ජීවිතේ තිබුණේ නැති මෙහෙව් දවසක්…!

අලුත් අවුරුද්ද කියලා කියන්නේ සුන්දර රස මතක ගොඩගැසුණු මතක කන්දකට. ඒ මතක කන්ද අස්සේ කවදාවත් මේ කියන්න යන දවස වගේ දවසක් තිබුණේ නෑ. ඒක සුවර්..!

ඉස්සර අම්මා කතාකරලා කියනවා සද්ද නොකර මෙන්න මේ පොල් තෙල් ටික තාච්චියට දාලා දියන් කියලා. ඒක නිහැඬියාවක් එක්ක අවුරුදු නිළ වශයෙන් ආරම්භ වීම. ඒ විදිහට කැවුම් සුවඳ ගේ අස්සේ සරන්න කලින්ම අපිට අවුරුදු උදාවෙලා තිබුණා. කජු කඩන්න ගස් බඩගානකොට, අවුරුද්දට ලැබෙන එකම ඇඳුම ලැබෙනකොට, කැලේ කොළේ ගාල්වෙලා බූරුවා ගහනකොට කඩමණ්ඩියේ කැට ගහනකොට නොම්බර අදිනකොට අපිට අවුරුදු උදාවෙලා තිබුණා. ඉතිං මෙහෙම පටන් ගන්න අවුරුදු සිරි අසිරි කාලේ උච්චතම දවස තමයි නොනගතයෙන් පස්සේ උදාවෙන කාලේ. ගෙදර ඉන්න ඕනී.. ඒක අප්‍රකාශිත නියෝගයක් වගේ එකක්. ඉතිං මේ දවස අනිවාර්යයෙන් ගෙදර හිටියා.

ඒත් මේ 13දා රෑ 11ට විතර ගෝඨාගෝගමට ආවට පස්සේ කාලයක් තිස්සේ නඩත්තු කරපු ඒ සුන්දර දවස වෙනස් උනා. 13 දවසේ රෑ 11 ඉඳලා 15 දවසේ උදේ 05 විතර වෙනකම් එක දවසක් ගෙවෙනවා කියලා කියන්නේ ඒක චිත්‍රපටියක් වගේ.

ඒ දීර්ඝ පැයවල් අස්සේ ප්‍රේමයම තමයි තිබුණේ. මේ රට වෙනස් කරන්න මේ රට වෙන මගකට ගෙනියන්න හිත අස්සේ උපන් ප්‍රේමයක් ඒක. ඒ ප්‍රේමය එක්ක එතනට ආපු ලක්ෂ සංඛ්‍යාත ජන හදවත් ගැහෙන ලබ් ඩම් හඬ නින්නාද වෙනකොට ඒ හරහා ප්‍රකාශ උනේ මේ රටේ පරණ ඉතිහාසය ඉවරයි කියන සංගීතය. අලුත් ඉතිහාසයක් තමයි මේ අපි ලියමින් ඉන්නේ කියන එක තමයි මේ හැමදවසකම වගේ මම මේ කතාකරන දීර්ඝ පැය අස්සේ තිබුණේ.

කාලය ගතනොවුණ ඒ පැයවල්, විශාල ප්‍රාර්ථනාවන් දරාගත්ත ඒ පැයවල්, සංගීතයෙන් කතාවෙන් සටන්පාඨවලින් මිතුරු කුටුකුටු ගෑම් වලින් විතරක් නෙවෙයි සිනහවෙන් බඳා වැළඳ ගැනීමෙන් තවත් තවත් ලස්සන උනා. සිනමාකරණය උනා. හැඟීම්කරණය උනා.

ගෝඨාගෝගමේ බේකරිය අවකාශය ගත්තොත් එතන  Ajith Kumarasiri , Sudantha Madhawa Fernando නිතරම හිටියා. එතන වෙන රස දේසපාලන පරිකල්පනීය අවකාශයක්. මිනිස්සුන්ට වෙනස් වෙන්න පාර පෙන්වන ආදරය කරන්න පාර පෙන්වන තැනක් ඒක. ඒවගේ අවකාශයන් පොකුරක් එකට හුස්ම ගන්න ඉසව්වක් තමයි අද වෙනකොට මේ ගෝල්ෆේස් අවකාශය.

දැන් එතනට දිදුල තරු වගේම නිවි නිවී යන තරුත් බැස නිවී ගිය තරුත් එනවා. යනවා. නිව්ස් මැවෙනවා. සැන්දෑවට එන පුංචි කොලු කෙළි රංචු කටේ දිවේ තොලේ නොගෑවී කුණුහරුප වැලේ වනලා බලන් ඉන්නවා. ඒවට ඩාන්ස් කරනවා. මනුස්සය චලන හැට කෝටියක් එතන..!

ඒවා මටනම් පුදුම ලස්සන මිනිස් මොහොතවල්. මචං දැන් මොකෝ වෙන්නේ? හම්බවෙන හැම එකාම අහනවා. ඒක දැන් ඇබ්බැහියක් වගේ වෙලා.

