කේ. සංජීව
මහාචාර්‍ය චරිත හේරත්ට පිං සිද්ධ වෙන්න කොත්තුවල ජාතකය හොයන්න පටන් අරං. මාත් ඉතිං කාලෙක ඉඳලා ලංකාවට ආවේනික වුණ කෑම බීම ගැන කැසිල්ලක ඉන්න හින්දා නිකං හිතට හිතෙන මඟුල් ටිකක් ලියලා දාන්න හිතුවා. මේවා ඇත්තටම හිතට ආපු හිතලු නෙවෙයි, අසොක්කුවල රවුම් ගහනකොට කනට ඇහුන කතා. දිවට වැටුන රස. ඇසට පැන්න පාට පාට රස. ඊයේ කාන්තාවන්ගේ දවසේ චින්තන දිව ගැන ලියලා තිබුණා. හැම කාන්තාවකටම රහා දිවක් හම්බවෙන්න කියලා තමයි මිනිහා ප්‍රාර්ථනා කරලා තිබුණේ. හොඳ දිවක් කියන්නේ නිවන් මඟක් තමයි රත්තරං කියලා මම මේක ලියන්නම් මෙහෙම.. ආ ඊට කළින් කියන්න ඕනෑ දිව නිකං මස් කෑලක් උනාට රස කියන්නේ සංස්කෘතියක්.
කාදල් ගේ කඩේ
පොඩි කාලේ අම්මගේ අතේ එල්ලිලා රත්නපුරේ ටවුන් එකට ගිහිං බෝගහ ළඟින් බහිනකොට ඔහොක් කරගෙන කටබලියගෙන බලාගෙන ඉන්නේ ජගත් සිරිය, ජනරංජනය, ජයසිරිය කියන හෝටල්. මේවා අස්සට රිංගුවාම ගොඩක් වෙලාවට කන්න අරං දෙන්නේ ගෝදම්බ රොටී. එහෙමත් නැත්තං පාන්. දැන් නම් රත්නපුරේ මේ හෝටල්වලින් ඉතුරුවෙලා තියෙන්නේ ජනරංජන එක විතරයි. ඒකත් හොඳටම වියපත්වෙලා වැහැරිලා මරණාසන්නව තමයි ඉන්නේ. කොහොම වුණත් මම මේ කතාව මතක් කළේ ගෝදම්බ රොටිය උඩ රවුමක් ගහන්න. මේකට අපි ඉස්සර ලේන්සු රොටිය කියලත් කියනවා. පිටි අරං මෝලිය දාලා අනලා කොරලා පිපිලා හුස්ම ගන්නකොට තැටිය උඩ එහෙට මෙහෙට පෙරලලා තෙල් ගාලා සම්බාහනය කරලා ඇගිල්ල උඩ නටවලා තැටියේ එහෙට මෙහෙට හරෝ හරෝ ගහලා ලේන්සුව වගේ පටලයක් හදලා අරගෙන රත්වෙච්ච වානේ තැටිය උඩ තියලා කරකොරලා ගත්තාම තමයි ගෝදම්බේ එන්නේ. ඉස්සර රත්නපුරේ වළට සෙට් වුණාම, කාදල් නානගේ කඩේට ගියාම මේ වෑයින් රොටී දෙකක් දාලා පරිප්පු ඇට දුරාවාර හොද්දක් ඒක උඩින් ඉහළා, ඊට උඩින් චිකන් රහා පිටි සාරු හොද්දක් දෝරේ යවලා, ඊට උඩින් කිරි කැටි දූපත් පීනන කිරි හොද්දකුත් ඉහළ තමයි මේසෙට එවන්නේ. මොනවා උනත් ඒක දිව්‍ය ලෝක රහා දනවනවා. බඩ පිරෙනවා විතරක් නෙවෙයි බඩ බෝලයක් වගේ පුම්බනවා. බඩ උල් වෙන්න කනවා කියන්නෙත් ඒකට තමයි. ඒ කාලෙත් මේකාලේ වගේම පරාට තිබුණට අපි පරාටා කෑවේ නෑ ජනප්‍රිය උනේ ගෝදම්බේ..
