ප්‍රචණ්ඩත්වය මතු කරන රජයේ කුමන්ත්‍රණ පරාජය කරමු!

විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මතුවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්…

සාමය හා ආරක්ෂාව කඩ කොට ප්‍රචණ්ඩත්වය මතු කරන්නට

රජය හා නිලධරය දරන කුමන්ත්‍රණ පරාජයට පත් කරමු!

සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටි තරුණ පිරිසකට රඹුක්කන දී වෙඩිතබා කිහිප දෙනෙකු ඝාතනය කර, බොහෝ පිරිසකට තුවාල සිදු කොට කලහකාරී හා ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති කරන්නට කරන ලද කුමන්ත්‍රනය විදේශවල සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අප සියළු දෙනා විසින් මහත් පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු වේ.

රජයේ දූෂණය හා අකාර්යක්ෂම පාලනය නිසා හට ගෙන තිබෙන ජනතා විරෝධයට සවන් දෙමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ලීමට කටයුතු කරනවා වෙනුවට රාජ්‍ය බලය ප්‍රචණ්ඩ ලෙස යොදා, ඇඳිරි නීතිය හා හදිසි නීතිය පනවා රටේ බලය තවදුරටත් රාජපක්ෂ කඳවුර අත ගොනු කර තබා ගන්නට මාවතක් සකස් කර ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නයක් ලෙස මෙය පිලිබිඹු වේ.

ජනතා පිහිටෙන් බලයට පත් හිට්ලර් ඉන් පසුව “හර් හිට්ලර්” වීම සඳහා යොදා ගත් උපක්‍රමය වූයේ නට්සි හමුදාවන් යොදා ගෙන ජර්මන් පාර්ලිමේන්තුව වූ රයිස්ටාගයට ගිනි තැබීමයි. එයින් ලෝකයාට අත් විඳින්නට සිදු වූ ඛේදජනක ඉරණම ලංකාවේ චීවර දරා සිටින කිහිප දෙනෙකු හැරෙන්නට අනෙක් සියළු දෙනාම පාහේ අසා කියවා ඇත.

ජනතා විරෝධතාවයන්ට උණ්ඩයෙන් පිලිතුරු දීම ආරම්භ කර තිබීම මෙම ක්‍රියාවලියේ ආරම්භයක් විය හැකි බව සන්ටුහන් කරන අප, 20වන සංශෝධනය දිනවන්නට දෑත් දෙපා ඔසවා සිය කැමැත්ත පල කල සියළු දෙනාම එකතු වී එම සංශෝධනය අහෝසි කොට විධායක ජනාධිපති ක්‍රමය අතුගා දැමීම සඳහා කටයුතු කරන්නට දැන් කාලය එළැඹ තිබේ.

1978 සිටම පැවතුනු ජනතා ඉල්ලීම් හමුවේ විධායක ජනාධිපති ධූරය හා ජනාධිපති ව්‍යවස්ථාව අහෝසි කරන්නට මැතිවරණවලදී දේශපාලකයන් විසින් දෙන ලද නොයෙකුත් ආකාරයේ පොරොන්දු ඉටු නොකොට ඒ පොරොන්දු   මරා දැමූ හෝ කල් දැමූ ගිහි පැවිදි හැම දෙනෙක්ම අද ඇතිවී තිබෙන තත්වයට සහමුලින්ම වග කිව යුතුය. විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව හොර ගල් අහුලමින්, අතපත ගාමින්, ඒ ගැන වාග් මාලා දෙසා බාන දේශපාලන නායකයන්ට තවමත් ඒ ක්‍රමය අහෝසි කර දමන්නට පැහැදිලි අවශ්‍යතාවයක් තිබෙන බවක් දක්වා නොමැත. ඒ මගින් පිළිබිඹු වන්නේ ඒ මගින් අත්පත් කර ගත හැකි ධනය හා බලය සඳහා ඔවුන් දක්වන කෑදරබව නොවේද?

ලංකාවේ ජනතාවට එරෙහිව ඔවුන් කරන ලද මෙම විනාශයෙන් හා ශාපයෙන් ගැලවෙන්නට තවමත් කල් තිබේ. 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බලතල කප්පාදු කොට රටේ නීතියට අවනත තත්වයකට, ඒ හමුවේ වගවෙන හා වග කියන තත්වයට ජනාධිපති පදවිය පත් කර ලන්නට ඔවුහු වහාම කටයුතු කල යුතුව ඇත.

විධායක ජනාධිපති ක්‍රමයත්, ඒ හා සම්බන්ධ වන වත්මන් ව්‍යවස්ථාවත් මුළුමණින් අහෝසි කර දමා ඒ වෙනුවට සියළු ජන කොටස්වල සහභාගිත්වයෙන් යුතුව සකස් කර ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී හා සමානාත්මවාදී ව්‍යවස්ථාවක් ස්ථාපිත කොට බල ගැන්වීම  සඳහා අප සියළු දෙනා එකමුතුව වහ වහා කටයුතු කල යුතුව තිබේ. එම තත්වය කරා එළැඹෙන්නට සහ මහ මැතිවරනයක් පවත්වන්නට අවශ්‍ය කටයුතු කිරීම සඳහා අවශ්‍ය බහුපාක්ෂික තාවකාලික නියෝජිත මණ්ඩලයක් ඉදිරි සති කිහිපය තුල පත් කර ගැනීම‌ට කටයුතු කල යුතු බව අපේ කල්පනාවයි.

කොට්ට මාරු කිරීම් වලින් ජනතා ප්‍රශ්න විසඳා ලිය නොහැකිය. ජනාධිපති ඇතුළු රජය ජනතා මතයට කන් දිය යුතුය. නැතහොත් ඔව්හු වහා ඉවත්ව යා යුතුය. මෙම ද්විත්වය අතර මැද මාවතක් නොමැත.

එසේ නොකරන සියළු දෙනාම ඉතිහාසයේ කුණු කූඩයට විසි කර දමන්නට අප සියළු දෙනාම මෙතැන් සිට එක්සත්ව එක්සිත්ව කටයුතු කල යුතුය.

  1. ලයනල් බෝපගේ

          සභාපති – ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව, ඔස්ට්‍රේලියාව

  1. සුරේෂ් සුරේන්ද්‍රන්

          සම කැඳවුම් කරු – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬක්, ජාත්‍යන්තර ජාලය

  1. රාහුල ජයසිංහ

          සම කැඳවුම්කරු – ප්‍රගතිශීලි සමගිය උදෙසා වන සාමූහිකය

  1. රංජිත් වීරසිංහ

          සභාපති – ශ්‍රී ලංකාවේ යුක්තියට හඩක්, ඔස්ට්‍රේලියාව

2022 අප්‍රේල් 20 වනදා

Social Sharing
නවතම