“ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?”, ආණ්ඩුවෙන් වෙන්වන පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක්
ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම යන කරුණු හරහාය.
මෙම යෝජනා තුල විවෘත ආර්ථිකය මෙසේ හඳුනාගෙන ඇත.
“විශේෂයෙන්ම 1977 න් පසුව විවෘත ආර්ථිකය නමින් සිදුකල අගතිගාමී ප්‍රතිසංස්කරණ විසින් අප ජාතිය මෙම අර්බුදය දක්වා තල්ලු කර ඇති බව පිළිගැනීමෙන් තොරව ඊට විසඳුම් සෙවිය නොහැකි බවද අප පිළිගත යුතුය. විදේශ ණය මත පදනම්වූ නාගරික ඉදි කිරීම සහ වෙළෙඳාම මුල් කරගත් එම ආර්ථික මොඩලය විසින් අප රටේ නිෂ්පාදන පද්ධතිය සම්පුර්ණයෙන් බිඳ දමමින් රටේ ආර්ථික සුරක්ෂිතතාව සහ පහල ස්ථර වල ජිවන තත්ත්වය අනතුරට ලක් කර ඇත. එම ආර්ථික ආකෘතිය තුල සමාජයේ ආදායම් විෂමතාවයන් වර්ධනය වූ අතර කෙටිකාලීනව යම් ඇස්බැන්දුම් සැරසිලි ප්‍රමාණයක් දැක ගත හැකි විය නමුත් දැන් අප අත් විඳින්නේ එම ඊනියා සංවර්ධන මොඩලයේ දරුණු තම අවපාතයක් බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.”
මෙය වැරදි අර්ථකථනයකි. 1977 ට පෙර තිබූ සංවෘත ආර්ථික ක්‍රමය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. දැනට රටේ පවතින්නේද එක්තරා ප්‍රමාණයකින් එවැනි සංවෘත තත්ත්වයකි. ලෝකයේ දියුණු වූ රටවල් අනුගමනය කර ඇත්තේ විවෘත ආර්ථික ක්‍රමයන්ය. උදාහරණයක් වශයෙන් වියට්නාමයේ අපනයන දල දේශීය නිෂ්පාදිතයෙන් 106% ක් පමණ වන අතර එරට ආනයන දල දේශීය නිෂ්පාදිතයෙන් 103% ක් පමණ වේ. මෙය වෙළෙඳාම මුල් වූ ආර්ථිකයකි.
අද පවතින ආර්ථික අර්බුදයේ මුල මොවුන් සියලුදෙනාම සම්මාදම් වූ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථිකය හැසිරවූ ආකාරයයි. එම යුගයේ ආකර්ශනීය ආර්ථික වෘද්ධියක් පෙන්නුම් කලේ ඉතා ඉහල පොලි අනුපාත වලට ගත ණය මුදල් මගින් කරන ලද ඉදිකිරීම් මගිනි. මෙම ඉදිකිරිම් වලින් විශාල කොමිස් ප්‍රමාණයක් එම ආණ්ඩුවේ බලවතුන් විසින් ගසාගත් අතර ඒ අනුව ඒවායේ වියදම ඉතාමත් අධික විය. එයට අමතරව එම ඉදිකිරිම වලින් සැලකියයුතු ප්‍රමාණයක් වියදමට සරිලන ප්‍රතිලාභයක් නොලැබෙන මට්ටමේ ඒවා විය. මෙම තත්ත්වය ඕනෑම ව්‍යාපාරයක් බංකොලොත් විය හැකි තත්ත්වයකි. එනමුත් ඇස්බැන්දුම් ආර්ථික වර්ධනයක් ඒ යුගයේ තිබුණි. අප වැනි රටක ආර්ථික වර්ධනය පදනම් විය යුත්තේ අපනයන මතය. එම යුගයේ අපනයන කරුවන්ට ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය. එම ආණ්ඩුවේ ආර්ථික පණ්ඩිතයන්ගේ (වර්තමාන මහා බැංකු අධිපතිවරයා ඇතුළු ) කිසිම අවධානයක් අපනයන කෙරෙහි නොවිය. වර්ෂ 2004 දී 35% ක් ව තිබුණු අපනයන සහ දල දේශීය අදායම අතර අනුපාතය 2014 දී 21% දක්වා අඩුවිය. මෙම තත්ත්වය පහත දැක්වෙන ප්‍රස්ථාරයෙන් පැහැදිලි වේ.
(මුලාශ්‍රය :https://data.worldbank.org/)
මෙයට අමතරව රාජ්‍ය මූල්‍ය අංශය සලක බලන විට රජයේ බදු ආදායමේ දල දේශීය නිෂ්පාදිතයට ඇති අනුපාතය කාලයක් මුළුල්ලේ අනුක්‍රමයෙන් පහල බසින් තිබුණි. මෙම තත්ත්වය පහන් සඳහන් ප්‍රස්ථාරයේ දැක්වේ.
(මුලාශ්‍රය :https://data.worldbank.org/)
වර්ෂ 2015 බලයට පත්වූ රජය විසින් නව බදු පනතක් හඳුන්වාදී මෙම තත්ත්වයට ප්‍රතිකර්ම යොදන ලද අතර එහි ප්‍රතිඵල ද ඉහත ප්‍රස්ථාරයේ පෙනෙන්නට තිබේ. මෙම රජය බලයට පත්වූ පසුව මෙම බදු අහෝසි කර රාජ්‍ය ආදායමද බදු පදනමද විශාල ප්‍රමාණයකින් අඩුකර ගන්නා ලදී. රට මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදයේ අසන්නතම හේතුව එයයි. ඒ අවස්ථාවේදී මෙරට ආර්ථික විද්‍යාඥයන් මේ පිළිබඳව අනතුරු ඇඟවූ අතර ආණ්ඩුවද මෙම පක්ෂ 11 ඒ පිළිබඳව කිසිම ප්‍රතික්‍රියාවක් නොදක්වන ලදී.
මේ අනුව මෙම ආර්ථික අර්බුදයේ හේතුව විවෘත ආර්ථික ක්‍රමය යයි කිසිසේත්ම කිව නොහැක. එයට අමතරව මෙම ප්‍රකාශනයේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය මූල්‍ය අංශයේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සම්බන්ධව පමණි. මෙම අර්බුදයට දීර්ඝ කාලින හේතුව වන්නේ පැවති ආණ්ඩු විසින් දිගින් දිගටම පවත්වා ගෙන ගිය හිඟ අයවැය ප්‍රතිපත්තියයි. අයවැය හිඟයට රාජ්‍ය ආදායම අඩුවීමට අමතරව රාජ්‍ය වියදම වැඩි වීමද හේතුවේ. මේ පිළිබඳව කිසිම සඳහනක් මෙම ප්‍රකාශයේ නැත. රජයේ වියදම වැඩි වීමට එක හේතුවක් වන්නේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයයි. රාජ්‍ය සේවයේ පූර්ණ ප්‍රතිසන්විධානයකින් තොරව රටට ඉදිරි ගමනක් නැත.
එමෙන්ම රජය සතු ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යන්නේද ඉතාමත් අකාර්යක්ෂම අන්දමිනි. මේවා පවත්වාගෙන යන්නේ පවතින ආණ්ඩුවලට හිතවත් පුද්ගලයන්ට රැකියා දීමට සහ ඒවාට වගකියන දේශපාලනඥයන් විසින් සිය බලය පවත්වාගෙන යාම සඳහාය. ඒවායේ වෘත්තීය සමිතිද ක්‍රියා කරන්නේ තනිකරම ස්වාර්ථය සඳහාය. එබැවින් මෙම ආයතන නිසි ක්‍රමවේදයක් අනුව පුද්ගලීකරණය හෝ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාරණයකි. රටකට නිකමුන් පිරිසක් දීර්ඝ කාලීනව නඩත්තු කල නොහැක.
විවෘත ආර්ථික ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි බරවා කකුල් ආර්ථික දේහයේ ඉතිරි නොවනු ඇත. එබැවින් ප්‍රශ්නය වන්නේ විවෘත ආර්ථික ක්‍රමය නොව එය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමයි.
සමාජයේ පහල ස්ථරවල ජිවන තත්ත්වය පහල බැසීම පිළිබඳව මෙහි එන සඳහන සත්‍යයකි. බදු ක්‍රමය හරහා විශේෂයෙන්ම මෙහි යෝජනා කර ඇති පරිදි වක්‍ර බදු අනුපාතය අඩුකර ඍජු බදු අනුපාතය වැඩි කිරීම හරහා යම්තාක් දුරට ආර්ථික වෘද්ධියේ ප්‍රතිලාභ ජනතාව අතරට ගෙන යා හැක.
සහනාධාර සුදුස්සන්ට මෙන්ම නුසුදුස්සන් ටද එකසේ ලබාදීම නිසා ඒ සඳහා රජය විසින් විශාල මිලක් දරමින් තිබේ.
විදේශ ආයෝජන මත පමණක් නොරඳා දේශීය ආයෝජකයන්ටද සහන සැලසීමට මෙහි යෝජනා කර ඇත. එය හොඳ දෙයකි. එමෙන්ම විදේශ ආයෝජකයන් මෙරටට නොඑන එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් ගසා කෑමට දේශපාලනඥයන් සහ නිලධාරීන් සුදානම්ව සිටීමයි. එය නැති කිරීමට ක්‍රමවේදයක් ස්ථාපිත කල යුතුය. එමෙන්ම නීතියේ අධිපත්‍යය නොමැති රටකට පැමිණීමට ආයෝජකයන් සූදානම් නැත.
අධි තාක්ෂණයෙන් යුත් කර්මාන්ත සඳහා සුදුසුකම් ලැබෙන පිරිසක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල යුතුය.දැන් තිබෙන සංවෘත අධ්‍යාපන මොඩලය විවෘත කල යුතුය. එය විවෘත කිරීමට ඉඩ නොදෙන්නේ මෙම යෝජනා ඉදිරිපත් කල දේශපාලනඥයන් නියෝජනය කරන කඳවුරයි.
එමෙන්ම විදේශ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා බැංකු පද්ධතිය මගින් කළු වෙළෙඳපොළ සමඟ තරඟකාරීව ඩොලර් මිලදී ගැනීම සඳහා ආකර්ශනීය අමතර මිලක් ගෙවීම මෙම ක්‍රියාවලිය තුල යෝජනා කර ඇත.
ඒ අනුව විනිමය අනුපාතය දැන් පවතින ආකාරයටම පාලන මිලක් සහිතව පවත්වාගෙන යාම ඔවුන්ගේ අරමුණ වේ. මහා බැංකුව පසුගිය මාර්තු 7 දා සිය ප්‍රතිපත්තිය සංශෝධනය කරමින් ඩොලරයක් සඳහා වන විනිමය අනුපාතය රු. 202 සිට 230 දක්වා ඉහල නංවන ලදී. එසේ කලේ මෙය දිගටම පවත්වාගෙන යා නොහැකි නිසාය. පාලන මිලක් සිනි වලට පැනවූ විට සිදුවන දෙයම විදේශ මුදල් සඳහා පැනවූ විටද සිදුවේ.
මේ යෝජනා අතර මෑත කාලීනව සීනි, පොල්තෙල්, තිරිඟු පිටි, කිරිපිටි ආදී ආහාර ආනයන කරුවන්ට ලබාදී ඇති බදු සහන සියල්ල අහෝසි කර මිල සුත්‍ර හඳුන්වා දීම මගින් පාරිභෝගිකයාට මෙන්ම දේශීය නිෂ්පදකයට සාධාරණය ඉටුවන ආකාරයට මිල නියම කිරීම සහ ඊට අනුව නැවත බදු පැනවීම ද ඇතුලත්වේ.
මෙය ආනයන ආදේශන ප්‍රතිපත්තිය සමඟ මිල පාලනය බද්ධ කිරීමකි. ආනයන ආදේශන ප්‍රතිපත්ති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෙටිකාලීනව පාවිච්චි කල හැකි වුවත් දීර්ඝ කාලීනව ප්‍රතිඵල දායක නැත. හේතුව වර්තමාන රාජ්‍ය ආයතන මෙන් අකාර්යක්ෂමව අඩු ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඔවුන්ට ලැබෙන රැකවරණය පාවිච්චි කිරීමේ ඉඩ ප්‍රස්තාවයි. මෙම තත්ත්වය අප විසින් 1970-1977 යුගයේ අත්හදා බලා ඇත.
ප්‍රශස්ත වන්නේ අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්තියයි. අපනයන සඳහා වෙළෙඳ පොළ බවට මුළු ලෝකයම තිබෙන අතර ආනයන ආදේශනය සඳහා වෙළෙඳපොළ ශ්‍රී ලංකාව පමණි.
වී ගොවිතැන ආකර්ශනීය ආර්ථික ක්‍රියාකාරකමක් බවට පරිවර්තනය කිරීම සඳහා වී සඳහා අවම මිලක් පැනවීම යෝජනා කර ඇත. මේවා ඉතා පැරණි යෝජනා වේ. කිසිම නවතාවයක් මේවායේ නැත. මෙරට තෙත් කලාපයේ වී ගොවිතැන පාඩු ලැබෙන ව්‍යාපාරයකි. මෙරට කෘෂි කර්මාන්ත අංශයේ කාර්යක්ෂමතාව ඉතාමත් අඩුය. ගොවීන්ගේ කාර්යක්ෂමතාව ඉහල නැංවීම සඳහා ලාභ ලබන වෙළෙඳ භෝග සඳහා ඔවුන් යොමු කල යුතුය. අවම මිලක් පැනවීම මගින් ඔවුන් ගේ අකාර්යක්ෂම තාවට පාරිභෝගිකයා ගෙවිය යුතුය.
සමස්තයක් වශයෙන් මෙම ප්‍රකාශය වැරදි මතවාදයන් මත පදනම්ව සකස් කර ඇති අතර එහි එන යෝජනා ඉතාමත් යල් පැනගිය ඒවා වේ. මේ අවස්ථාවේදී දේශපාලන පක්ෂ විසින් ඉතාමත් රැඩිකල් යෝජනා ඉදිරිපත් කල යුතුය. එවැනි දැක්මක් මෙම යෝජනා සකස් කල පක්ෂ වලට තිබෙන බවක් පෙනෙන්නට නැත.