‘ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදීයි” – මැදගොඩ අභයතිස්ස හිමි

නව ව්‍යවස්ථාවක් සෑදීම කිසිසේත්ම පාර්ලිමේන්තුව තුළ සිදු නොවිය යුතු බවත් ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදී බවත්  මැදගොඩ අභයතිස්ස හිමි රාවය සමග පැවැති සාකච්ඡාවක දී පවසා සිටියි.

රාවය : තමන් හමුදාවේ තුන්හාරදාහක් මැරුවා කියා පසුගියදා කරුණා අම්මාන් නැඟෙනහිර පළාතේ ප්‍රචාරක රැස්වීමකදී සිදුකර තිබුණු ප්‍රකාශය දේශපාලන සමාජයේ වැඩි අවධානයකට ලක්ව තිබෙනවා. මෙවරත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත ප්‍රකාශ කළත්, තමන් ඊට අකමැති වී මැතිවරණය තරඟ කිරීමට ඉදිරිපත් වූ බවත් ඔහු එහිදී ප්‍රකාශ කරනවා. දකුණේ දේශපාලනයේ සිංහල බෞද්ධ දේශපාලන ප්‍රතිරූප බිඳ වැටුණු මේ ප්‍රකාශය පිළිබඳව ඔබවහන්සේගේ අදහස මොකක්ද?

අභයතිස්ස හිමි: මට ඔය කියන ප්‍රකාශය අහන්න ලැබුණේ නෑ. නමුත් එහෙම ප්‍රකාශයක් කරලා තියනවා නම් ඒක ඔහු තුළින්ම ඉදිරිපත් වුණු හොඳ සාක්ෂියක්. කරුණා අම්මාන් නෙවෙයි කවුරුන් වුවත් අපරාධයක් කරලා තියනවා නම් නීතියෙන් එයාට දඬුවම් ලැබෙන්න ඕනේ. ඔහු ත්‍රස්තවාදී කණ්ඩායමක හිටපු නායකයෙක්. එයාම පිළිගන්නවා නම් එයා මිනීමැරුවා කියලා නීතියට අනුව ඔහුට දඬුවම් ලැබීම සිදුවිය යුතුමයි.

රාවය : සිංහල බෞද්ධයන් වෙනුවෙන්, රණවිරුවන්ගේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින බව කියන වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ දේශපාලකයන්වත්, හාමුදුරුවරුවත්, ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන බවක් නොපෙනෙන්නේ ඇයි? ‘කරුණාට දඬුවම් කරනු’ කියා උද්ඝෝෂණ නොකරන්නේ ඇයි?

අභයතිස්ස හිමි: ඒක තීරණය කරන්නේ භික්ෂූන්වහන්සේලා හෝ සාමාන්‍ය සමාජය හෝ දේශපාලකයන් හෝ කියන නිසා නෙවෙයි. නිත්‍යානුකූලව සිදුවෙන ක්‍රියාවලියක් තියන නිසා ඒ අනුව කරුණාටත් කටයුතු සිදුවිය යුතුයි. යුද්ධයේදි තුවක්කුවක් අතේ තියාගෙන මිනී මරපු කොටි ත්‍රස්තවාදි සාමාජිකයාත්, ඔහුට නියෝග දුන්න කොටි ත්‍රස්තවාදී නායකයාත් යන දෙදෙනා සම්බන්ධයෙන් කටයුතු කෙරෙන ආකාරයේ වෙනසක් තියෙන්න බෑ.

හැබැයි යුද්ධයක් අතරේ රජයේ හමුදාවන් සමඟ එක්වූ ත්‍රස්තවාදි නායකයෙකු සම්බන්ධයෙන් කටයුතු කෙරෙන විශේෂ ආකාරයන් හෝ යුද නීති තියනවාද කියලානම් මම දන්නේ නෑ. මොකද යුද්ධය අවසන් වුණාට පස්සේ, යටත් වුණු ත්‍රස්තවාදීන් මරපු ඔළුගෙඩි ගාන ගැන නොසලකා ඒ අය පුනරුත්ථාපන කඳවුරු දාලා පුනරුත්ථාපනය කළානේ. ඒ ආකාරයෙන් බැලුවා වුණත් කරුණා තවම පුනරුත්ථාපනය වෙලා නැත්නම් ඔහුවත් පුනරුත්ථාපනය කරන්න ඕනේ.

රාවය : දකුණේ සිංහල ප්‍රජාවට රණවිරුවන්ගේ අභිමානය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ උතුරේදී හමුදාවේ තුන්හාර දහසක් මරපු, යටත් වුණු පොලිස් නිලධාරින් සිය ගානක් මරපු, හාමුදුරුවරුන් පවා මරපු පුද්ගලයෙකුට තමන්ගේ පක්ෂයේ උප සභාපති ධුරයක් ලබාදීම සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදීම ඔබවහන්සේ කොහොමද තේරුම් ගන්නේ?

අභයතිස්ස හිමි: මේ රටේ සිංහල බෞද්ධයන් ඉන්නේ සීයට හැටක් හැත්තෑවක් වගේනේ. එතකොට සිංහල බෞද්ධ දේශපාලනය කරන පක්ෂයකට වුවත් සිංහල බෞද්ධ නොවන අය ඍජුවම පැත්තකට කරලා දේශපාලනය කරන්න බෑ. මොකද දේශපාලනයේ අරමුණක්, ඉලක්කයක් තියනවා. විශේෂයෙන්ම නොවැම්බර් 16 ජනතාව ගෝඨාභය රාජපක්ෂ පත්කරන්නේ විශේෂ අරමුණු සමුදායක් සාර්ථක කරගන්න. සංවර්ධනය කියන්නේ ඒවායින් එකක් විතරයි.

සියලු කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා අනිවාර්යෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් වෙන්න ඕනේ. ඒ සඳහා බලවත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ඒ පාර්ලිමේන්තුව සකස් කරගැනීම විනා, මෙතනදි බෙදිලා ගියොත් ඒ මූලික ඉලක්කය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් කවුරුන් හරි එනවා නම් ඒ අය අපි එකතු කරගන්න ඕනේ.

රාවය : මැතිවරණය ජයග්‍රහණය කරගැනීම සඳහා විතරද ඔබවහන්සේ කියන එක්වීම අවශ්‍ය වෙන්නේ කියන ගැටලුව මතුවෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ආසන්න වශයෙන් සමාන ජන අනුපාතයක් තිබෙන නැඟෙනහිර පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරන්න පිහිටවූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ සම්පූර්ණයෙන්ම සිංහල-බෞද්ධයන්ගෙන් සැදුම්ලත් එකක් නේද?

අභයතිස්ස හිමි: මම ඒකේ සංයුතිය දිහා බැලුවේ නෑ. සංයුතිය මොකක් වුණත් ආරක්ෂා විය යුතු දේ ආරක්ෂා වෙන්න ඕනේ. සිංහලද, දෙමළද, මුස්ලිම්ද, කතාවක් ඒකට අවශ්‍යය වෙන්නේ නෑ. අපේ පුරා විද්‍යාත්මක ස්ථාන තියනවා නම් ඒ සියල්ල සුරක්ෂිත වෙන්න ඕනේ එහි ඵෙතිහාසික උරුමයත් එක්කම. ඒකට පුද්ගලයන් පත් කරන්න ඕනේ ජනඅනුපාතයන් සැළකිල්ලට අරගෙන නෙවෙයි. පුද්ගලයන්ගේ හැකියාව සහ උනන්දුව සැලකිල්ලට අරගෙනයි. මොකද හේතුව, මේ වැඬේ කෙරෙන්න ඕනේ. නැඟෙනහිර විශාල වශයෙන් බෞද්ධ උරුමයන් තියනවා නම් ඒවා අයිතිවෙන්නේ බෞද්ධයන්ට. එතකොට නැඟෙනහිර බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන්න හදන මණ්ඩලයට ජන අනුපාත සැලකිල්ලට ගෙන පත්කිරීම අවශ්‍ය වෙන්නේ නෑ.

රාවය : පාතාලය හිස එසවීම, සැකකටයුතු ආකාරයෙන් සිදුවන පුද්ගල මරණ, පොලිස් ප්‍රහාර සහ දේශපාලන අවශ්‍යතා අනුව සිදුවන බව පෙනෙන විරුද්ධ දේශපාලකයන් අත්අඩංගුවට ගැනීම් ආදිය නිසා සමාජය නැවතත් යම් තැතිගැන්මකට ලක්වෙමින් තිබෙනවා. හැට නව ලක්ෂයක් දෙනා සමඟ ගෝඨාභය පාලනය පිළිබඳව ඔබවහන්සේලා තැබූ බලාපොරොත්තු, අපේක්ෂා මේ වෙන කොට කොපමණකින් ඉටුවී තිබෙනවාද?