රෑට එන වළේ බයිසිකල් තරුණයෝ උනත් මේකට හොඳ රෙඩ්බුල් එකක්. ඒ අස්සේ පරණ උපවාස සත්‍යග්‍රහ උනත් මේ බිමේ පැලවෙලා. පුස්තකාල දාලා දැන් මුන් සිනමාහලකුත් පටන් ගන්න හදනවා. මෙහෙම ගියොත් මේක අලවෙයි දියවෙයි වගේ කතාත් ඇහෙනවා.

ඒ අවිනිශ්චිතතාවය තියෙන්න ඕනී. අපිට නිතරම හිතෙන්න ඕනී මේක දියවෙයි හෙට දියවෙයි කියලා. එහෙම උනාම තමයි අපිට එක එක දේවල් කරන්න හිතෙන්නේ. දියනොවී ඉන්න අපි ඉගනගන්නේ ඒ සාංදෘෂ්ඨික සිතුවිල්ලෙන්.

මෙහෙම මේ අරගලය යන අස්සේ තවත් පිරිසක් මෙතන ඉන්න ගමන් මීට උඩ තියෙන දේශපාලන අවකාශයත් එක්ක මේ අරගලය ජයග්‍රහනය කරගන්නේ කොහොමද පාර්ලිමේන්තුව අස්සේ මේ අරගලය යතාර්තයක් කරගන්නේ කොහොමද කියන සංවාදයත් කරනවා. අන්තර්වාර ආණ්ඩුවේ ඉඳලා රාජපක්ෂ බලහෝමාරුවට වගේ බරපතළ මාතෘකා ඒ සංවාද අස්සේ ඇවිලෙනවා. ඉතිං ඒක මරු.. හැමතැනම දේශපාලනය හුස්ම ගන්නවා. අපි හම්බ කළොත් අපි කනවා කියපු උන් බරපතළ විදිහට දේශපාලනය කරන්න පටන් අරං. ඒකම මරු නැද්ද? හැම ලබ්බ අස්සෙම දේශපාලනය තියෙනවා කියන එක උන්ට දැන් තේරිලා.

මේ හැමදෙයක්ම ළඟින් ඉතාමත් ළඟින් විඳගත්ත පැය ගානක් ඒ මොහොත. ඔව් මෙවර සිංහල අලුත් අවුරුදු නිමේශය…!

මේ අරගලය හෙට දියවෙලා ගියත් මේ අරගලය ජීවිතයට එන්නත් කරපු දේවල් ගොඩාක් තියෙනවා. ඉසියුම් සමහර දේවල්වලට පුලුවන් ජීවිතය වෙනස් කරන්න. කටාස්සට අතදාලා ජිවිතය අනික් පැත්ත හරවන්න හෝරා දෙක තුනක් ඇති කියන එක මේ අරගලය අපිට පෙන්නුවා.

දැන් ඉතිං අපිට තියෙන්නේ මේක දේශපාලන ජයග්‍රහණයක් පැත්තට හරවන්න. ඒක තමයි අමාරුවෙන් හරි කරන්න ඕනී වැඩේ. ඒකට 225ම එපා කියලා ඉඳලා හරියන්නේ නෑ. අපි අපේ හිතට හරියන ආකෘතියක ආණ්ඩුවක් ඉක්මනින් පිහිටුවා ගැනීම ගැන ඉක්මනින් වැඩ කරන්න ඕනී. ඒක අමාරු නෑ. දැන් ඒකට අවශ්‍ය පසුබිම හැදෙමින් තිබෙනවා.

ඊට අමතරව දිගුකාලීනව මේ තරුණ ජවය හැකියාව දක්ෂතාවය සහ අලුත් සිතුවිලි පරම්පරාව දේශපාලනය අස්සට ගන්න වැඩක් හදන්න අවශ්‍යයි. මෙතනින් වෙනමම තරුණ දේශපාලන ව්‍යාපාරයක් පිපිලා මතුවෙනවා නම් ඒකට විශාල වැඩකොටසක් මේ රට ලස්සන කරන්න කරන්න ඇහැක් වෙයි.

ඒ කොහොම වුණත් ඉස්සහරට එන ඕනෑම මැතිවරණයකදී මේ තරුණ හඬ උරාගන්න වැඩක් හදන්න මේ පක්ෂවලට සිද්ධ වෙනවා. ඒක එහෙම වෙන්නේ නැතුව මේ සාම්ප්‍රදායික දේසපාලනයට තවදුරටත් පැවැත්මක් නැතිවෙයි. මේ හඬ නොතකා හැරියොත් රාජපක්ෂ පවුලට උන දේ මේ දේශපාලන පක්ෂවලටත් වෙනවා. ඒකනම් කැට තියලා කියන්න පුලුවන්..!.

කොහොමවුණත් අන්තිමට මේ ටිකත් කියන්න ඕනී රාජපක්ෂලාට ගෙදර යන්න වෙන දවස වැඩි ඈතක නෑ..!

ඒක තමයි මේ අවුරුද්දේ තියෙන වටිනාකම..! බර..! ගැඹුර..!

-කේ. සංජීව-

Social Sharing
නවතම