බණ්ඩාරනායක හා සිංහල බෞද්ධ ජාතිකවාදය

ගාලු මුවදොර අරගලකරුවන් එහි සිටි බණ්ඩාගේ දැස් බැදීම ගැන සුනන්ද දේශප්‍රිය වැනි විශ්‍රාමික කැරලිකරුවන්ද ශෝකයට හා කෝපයට පත්වූ බව පෙනෙන්නට තිබුනේ ය. 43 කණ්ඩායමේ ද මේ පැරණි කැරලිකරුවන්ගේ ද උණ්ඩුක පුච්චයේ සැඟවී පවතින සිංහල බෞද්ධ ජාතිකවාදය එලියට පනින්නේ මෙතන දීය.

සිංහල බෞද්ධ ජාතිකවාදය දේශපාලන මතවාදයක් හැටියට පසුගිය සියවසේ මැද භාගයේ දී මතු කලේ බෞද්ධ මහා සම්මේලනයයි. ලංකාවේ බලවත්ම ගිහි බෞද්ධ ව්‍යාපාරය හැටියට පැවතුනේ එම සම්මේලනය යි. එසේම ලංකාවේ ගොවිකුල නොවන ජනයා ආධිපත්‍ය දරා සිටි ප්‍රධානතම බෞද්ධ ව්‍යාපාරය වූයෙත් එයයි. ලංකාවේ බෞද්ධ රාජ්‍යයක් තැනීම වෙනුවෙන් ‘දස පනත’ නමින් මුල්ම යෝජනා 1940 දශකයේ අවසානයේ ඉදිරිපත් කරන්නේ එහි එවකට සභාපති වූ ආචාර්ය ගුණපාල මලලසේකරය. ඔහුගේ අනුගාමිකයන් වූයේ පී.ද ඇස් කුලරත්න හා ඇල්. එච්. මෙත්තානන්දය. [ඔවුන් තිදෙන්නාම එකම කුලයක බව අමතක නොකරන්න]

විශ්මයකට මෙන් බොදු සමුළුවේ ‘දස පනත’ භාර ගැනිමට තබා එය කියවීමටවත් අගමැති ඩී.එස්. සේනානායක එකඟ නොවීය. ඔහු කීවේ බුද්ධාගම ‘ආණ්ඩුව සරණං ගච්චාමි’ නොකිය යුතු බවය. එහෙත් 1952 කොළඹ මහ තැපැල්හලේ පැවති බොදු සමුළුවේ රැස්වීමට එන සභානායක හා පලාත්පාලන ඇමති බණ්ඩාරනායක ‘දස පනත’ බාරගන්නේ ය. ඔහු මේ ආගමික ව්‍යාපාරයේ යෝජනාවලියට දේශපාලන මුහුණක් සවි කරන්න ගන්නේ එතැන් පටන් ය. එහි එකායන අරමුන වූයේ සේනානායක පවුලේ පියාගෙන් පුතාට හෝ බෑණාට හිමිවෙන උන්ගේ නෑයන්ගේ පක්ෂය හෙවත් යූඑන්පියේ දේශපාලනයෙන් වෙන්වී තමන්ටම බලයක් හදා ගන්නටය.

1956 මැතිවරණ එද්දී බණ්ඩාරනායක බොදු සමුළුවේ ‘දස පනත’ මැතිවරණ පොරොන්දු අතරට දැම්මේ ය. ඔහු යූඑන්පිය ආසන අටට බස්සන්නට මේ සිංහල බෞද්ධ ගිහි ව්‍යාපාරයේ මතවාදය දේශපාලන පොරොන්දු අතරට බැස්සුවේය. ඔහු ‘සඟ, වෙද, ගුරු. ගොවි. කම්කරු‍’ නමින් “පංච මහා බලවේගයක්” නිර්මාණය කලේ ය. මේ සියල්ල දේශපාලන බලය ලැබීම වෙනුවෙනි.
1959 සැප්තැම්බරයේ බණ්ඩාරණායක ඝාතනය කලේ භික්ෂුවකි. එහි ප්‍රධාන සැලසුම්කරු ඔහුගේ සංඝ ව්‍යාපාරයේ නායකයා හෙවත් එක්සත් භික්ෂු පෙරමුණේ නායකයා වූ මාපිටිගම බුද්ධරක්ඛිතය. උපතින්ම ඇංග්ලිකානු කිට්හුනුවෙකු වූ බණ්ඩාරනායක බලය වෙනුවෙන් ආගම යොදාගෙන එහිම ගොදුරක් විය. එහෙත් ඔහුගේ බිරිඳ සිරිමා රත්වත්තේ ද දියණිය චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංඟ ද තවත් අවුරුදු 22 ක් මේ උරුමයෙන් ලංකාව පාලනය කලෝය.

අපට බණ්ඩාරනායකගේ කපටි දේශපාලනයේ ඇස් වැසීමට වසර 60ක් ගතවීම කවර තරමක දේශපාලන සරදමක් ද ?

නන්දන වීරරත්න
30/04/2022

Social Sharing
නවතම විශේෂාංග