මිරිහාන වට කර ජන ගඟක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට ඊයේ (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින්  උද්ඝෝෂණයක් පවත් වා ඇත.

පළමුව ජුබිලි කණුව මංසන්ධිය අසලට  ඊයේ පස්වරුවේ  රැස්වූ ජනතාව එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව මිරිහාන පැඟිරිවත්ත ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ ප්‍රවේශ වන  මාර්ගය අසලට පැමිණ එම  මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.

පසුව උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීමට උත්සහ කෙරූ අතර එය වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.

මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම  119 මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ අතර ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය අසල දැඩි පොලිස් රැකවල් දමා තිබෙන අයුරි දැකගන්නට ලැබුණි. කෙසේවෙතත් සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ නොසිටි බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නිවෙස අසල විරෝධතාව වැඩිවීමත් සමග ජනතාව විසුරැවා හැරීම සදහා කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ආකාරය දැකගත හැකි විය එනමුත් ජනතාව කදුලු ගෑස් ප්‍රහාර මැද ජනාධිපතිවරයාගේ නිවෙස දෙසට ගල් මුල් ප්‍රහාරද එල්ල කරනු දැකගත හැකි විය.

තව ද ජනාධිපතිවරයාගේ  නිවස අසල විරෝධතාවයේ නිරත යම්  පිරිසක් ප්‍රචණ්ඩකාරීව  හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධිය නිසා එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබුණි.

එමෙන්ම බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.

කෙසේ නමුත් මෙම ගැටුමින් තුවාල ලැබූවන් 10 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි ද හය දෙනකු කොළඹ ජාතික රෝහලේ සහ හතර දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආංචි මාර්ග වාර්තා කරයි.

තව ද තුවාල ලැබූවන් අතර මෙම සිද්ධිය ආවරණයට ගින මාධ්‍යවේදීන් කීප දෙනකුට සිටින බව දැන ගන්නට ඇත. එසේම  තුවාල ලැබූවන් අතර පොලිසියේ පස් දෙනකු ද සිටින බවත් ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් සේවකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත.

ඊයේ රාත්‍රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතර තුරු පොලිස් බසයකට,යුද හමුදා බසයකට,ජීප් රථයකට, ත්‍රිරෝද රථ කීපයකට හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබිණි.

මේ වන විට නුගේගොඩ – මහරගම මාර්ගයේ ඇඹුල්දෙණිය හන්දියෙන් මාර්ගය වසා දමා ඇති අතර ඉන් ඇතුළු විය හැක්කේ පාසල් වැන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

Social Sharing
නවතම