කොත්තුව
ඉතිං දැන් පුලුවන් දිවට රස දෙන ටකට ටකට කොත්තුව ගැන කයියක් ගහන්න. කොත්තුව කියන්නේ ලංකාවේ කෑමක් ඒකේ ආයේ කතා දෙකක් තියෙන්න විදිහක් නෑ. කොත්තු රැල්ල පටන් ගත්තේ මඩකලපුවෙන් කියලා තමයි කතාව. ගෝදම්බ රොටිය කපලා වානේ තැටිය උඩ බිත්තර සාරුව යාන්තමින් ඝණ වෙනකොට ලීක්ස් කැරට් සුදු ලූණු බී ලූණු දාලා ඊළඟට අර කපාගත්ත රොටී කෑලි ටික දාලා ඒක උඩින් චිකන් පෝක් නැත්තං මාළු සාරුවක් සරුවට ගඟ ගලන්නැහේ දාලා යකඩ පතුරු දෙකකින් ටකට ටකට කියලා පදමට ගහලා ගන්න එකට තමයි කොත්තුව කියලා කියන්නේ. ගසන්නාට හොඳ රිදම් එකක් තිබුණොත් ටිකක් වැඩි පුර ගැහුවොත් එළවළු බිත්තර යහමින් වීසිකළොත් කොත්තුව තොත්තුවක් වගේ රසයි.
මකර බත් කඩ ලංකාවේ ඔහේ ගාලා ඇරෙනකොට තාච්චියේ උඩ දාලා තෙල් නාවලා ගන්න රයිස්සුවේ ආභාෂය මේ කොත්තුවේ තියෙනවා කියලා හිතන්නත් ඇහැක්. ඇත්තටම වෙන්න ඇත්තේ ඔය මඩකලපුවේ පැත්තේ හෝටලයක හිටපු පබිලිස් ගුරුන්නැහේ වගේ වෙනස්ව හිතපු බාස්සුන්නැහේ හාදයෙක් ගෝදම්බේ කෑලි කෑලි වලට කපලා හොදි නහවලා මුලින්ම දෙන්න ඇති. ඊළඟට නිකං රත්වෙවී තියෙන තැටි පෙන්නන්න බැරි මේ හාදයාම මේ කෑලි බෑලි ගෝදම්බ රොටිය අර තැටිය උඩට දාලා, හොදිත් දාලා, බිත්තරේකුත් දාලා, හැන්දෙන් හයියෙන් තට්ටුවක් දාන්න ඇති. සමහර වෙලාවට ඔය වෙලාවේ හෝටලේ රේඩියෝව සික්ස් එයිට් සිංදුවක් වාදනය කලාද කියලා කවුද දන්නේ? මම නම් ඔය කොත්තු සම්බවය කියන දාර්ශනික ප්‍රශ්නයට පිළිතුරු හොයන්නේ ඔහොම.. එහෙම නැඟලා ගිය කොත්තුව අද ‘මිස්ටර් කොත්තු’ වගේ නම් තියෙන රසහල් වලට පවා උපත දීලා තියෙනවා.
ජගත්සිරිය ජනරංජන ජයසිරිය නැතිවුණාට අද තරු හෝටල්වල කොත්තුව හිනා වෙනවා. මඩකලපුවේ පොඩි කඩෙන් පටන් ගත්ත කොත්තු තොත්තුව එහෙම තමයි වැඩ කළේ. අද මේක ඉතාලි චීන මෙක්සිකෝ මැලේ ඉන්දුනිසියා මොන්ගෝලියා වගේ එක නෙක රස වට්ටෝරු එක්ක සැලඩ් වෙලා දිවට පුදුම සැපක් දෙමින් ඉන්නවා. ඒ හින්දම අද බිත්තර මාළු චිකන් බීෆ් කොත්තුව චීස් කොත්තු, ඩොල්පින් කොත්තු වගේ ආටානූවක් නාමකරණ වලින් එළියට ඇවිත්.. විදේශිකයෝ ඒම හිතන්නේ මේක අපේ ජාතික ආහාරය කියලා. ඒ තරමට ගමක් නගරයක් ගානේ කොත්තුව තොත්තු දෙනවා. ඒ අස්සේ මට නම් තියෙන එකම අවුල තැටියේ ගහපු කොත්තුව ලේසියට තාච්චියට වැටුණ එක.
