන එක අතෑරලා රාජපක්ෂ පවුලේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩ කරනවා නම් නුවණැති තීරණය තමයි විපක්ෂයට අගමැති ධුරය ලබාදීලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන එක.

මාර්තු 31 නැඟිටීමෙන් පස්සේ පටන් ගත්ත ගෝල්ෆේස් අරගලය නිසා ගොඩක් දේවල් මේ වෙනකොට ලැබිලා ඉවරයි. රටක් විනාශ කරන්න එකට එක කෑම මේසයේ වාඩිවෙලා තීන්දු තීරණ ගත්ත පවුලක් අස්සේ මේ ඇතිවෙලා තියෙන බල අරගලය උනත් සුළු දෙයක් නෙවෙයි.

අනික තමයි අද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අනුරාධපුරේදි හූ තියන එකෙන් පවා පැහැදිලි වෙන්නේ රටේ ජාතික සමගිය විනාශ කළ, ජාතිවාදය ආගම්වාදය රට අස්සේ ව්‍යාප්ත කළ,  රාජපක්ෂවාදය මේ වෙනකොට විනාශ වෙමින් තිබෙනවා කියන දේ. රාජපක්ෂවාදය මේ රටට දුන්න විශාලම තෑග්ග තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. අද ඒ ව්‍යසනයම රාජපක්ෂවාදයට පාරාවළල්ලක් වෙලා.

මහින්ද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා කියන නිවේදනය ආවාම කිරිබත් කන්න බලාගෙන ඉන්නවා සෑහෙන්න පිරිසක්. තවත් පිරිසක් බලාගෙන ඉන්නේ රතිඤ්ඤා පත්තුකරලා සතුට සමරන්න. රට ආරක්ෂාකරලා දුන්න අප්පචි අද ජනතාව අතර රට විනාශ කරපු අප්පච්චි වීමම විශාල ජයග්‍රහනයක් නෙවෙයිද?. ඇත්තටම ඒක සමරන්න වටින ජයක්..!

සුනාමි සල්ලි හොරාකෑවා කියලා අපි කියනකොට, මිග් ගණුදෙණුවලින් හොරා කෑවා කියලා කියනකොට, ලසන්ත වික්‍රමතුංග ඝාතන කළා කියලා අපි කියනකොට, ඒවා ප්‍රතික්ෂේප කරපු බහුතරයක් ජනතාව ඔව් උබලා කියපුවා ඇත්ත කියලා කියන්න දැන් පෙළබිලා. ඒක මොනතරම් ජයග්‍රහනයක් ද? එතනිනුත් එහාට ගිහිං අද මිනිස්සු කියනවා කොවිඩ් අරමුදලෙනුත් මුන් ගසාකෑවා කියලා. අද මිනිස්සු උගන්ඩාව ගැන නිව්ස් ආවාම උස්සගෙන දුවනවා.

ඉස්සර අපි එක්නැළිගොඩ අතුරුදන් කරන්න නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා ඒ පරීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනවා කියලා, සියලු තොරතුරු එක්ක ලියනකොට උබලා ඩොලර්වලට බොරු ලියනවා කියපු එවුන් අද අපි ලියපු දේවල් උස්සගෙන දුවනවා විතරක් නෙවෙයි අනේ බන් මේ පවුල ගැන හොඳ පොතක් ලියහං කෝ රීසර්ච් එකක් කරලා කියලා කියන මට්ටමට ඇවිත්.

ඒනිසා හෙට අරලිය මැඳුර ළඟට ඇවිත් පැලියාව දාන්න බලං ඉන්න අයට කියන්න තියෙන්නේ හෙට ආවා කියලා ඔයාලගේ අරමුණ නම් ඉටුවෙන්නේ නෑ කියලා. ඒ අවස්ථාව ගිලිහිලා ගොඩක් කල්..!

Gotagoogama galle face protest Anura Kumara Dissanayake sajith premadasa

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග