චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු.
“පරන යාලුවන්ට වගේම… අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්‍රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල.
ඒ නිසා… ලංකාවෙ ඇතුලෙ වැඩිය ප්‍රසිද්ධ නැති වුනාට, ලෝකය පුරාම හදවත් වල නමක් ඉතිරි කරල ගිය අපූරු මනුස්සයෙක් එක්ක කතාව පටන් ගමු.
ඒ එක්කම ලෝකයේ මෙන්ම තමන්ගෙ රටේත් ආදරයටත් සමච්චලයටත් ලක්වූ තවත් මිනිස්සු දෙන්නෙක්ගෙ චරිත ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරමු.
ජෝන් උඹ ඇත්තටම කවුද..?
“මම සාමාන්‍ය පොලිස් නිළධාරියෙක්.”
“නෑ මං ඇහුවෙ… ලෝකෙම උඹව දන්නෙ මළල ක්‍රීඩකයෙක් විදිහට. නමුත් සාමාන්‍ය මිනිහෙකුට කරන්න අසීරු දේවල් උඹ කරනව.”
“ඒත් ඉතින් දුවන්නනෙ මම ප්‍රසිද්ධ… පොලීසියෙ හිටියත් කරන්නෙ හොරු පස්සෙ දුවන එක තමා.”
ජෝන් බොහොම අහිංසකව උත්තර දුන්නෙ බීබීසී සම්මුඛ සාකච්ඡාවකදී.
කවුද මේ ජෝන්… ජෝන් අකිබුවා ( Joh Akiibuwa) ඉපදෙන්නෙ කම්පාලා නගරයෙ ඉඳන් පැය හතක විතර දුශ්කර ගමනකින් ලඟා වෙන්න පුළුවන් බොහොම ඈත ගමක. ඒ ගමේ නම අබාකෝ. “කම්පාලා.. ” අහල පුරුදු නමක්.
කම්පාලා තමයි උගන්ඩාවෙ අග නගරය.
උගන්ඩාව දුප්පත් මිනිස්සු වාසය කරන මධ්‍යම අප්‍රිකානු රටක්. මුලින්ම ජෝන් අකිබුවා නිසා ලෝකයේම අවධානය දිනාගත්ත උගන්ඩාව පස්සෙ ඉඩි අමීන් ඩඩා නිසා පස්සෙ බොහොම අපකීර්තියට පත්වුනා.
ඉතියෝපියාව, කෙන්යාව, ටැන්සානියාව, කොංගෝ හා දකුණු සූඩානය යන රටවල් පහට මැදිවුනු උගන්ඩාව ලෑන්ඩ් ලොක්ඩ් කන්ට්‍රි ( Land Locked Country) එකක් කියලයි හඳුන්වන්නෙ.
නමුත් උගන්ඩාව දැන් හැඳින්වෙන්නෙ ලොක්ඩ් කන්ට්‍රි එකක් නෙවේ ලොන්ඩ්‍රි කන්ට්‍රි ( Laundry Country) එකක් විදිහට.
ඒ ගැන පස්සෙ කතා කරමු.
සම්පූර්ණයෙන්ම වෙනත් රටවලට අයිති භූමියෙන් වටවෙලා හෝ සිරවෙලා කියන එකයි ලෑන්ඩ් ලොක්ඩ් කන්ට්‍රි කියල හැඳින් වෙන්නෙ.
සමකාසන්න රටක් වූ උගන්ඩාවත් ලංකාව වගේ තමා. මේ රට කෘශිකර්මාන්තයට කියාපු රටක්. ඒ එක්කම රත්තරන්, කොපර්, යකඩ, කොබාල්ට් වගේ ස්වභාවික සම්පත් වලින් පිරුනු බොහොම සශ්‍රීක කලාපයකයි මේ රට පිහිටල තියෙන්නෙ. කොටින්ම කීවොත් ස්වයංපෝෂිත වෙන්න මේ රටට කිසිම අඩුපාඩුවක් නෑ.
ජෝන් ඉපදෙන්නෙ 1949 දෙසැම්බර් තුන්වෙනිදා. ජෝන්ගෙ පවුලෙ සහෝදර සහෝදරියො 43 දෙනෙක් ඉන්නවා. ඒකට හේතුව තමයි ජෝන්ගෙ තාත්ත බිරින්දෑවරු අට දෙනෙක් තියාගෙන හිටපු ග්‍රාමීය නායකයෙක් වීම.
මහින්ද රාජපක්ෂ මහත්තයා ඉපදෙන්නෙ 1945 ඉඩි අමීන් ඩාඩා ඉපදෙන්නෙ 1925 ඒ සංසන්ඳනය කිරීමේ පහසුවට.
අපි කලින් ක්‍රිස්ටීන් ම්වම්බා ගැන කතා කරා මතක ඇති. ක්‍රිස්ටීන් වගේම තමයි එළුවන් හරකුන් පස්සෙ දුවල හැතැප්ම ගණන් පයින් ඉස්කෝලෙට ගිහින් මේ මිනිස්සුන්ගෙ කකුල් හොඳට හයියයි.
සපත්තු නැතිව දුවල ලෝකය ජයගත්ත අබ්බි බිකිලාව මතක් වුනා නම් ඔබේ මතකය නිවැරදියි.
1964 අවුරුද්දෙ ජෝන්ගෙ තාත්ත හදිස්සියේම මිය යනව. පවුලෙ අගහිඟකම් පටන් ගන්නවත් එක්කම ජෝන්ගෙ අම්ම කියනව පුතේ,
“ගමේ ඉඳල උඹට අනාගතයක් නෑ. නගරයට පලයන් උඹ උඹගෙ පාර හොයාගනින් දුප්පත් මට බෑ හැමදාම උඹට කන්න දෙන්න කියල.”
නගරය ගැන මොකුත්ම නොදන්න මේ අවුරුදු පහලවක පොඩි එකා කම්පාලා නගරෙට එනව රස්සාවක් හොයාගෙන.
මේ උගන්ඩාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත් අලුත. 1894 අවුරුද්දෙ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ උගන්ඩාව නිදහස ලබාගත්තෙ 1964 දි.
කිසිම අධ්‍යාපන සුදුසු කමක් නැති මේ පොඩි එකා මුට්ට කරගහල අගල් කපල ජීවිතේ ගැට ගහගන්නව. මුඩුක්කුවක ජීවත් වෙන ගමන් බිම වැටිල තියන පත්තර කෑලි කියවල අකුරු ඉගෙන ගන්න ජෝන් වෙළඳ සලක රස්සාවක් හොයා ගන්නව කැශියර් කෙනෙක් විදිහට.
එතනදි යන්තම් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න මේ තරුණයා උගන්ඩා පොලිසීයට බැඳෙන්න සමත්වෙනව අවුරුදු විස්ස වෙද්දි. මෙන්න මේ කාලෙ තමයි මැල්කම් ආර්නෝල්ඩ් ( Malcolm Arnorld) කියන ඉංග්‍රීසි ජාතික ගුරුවරය කම්පාලා නගරයේ ක්‍රීඩා උපදේශක තනතුරක් සඳහා නගරයට ලඟා වෙන්නේ.
පොලීසියෙ පැවැත්වෙන ක්‍රීඩා උළෙලකදී ජෝන් ක්‍රීඩා ඉසව් කීපයක්ම දිනන්නෙ ගමේ ඉඳන් අරගෙන ආපු හයිය තවම එයා ලඟ රැඳිල තියන හින්දයි.
මේ කාලෙ උගන්ඩා පොලීසිය අප්‍රිකාවෙ හොඳම පොලිස් සේවාව විදිහට හැඳින්වෙනව.