සමහරු මේක විරේක බෙහෙතක් විදිහටත් පාවිච්චි කරනවා. ඒකට හේතුව අපි අපිරිසිදුවට කෑම හදන කලාව ලේවලට බස්සගෙන තියෙන ජාතියක් වීම. කඩේට ගේන බිත්තරේ කොත්තු ලෑල්ලට යන්න කළින් හෝදන්න බැරි හාදයෝ අපි. ඉතිං අපි කුකුල් බෙටි රසකාරකය මික්ස් කරලා ටකට ටකට ගහලා රත් කරලා කනවා. කුණු වුණ කැරට් එහෙට මෙහෙට තාරුකා කපලා කොත්තුවට දානවා. අපි රස්නෙට කන්න පුරුදු ජාතියක් නිසා යාන්තමින් බෙරිලා ඉන්නවා. මේවා මෙහෙම උනාට කොත්තු තොත්තු වගේ රසට රසේ හදන බාස්ලා ඕසෙට ලංකාවේ ඉන්නවා. එයාලට මෙන්න සැලියුට් එක.
ඉතිං මෙහෙම කොත්තුවත් ඉන්දියන් කියලා අද විෂ්ණු වාසු ෆේස්බුක් එකේ ලියලා තිබුණා. ඒ කතාව නිසාමයි ඇත්තටම මේක ලියවුණේ.
ඒ කතාව මේක..
“මිතුරනි කොත්තු රොටියේ ඉතිහාසය පිළිබඳව විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා අප අසා තියෙනවා. අළුත්ම අදහස දැන් ටිකකට කලිං පාර්ලිමේන්තුවේදී. අදහස චරිත හේරත්ගේ. ඔන්න අහගන්ට මදුරාසි සංගීත ඇකඩමියේ ශිල්ප හදාරන කාලයේ කොත්තු රොටියේ උපත හා සමග බැදුනු සංගීතය යන මාතෘකාව යටතේ කළ ගවේෂණයක ප්‍රථිපල.
තින්ඩිවනම් ගම පිහිටා තියෙන්නේ තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රිකයේ. ඉන්දියාවේ ප්‍රාන්ත තුනක්, තමිල්නාඩු, කර්නාටක හා අන්ද්‍රා සම්බන්ධ කරන ප්‍රධාන අධිවේගී මාර්ග තුනක්ම මේ ගම හරහා වැටී තිබෙන නිසා, මෙය භූගෝලීය වශයෙන් වැදගත්කමක් තියෙන ගමක්. දකුණු ඉන්දියානු කුල ධූරාවලියේ පහළම ස්ථානයට අයත් ‘පරයා’ කුලයට අයත් බහුතරයක් වෙසෙන මේ ගම්මු ගොවිතැනින් ජීවත්වෙන අය. මේ හැරැනු විට මොවුන් පරයා නැතිනම් තප්පු කියන බෙර වාදනයට උපන් හපන්නු. ජීවිතයේ සියලුම විශේෂ අවස්ථාවලදී මොවුන් තප්පු වාදනය කරනවා. උපත, මඟුල, මරණය ආදී සෑම විශේෂ අවස්ථාවකදීම මොවුන් තප්පු වාදනය කරනවා. මොවුන් සියලු දෙනාගේ ජීවිත තාල වලින් පිරිලා.
මේ තින්ඩිවනම් ගමේදී තමයි තමිල්නාඩුවේ සිට ලොරිවලින් ගෙන ආ කුකුල් පොහොර තොගය කර්නාටකයේ සිට රැගෙන ආ ගෑස් සිලින්ඩර තොගයට හුවමාරැ කරගන්නේ. මේ ගමේදිම තමයි විජවයාඩා සිට ගෙන ආ සිනමා පෝස්ටර් තොගයට මදුරෙයි සිට ගෙන ආ පොල් තොගයට මාරැ කරගන්නේ. මෙතැනදි තමයි බැංගලෝරයේ සිට ගෙන ආ මී අඹ තොගය විශාඛාපට්නම් සිට ගෙන ආ තීන්ත ලොරියට පටවා ගන්නේ. මෙතන හරියටම පුංචි පහේ තොග හුවමාරු මධ්‍යස්ථායක් වාගේ දවසේ විසිහතර පැයේ ම ගනුදෙනු සිද්ධ වෙනවා.
අධිවේග මාර්ග හැදෙන්නට කලිං හැත්තෑ ගනන්වල ඉඳලම තින්ඩිවනම් ගමේදි මේ ගනුදෙනුව සිද්ධ වුනා. මේ ලොරිවලින් පැමිණෙන පිරිසට ආහාර සප්පායමට පුංචි පුංචි කඩවල් දෙක තුනක් තින්ඩිවනම් ගමේ පටන් ගැනුණා. හැබැයි පහු පහු වෙනකොට කඩෙන් කඩේ එකතු වී අද වන විට කඩවල් තිහක් හතලිහක් විතර හැදිලා තියෙනවා. සිලෝන් පරතා දෙක තුනයි, කන් කරියයි, ලූණු සම්බෝලෙටයි තමයි බහුතරයගේ කැමැත්ත. (තමල්නාඩුවේ සමහර ගම්වල තවමත් පරාතා හදුන්වන්නේ සිලෝන් පරාතා කියලා)
ශ්‍රී ලංකාවේ භාවිත දෙමළ භාෂාවෙන් වෙට්ටිත්තාංග කියන්නේ පුංචියට කපලා දෙන්න කියන එක. නමුත් මේ තින්ඩිවනම් ගමේ භාවිත දෙමළ උප භාෂාවට අනුව පුංචියට කපනවාට කියන්නේ කොත්තිත් තාංග කියලා. රෙන්ඩ මූණු පරාතා කොත්තිත් තාංග කියන්නේ පරාතා දෙක තුනක් කපලා දෙන්නඩ කියන අර්ථය. ලොකු චිකන් කෑල්ලකුත් එක්කලා පුංචියට කැපූ පරාතා රොටි වලින් පිළියෙල කරගත් ආහාරයට කොත්තු කියලා නම වැටුනා කියලා තමයි අපේ නඩේගුරා අපට විස්තර කළේ.
දැන් මේ තින්ඩිවනම් ගමේ බහුතරය වෘත්තීය තප්පු බෙර වාදකයින් නිසාත් ඔවුන් ඉතා සංකීර්ණ තාල වාදනයට උපන් හපනුන් නිසාත් එකවර විස්සක් තිහක් ලස්සනට, හරි හැඩට, තාලෙට කොත්තු කොටන හඩ හරියටම සංධවනියක් වාගෙයි ඇහෙන්නේ. අප එහි ගියේ සංගීත සමාජවිද්‍යා පර්යේෂකයින් [Ethnomusicology reseachers] ලෙස නිසා අප සොයාගත් තවත් තොරතුරැ ගොඩයි. ඒවා හමුවූ විටෙක කියන්නම්.
දැන් මේ සටහන කියෙව්වාට පස්සේ චරිතගේ කොත්තු පේටන්ට් බලපත්‍ර සිහිනය බොඳ වුනානං අනේ මට සමාවෙන්න.”
උපුටනය අවසන්.
මේ කතාව කියෙව්වාම ප්‍රශ්න දෙකක් ආවා. එකක් කොත්තු හදන්නේ පරාතා වලින් නෙවෙයි ගෝදම්බ රොටීවලින් කියන දේ. අනික තමයි සිලෝන් පරාතා කියන කතාව. ඒකත් පැත්තකට තිබ්බොත් ලංකාවේ සංගීතයේ මුල් ඉන්දියාවට ඇදෙනවා කියන එක පරම සත්‍යක්. ඒත් මේ ටකට ටකට සවුන්ඩ් එක කියලා කියන්නේ අපි උපදිනකොට අරගෙන ආපු තාලයක්. පොඩි කාලේ කොත්තු ගහනවා වගේ අපි මේසෙට ගහනවා. කොත්තු බාස්ගෙන් බාස්ට මේ සවුන්ඩ් එකේ වෙනස්කම් තියෙනවා. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ වීදී ආහාර වට්ටෝරු අස්සේ කොතනකවත් මේ කොත්තුව හම්බ වෙන්නේ නෑ.. ඒ ඇයි? පිටි කන්න රුසියෝ උන ඉන්දියානුවෝ මේක අතෑරියාවත් ද? මට නම් හිතෙන්නේ ඒක එහෙම දෙයක් නෙවෙයි. කොත්තුව ලාංකික වීම තමයි හේතුව. අපේ ගොඩක් දේවල්වල මුල් ඉන්දියාවට දිගයි. ඒක මම පිළිගන්නවා. ඒත් අපිට උරුම අපිට සුවිශෙස් රස රැසකුත් තියෙනවා. ඒ රස ගුහාව අස්සේ කොත්තුවලට විශාල අවකාශයක් වෙන් වෙනවා. ඒ හින්දා කොත්තු පුරාණයත් ඉන්දියාවට තියෙලා ගැටගහන්න එපා මචංලා කියලා තමයි අන්තිමට කියන්න වෙන්නේ.