බ්‍රිතාන්‍යන් විසින් මේ වෙද්දි ඇතිකරල තිබුනු මළල ක්‍රීඩා සංචිත වල ක්‍රීඩක ක්‍රීඩිකාවො හැමෝම රස්සාවල් කරේ උගන්ඩා පොලීසියේ
ශාරීරික ව්‍යායාම ඉංග්‍රීසි භාශාව උගන්වන ආර්නෝල්ඩ්ගෙ ඇස් නතර වෙනව ජෝන්ගෙ දිවිල්ල ලඟ.
ඒක හරියට ඇත්නාවල ඉස්කෝලෙ දූවිලි පිරුණු පිට්ටනියෙ දුවපු සුසන්තිකාව ඩර්වින් පෙරේරා මහත්තයා දැක්ක වගේ වැඩක්.
මේ මුණගැසීම ජෝන්ගෙ වගේම උගන්ඩාවෙත් ප්‍රථිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරනව.
ධාවන ඉසව් වගේම පැනීම් ඉසව් වලටත් දක්ශ අකිබුවා කඩුළු පැනීමේ ඉසව් වලට යොමු කරන්නෙ මැල්කම් විසින්. මුලදි අදිමදි කරත් මාස කීපයක පුහුණු වීම් වලින් පස්සෙ ජෝන් උගන්ඩා පොලීසියේ ඉන්න දක්ශතම කඩුළු මතින් දිවීමේ ක්‍රීඩකයා බවට පත්වෙනව.
දැන් අපි දන්නව 1962 අවුරුද්දෙ උගන්ඩා නම් “පොහොසත් රාජ්‍ය” නිදහස ලබාගත්ත කියල.
මේ වෙද්දි මේ රටේ භාන්ඩාගාරය පිරිල. අධ්‍යාපන ක්‍රමය සෑහෙන දුරට සාර්ථකයි. ආරක්ශක හමුදා හා පොලීසිය ඉතාම විනය ගරුක සේවා විදිහට නමක් දිනාගෙන තියනව.
නමුත් බලයට පත්වෙන උගන්ඩා ආන්ඩුවට පුළුවන්ද මේ රට පාලනය කරන්න. සුදු අධිරාජ්‍යවාදය.. සුදු හම.. ඉංග්‍රීසි සිරිත් විරිත් තමන්ගෙ රට විනාශ කරා කියල තමයි මේ අය නිදහස් සටන පටන් ගන්නෙ.
මෙතනින් අදහස් වෙන්නෙ නෑ කිසිසේත්ම බ්‍රිතාන්‍යයන් නිවැරදියි ..සර්ව සාධාරණයි කියල.
1946 දි බ්‍රිතාන්‍ය උගන්ඩා යුධ හමුදාවෙ මුළුතැන්ගෙයි සේවකයෙක් විදිහට තරුණ ඉඩි අමීන් සේවයට එකතු වෙනව. ( Idi Amin) .
අමීන් ඒ තරම් දක්ශ තරුණයෙක් නෙවේ, නමුත් හැම තිස්සෙම තමන් ලඟ ඉන්න කෙනාව පාගල පීඩනයට පත් කරන පුද්ගලයෙක් විදිහට එයා ප්‍රසිද්ධයි.
අඩි හය හමාරක් උස මේ තරුණයා කිලෝ අසූ පහක් බර දැවන්තයෙක්.
ඒ එක්කම සුදු ජාතිකයන්ව තදින්ම පිලිකුල් කරපු.. ගැටුමට.. වාදයට කැමති අමීන් 1953 දී කෝප්‍රල් තණතුරටත් ඒ අවුරුද්දෙම සාජන්ට් තණතුරටත් පත්වෙනව.
බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබීමත් එක්කම අධිකාරිකත් නිළයක් ලබන ඉඩි අමීන් 1962 අවුරුද්දෙ කැප්ටන් කෙනෙක් විදිහටත් 1963 දී මේජර් තණතුරටත් උසස් කෙරෙන්නෙ විශේෂයෙන්ම සුදු ජාතිකයන් කෙරෙහි තිබූ වෛරය තරහ කෙලින්ම පිට කරපු හමුදා භටයෙක් විදිහට.
ඒ එක්කම ඉඩි අමීන් තමයි 1955/60 වගේ කාලය තුල හමුදා හෙවිවේට් බොක්සිං ශූරයා.
1964 වෙද්දි ඉඩි අමීන් හමුදාපති වෙනව… 1970 වෙද්දි හමුදා තුනේම වගේම සියළුම ආරක්ශක සේවාවල ප්‍රධානියා වෙන්නෙ ජෙනරාල් ඉඩි අමීන්.
මැල්කම් ආර්නෝල්ඩ් යටතේ පුහුනු වෙන ජෝන් අකිබුවා උගන්ඩාවේ ජාතික කඩුළු පැනීමේ ශූරයා බවට පත්වෙද්දි තමන්ගෙ සියළුම ප්‍රථිවාදීන් යටත් කරන.. මර්ධනය කරන ඉඩි අමීන් මුළු උගන්ඩාවේම ඉන්න බලවත්ම පුද්ගලයා බවට පත්වෙනව.
එක්දාස් නවසිය හැට ගනන්වල මැද ඉඳල ලෝකෙ පුරා සෑහෙන වෙනස් කම් සිද්ධ වෙනව.
මේ වෙනස් කම් උගන්ඩාවටත් එනව. නොමිලයේ මුද්‍රණය කරපු බොහොම ලස්සන පොත්පත්.. සඟරා මේ රටටත් ලැබෙනව. මේ පොත් පත්තර සඟරා එන්නෙ සෝවියට් දේශය කියන රටෙන්. බොහොම ලස්සනට ලියපු මේ පොත්පත් හරහා වගේම මොස්කව් නුවර උසස් අධ්‍යාපනය ලබන්න ගිය තරුණ ශිශ්‍යයන් අතින් කොමියුනිස්ට් එහෙමත් නැත්නම් සමාජවාදී අදහස් හෙමින් සැරේ උගන්ඩා සමාජයට ඇතුල් වෙනව.
මේ තරුණ ශිෂ්‍යයො සමාජවාදී හා බටහිර විරෝධී අදහස් එක්ක තරුණ පරපුර දැනුවත් කිරීම ගම් මට්ටමින් සිද්ධ කරනව.
මේ වෙද්දි කොංගෝ රාජ්‍යයත් එක්ක රත්තරං හා ඇත් දළ ජාවාරමෙන් සුපිරි කෝටිපතියෙක් වෙලා ඉන්න ඉඩි අමීන් මහත්තයා මේ තරුණයන් දිහා බලන්නෙ වපර ඇහෙන්.
ඒ එක්කම උගන්ඩා වෙලඳ කටයුතු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්දියානු වෙලෙන්දන් අතට පත්වීමත් ඉඩි අමීන්ගෙ උදහසට ලක්වෙනව.
මේ වෙද්දි උගන්ඩාවෙ ජනාධිපති තමයි මිල්ටන් ඔටෝබෙ ( Milton Otobe). නයිල් ගඟ කලාපය හරහා සූඩානය දක්වා ඇත්දළ ,මැණික් ජාවාරම් වල යෙදෙන ඉඩි අමීන් එක්ක ඔටෝබෙ ගැටුම් ඇති කරගන්නව.
අමීන් චෝදනා කරනව සෝවියට් මුදල් අරගෙන ඔටෝබෙ රට පාවල දෙන්න යනව කියල.
මේ ගැටුම දුරදිග නවතින්නෙ 1971 පෙබරවාරි දෙවෙනිදා උගන්ඩා රජය පෙරලා දමමින් ඉඩි අමීන් රටේ බලය අත්පත් කර ගැනීමෙනුයි.
මේක අපි හඳුන්වන්නෙ Coup dètat විදිහට. මේ ප්‍රංශ යෙදුමක් වුනත් ඉංග්‍රීසි භාශාවෙ පාවිච්චි වෙන්නෙත් මේ අකාරයටමයි.
1971 කැරැල්ලක් සිදුවූ තවත් රටක් අපිට මතකයි.
අවුරුදු හතක් ආපස්සට යමු. 1964 අවුරුද්දෙ මේ කියන රටේ මහින්ද රාජපක්ශ තරුණයා විද්‍යෝදය පිරිවෙනේ පුස්තකාල සහායකයෙක් විදිහට රැකියාවක් ලබා ගන්නව.
තමන්ගෙ තාත්ත 1965 අවුරුද්දෙ මැතිවරණයෙන් පරාජය වෙද්දි, මහින්ද රාජපක්ශ තරුණයා වාමාංශික ක්‍රියාකාරිකයෙක් ලෙස ලංකා වෙළඳ සංගමයේ ලේඛම් විදිහට පත්වෙනව.
1970 අවුරුද්දෙදි බෙලි අත්ත ආසනයට තරඟ කරන මහින්ද රාජපක්ශ දොස්තර රංජිත් අතපත්තුව පරාජය කරමින් පාර්ලිමේන්තුවට තේරෙනව, අද වගේම තමයි අපි කැමතියි දොස්තර මහත්තයෙක්ට වඩා කාර්‍යාල කාර්‍ය සහයකයෙක්ට යටතේ පාලනය වෙන්න. මේක වෘත්තීයන්ට කරන අගෞරවයක් නෙවේ.
බොහොමයක් කාර්‍යාල කාර්‍ය සහයක වරුන් දේශපාලකයන්ට වඩා අවංකයි.. කාර්‍යක්ශමයි.
(සෝවියට් )සමාජවාදී අදහස් වලට පක්ශ තරුණයන්ගෙ කැරැල්ල සිද්ධ වෙද්දී සිරිමාවෝ බණ්ඩාරනායක නෝන තමයි ලංකාවෙ ආන්ඩුව කරන්නෙ.
1968 අවුරුද්දෙ මීටර් එකසිය දහය කඩුළු පැනීමේ අප්‍රිකානු ශූරයා බවය ජෝන් අකිබුවා පත්වුනත් එයාට හැකියාව ලැබෙන්නෙ නෑ ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවල යන්න.
ජෝන් මුළු උගන්ඩාවෙම ප්‍රශංසාවට භාජනය වෙද්දි මැල්කම් ආර්නෝල්ඩ්ට චෝදනා එල්ල වෙනව ජෝන්ව නිසියාකාරව පුහුණු කරේ නෑ කියල.
මේකට හේතු දෙකක් තියනව. එකක්… බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීම මත ගොඩනැගුනු සුදු ජාතික විරෝධයත්.. සෝවියට් ඉගැන්වීම් මත නිර්මාණය වුනු බටහිර විරෝධයත් තමා මේ හේතු දෙක.
කෙන්යානු ක්‍රීඩකයන්ට අභියෝග කරමින් ආර්නෝල්ඩ්ගෙ ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවො ජයග්‍රහන ලබා ගන්න නිසා එක පාරටම මැල්කම් ආර්නෝල්ඩ්ව පන්නල දාන්න කාටවත් හැකියාවක් නෑ.
ඒ එක්කම මේ මනුස්සයා බොහොම සරල, හිනාවෙලා ඉන්න පුද්ගලයෙක්.
1970 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තියෙන්නෙ ස්කොට්ලන්තයේදීයි. මේ තරඟාවලියේ මීටර් 400 කඩුළු පැනීමේ තරඟයේදී තරුණ අකිබුවාට ලැබෙන්නෙ හතරවෙනි ස්ථානය.
1971 අවුරුද්දේ අමරිකා එක්සත් ජනපදයේ නෝර්ත් කැරොලිනා ප්‍රාන්ථයේ පැවැත්වෙනව අප්‍රිකානු ඇමරිකානු තරඟාවලිය.
තමන්ගෙ ඉසව්ව තත්පර 49 කින් නිම කරන ජෝන් අකිබුවා ඒ අවුරුද්දෙ ලෝකයේ අංක එකටත් .. ලෝක ඉතිහාසයේ වේගවත්ම ක්‍රීඩකයන් අතර පස්වෙනිය බවටත් පත්වෙනව.
උගන්ඩා සමාජයෙන් එල්ලවෙන කෙණෙහෙකි මැද්දෙ මැල්කම් ආර්නෝල්ඩ් තවදුරටත් උගන්ඩාවෙ ජාතික සහාය පුහුණුකරු තණතුර දරන්නෙ බ්‍රිතාන්‍යෙන් ලැබෙන ප්‍රධාන පුහුණුකරු තණතුර ප්‍රථික්ශේප කරමින්.
බ්‍රිතාන්‍යට… ඒ කියන්නෙ මගේ රටට ඇතිවෙන්න පහසුකම් තියනව.. පුහුණු කරුවො ඉන්නව.. ඒත් මගෙ දුප්පත් උගන්ඩා ක්‍රීඩකයන්ට මම නැති වුනොත් කවුරුත් නෑ… මැල්කම් බීබීසී සාකච්ඡාවකදි කියනව.
නමුත් ඉඩි අමීන් විසින් තහණම් කරනව මැල්කම් ආර්නෝල්ඩ්ට රටට ඇතුල් වෙන්න.
මැල්කම්ගෙ වගේම… ජෝන්ගෙත් එකම අරමුණ ඔලිම්පික් රන් පදක්කකම. බ්‍රිතාන්‍යට පිටුවහල් කරන මැල්කම් ආර්නෝල්ඩ් කරන්නෙ පුහුණු වීම් කරන ආකාරය විස්තර කරන වීඩියෝ පටි හදල.. ලිපි ගොනු වාර්ථා හදල හොර රහසේම උගන්ඩාවට යවන එක.
කෙන්යානු පුහුණු කරුවන් හා දුර දිවීම් ක්‍රීඩකයන් හරහා තමයි මේ පුහුණු වැඩසටහන් සහිත ගමන් මළු උගන්ඩාවට ලැබෙන්නෙ කෙන්යානු දේශ සීමාව හරහා.
කැරලි කෝලාහාල… බල අරගල මැද්දෙ 1972 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නෙ ජර්මනියේ මියුනිච් නගරයේ.
මීටර් හාරසීය කඩුළු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගන්නෙ කවුරුත් නෙවේ අබාකෝ ගමේ ඉපදුනු ජෝන් අකිබුවා. තමන්ගෙ පුහුණු කරුවා වෙන රටක ඉඳන් එවන පුහුණු කාල සටහන් වලට තනියම පුහුණු වූ ජෝන් ඔලිම්පික් දිනන්නෙ නිකම්ම නෙවේ තත්පර 47.82 ක ලෝක වාර්ථාවක් එක්ක.
( මේ තරඟයේ ශ්‍රී ලංකා වාර්ථාව තත්පර 49,44 යි. ඒ 2000 අවුරුද්දේදී බදුල්ලෙ හරිජන් රත්නායක ක්‍රීඩකයා පිහිටවපු වාර්ථාව).
මගෙ රට ගැන කවුරුත් දන්නෙ නැහැ… අපි කඳු වලින් වට වෙච්ච පුංචි දුප්පත් රටක්.
හැබැයි දක්ශයන්ගෙන් පිරිල .. අපි පුහුනු වෙන්නෙ කඳුකර ගම්මාන වල … කඩුළු වෙනුවට මුලින් පාවිච්චි කරේ උණ බම්බු…. මේක මම නෙවේ රටේ ජයග්‍රහණයක්.
ජෝන් අකිබුවා උගන්ඩාවට එන්නෙ ජාතික වීරයෙක් විදිහට. කවුද ජෝන්ගෙ හොඳම මිත්‍රය.. කවුද ජෝන්ගෙ කළමණාකරු.. කවුද ජෝන්ගෙ පුහුණුකරු.?
ඒ තමයි ඉඩි අමීන් ඩාඩා.
හැම පත්තරේකම මුල් පිටුවෙ පලවෙන්නෙ ජෝන් හා ඉඩි අමීන්ගෙ රූප වලින්.
ඉඩි අමීන් ටීවී රේඩියෝ වලට කියනව… එයා ජෝන් අකිබුවා හොයා ගත්ත විදිහ.. පුහුණු කරපු විදිහ .. කෑම බීම සැප පහසුකම් දීපු විදිහ. රටේ ජනතාවට හරි සතුටුයි.
ඒ අතරෙ ජෝන්ට ගෙවල් දොරවල්.. යාන වාහන වගේ බොහොම තෑගි භෝග ලැබෙනව.
හැබැයි ජාතික හා ජාත්‍යන්තර සාකච්ඡා වලදී එයා ඉන්න ඕනෙ රටේ ජනාධිපති එක්ක.
“මම මහා මෝඩයෙක්… මම අන්ධ වෙලා හිටියෙ… මා වටේ වෙන කිසිම දෙයක් මට පෙනුනෙ නෑ.
ඒ කාලෙ මං හිටපු විදිහට මං කවදාවත් මට සමාවක් දෙන්නෙ නෑ.”
ජෝන් මෙහෙම කියල තිබුනෙ කාලෙකට පස්සෙ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
මෙන්න මේ කාලෙ තමයි ඉඩි අමීන් එයාගෙ බලය පතුරුවන්නෙ. වචනයකින් හරි විරුද්ධ වෙන අය මරල පුච්චන්න… ගස් වල එල්ලන්න… පවුල් හෝ ගම් පිටින් ගිනි බත් කරන්න එයා පැකිලෙන්නෙ නෑ.
සියළුම ඉන්දියානුවන්ට රටින් පිටවෙන්න නියෝග කරනව.
ඉතුරු වෙන අය අතුරුදන් වෙනව. මුළු රටේම භීශණය පතුරුවද්දි… ජාතික මාධ්‍ය හරහා අමීන් මහත්තයා පෙනී ඉන්නෙ ජාතිය ගලවාගත්, සුදු අධිරාජ්‍ය වාදීන්ට අභොයෝග කල වීරයා විදිහට.
ප්‍රසිද්ධියේම යුරෝපයට විශේෂයෙන්ම බ්‍රිතාන්‍යට බැණ වදිද්දි රට වැසියො ප්‍රීති ඝෝශා කරනව.
ප්‍රීති ඝෝශා නොකරන අය ගිනි ගොඩවල් මැද්දෙ… ගං පතුල් මැද්දෙ නොපෙනී යනව.
ඒ අතරෙ රත්තරන්.. ඛණිජ.. ලෝහ.. දැව ජාවාරම් මැද්දෙ ඉඩි අමීන් මහත්තයාගේ ධනවත් කම දෙගුන තෙගුන වෙනව.
දුප්පත් කමෙන් මිරිකෙන මිනිස්සු නිශ්ෂබ්දයි … එයාලට නායකයෙක් ඉන්නව… රටක් තියනව.
1973 අවුරුද්දෙත් ජෝන් අකිබුවා අප්‍රිකානු ශූරයා වෙනව. ටිකෙන් ටික එයාට වැටහෙනව තමන්ගෙ රටේ ඇතිවෙලා තියන තත්වය. නමුත් ඉඩි අමීන්ට විරුද්ධ වෙනව කියන්නෙ නියත මරණය බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
පසු කාලීනව ජෝන් කියන්නෙ “මොන්ට්‍රියල් ඔලිම්පික් පදක්කම දිනල ..මගේ රටේ දුක ගැන ලෝකයට කියන්නයි මම හිතාගෙන හිටියෙ” කියලයි.
මේ අතරෙ මහින්ද රාජපක්ශ මන්ත්‍රී වරයෙක් විදිහට රටට සේවය කරනව .. ඉඩි අමීන් ජනාධිපති තණතුරෙන් රජ කමට පත්වෙනව.
මේ කාලයේ මහින්ද රාජපක්ශ මන්ත්‍රී ධූරය දරන රටේ ඉතාම දක්ශ මළල ක්‍රීඩයයෙක් ලෝක අවධානය දිනාගන්නව. ලුසියන් රෝසා නම් වූ මේ ක්‍රීඩකයා මීටර් 5000 , 10,000 ඉසව් වල ආසියානු ශූරයා වෙමින් ලෝක මට්ටමට ලඟා වෙන බවට පැහැදිලි සාක්කි දකින්නෙ මේ කාලය තුලදීයි.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න අරගල ආරම්භ කරන්නෙත් කරන්නෙත් මේ කාල වකවානුව තුලදීයි.
කාලය ගෙවෙන්නෙ විදුලි වේගයෙන් උගන්ඩාවේ භීශනය ගැන ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙනවා. සුදු ආධිපත්‍ය නිසා දකුණු අප්‍රිකානු වර්ණ හේද වාදය දරුණු වෙනවා.
ඉඩි අමීන් ඩාඩා වගේම වෙනත් අප්‍රිකානු නායකයින් දකුණු අප්‍රිකාවේ තත්වය විවේචනය කරනව දරුණුවට.
මේ විවේචන සාධාරණයි නමුත් උගන්ඩාව වගේ රටවල ඇතිවෙන සිද්ධීන් ඊටත් වඩා දරුණුයි.
විශේෂයෙන්ම සුදු ජාතික පාලනයට හා යුරෝපීය විරුද්ධ මත සඳහා සෝවියට් සංගමයෙන් විශාල උදව් ලැබෙනවා.
මෙන්න මේ අතර තමයි අප්‍රිකානු රටවල් 1976 මොන්ට්‍රියල් ක්‍රීඩා උළෙල වර්ජනය කරන්නෙ.
අවුරුදු ගාණක් වෙහෙස වෙලා පුහුණුවීම් කරපු ජෝන් අකිබුවාට වගේම ඔලිම්පික් පදක්කමක් දිනන්න හීන මවපු ලුසියන් රෝසාටත් බලාපොරොත්තු අත් හරින්න වෙනවා.
කොහොම වුනත් අවසන් මොහොතේ හරි තරඟ වැදෙන්න ඉඩ ලැබෙයි කියන අදහසින් ජෝන් අකිබුවා මොන්ට්‍රියල් නුවරට ලඟා වෙනවා.
මේ තමා ලියුම නතර කරන්න වෙලාව. හේතුව ලිපිය දිග් වෙනව වැඩියි.
ඊලඟ ලියුමෙන් කතා කරමු ජෝන් අකිබුවාගේ ඉරණම ගැනත් 1976 න් පස්සෙ උගන්ඩාවේ හා ශ්‍රී ලංකාවේ තත්ත්වය වගේම උතුරු නැගෙනහිර සටන් මෙහෙය වූ එල් ටී ටී ඊ සංවිධානය හරහා දියුණුවූ
“ශ්‍රී ලංකා උගන්ඩා ආදරය ” ගැනත්.
උපුටා ගැනීම : Malcolm sang ෆේස්බුක් පිටුවෙන්..