අභයතිස්ස හිමි: හැට නව ලක්ෂයේ අපේක්ෂා ඉටුවීම පිළිබඳ නියම තීන්දුව දෙන්න වෙන්නේ එතුමා ජනාධිපති ධුරයෙන් සමුගන්නා දවසට. එතුමා නොවැම්බර් 16 පත්වෙලා, පෙබරවාරි මාසයේ පළවෙනි කොරෝනා රෝගියා ලංකාවෙන් හමුවෙනකම් මාස තුනක කාලයක් විතරයි එතුමට වැඩ කරන්න තිබුණේ. ඒ කාලය ඇතුලේ එතුමා ගත්ත සාධනීය පියවරවල් ටික බලන්න. ගම්මිරිස් ප්‍රතිඅපනයනය වැළැක්වුවා. පාතාලය නැති කිරිම සඳහා දැන් වෙනම කාර්යාංශයක් පත් කරලා තියනවා. මේ යුගයේ සිදුවුණු දැවැන්තම කුඩු සොයාගැනීම් මේ වෙනකොට සිද්ධ වෙලා තියනවා. අපරාධකරුවන්ගේ නිල නොලත් ගුබ්බෑයම් බවට පත්වෙලා තියන බන්ධනාගාරයේ කාර්ය පටිපාටි වෙනස් කරමින් යනවා.

ලෝකයම මුහුණ දුන්න කොරෝනාවලට අපි මුහුණ දුන්නේ ලෝකයම විශ්මයට පත්වුන විදිහට. නැඟෙනහිර පුරා වස්තු ආරක්ෂාවට වෙනම කාර්ය සාධක බලකායක් ඇති කළා. නොසලකා හල පිරිසක් බවට පත්ව සිටි මහා සංඝරත්නය ගෙනල්ලා උන්වහන්සේලාගේ අදහස් සමාලෝචනය කරලා, කටයුතු සිදුකරන්න පටන් ගත්තා. හමුදාවට අහිමි වෙලා තිබුණු අභිමානය නැවත ඇති කරන්න කටයුතු කළා. මේ කෙටි කාලය ඇතුලේ මෙතෙක් ලංකාවේ වෙනත් නායකයෙකුට කරන්න බැරිවුණ තරම් දේවල් එතුමා කරලා තියනවා. ඉතිරි දේවල් කරන්න ඉදිරියේදී එතුමාට හොඳ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනේ. ඒක හැදුනාට පස්සේ ඉතිරි ටික ක්‍රියාත්මක කරන බවට අපිට විශ්වාසයක් තියනවා.

රාවය : දැන් ආණ්ඩු පක්ෂ මැතිවරණ ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න තුනෙන් දෙකක ජනවරමක් පාර්ලිමේන්තු මැතිවරණයේදි ලබාදෙන්න කියලා. නමුත් ජනාධිපතිවරණයේදී කිව්වේ 19 සංශෝධනය යටතේ බලවත් වුණු අගමැති ධුරයට මහින්ද පත් කරන්න ජනාධිපතිවරණයේදි ගෝඨාභයට ඡන්දය දෙන්න කියලා. මේ විදිහට දේශපාලන ස්ථාවරය වෙනස් වෙන්නේ ඇයි?

අභයතිස්ස හිමි: ස්ථාවරය වෙනස්වීමක් වෙලා නෑ. පැහැදිලිවම ‘ජාතික විද්වත් භික්ෂු සංසදය’, ‘ජාතික වියත් පවුර’ අපි එදා ඉදන් දිගටම කිව්වේ 19 වෙනි සංශෝධනය කියන්නේ මර උගුලක් කියලයි. ඒකෙන් කළේ රාජ්‍ය දුර්වල කිරීම. රට පාලනය කරන බලය එන්ජීඕකාරයෝ ටිකකට ලබාදීම. සෝභිත හාමුදුරුවෝ මේකට කිව්වේ මල් වට්ටියක් කියලා. මම කිව්වේ මල් වඩමක් කියලා.

19 වෙනි සංශෝධනය වනාහි 13 වෙනි සංශෝධනයෙන් කරගන්න බැරවුණු වැඩ වෙනත් විදිහකින් කරගන්න කරපු එකක්. 20 වෙනි සංශෝධනයත් ගෙනාවනම් මේ වෙනකොට අපි කතා කරන්නේ සදාකාලිකව මරාගන්නා ජනවර්ග ගැටුම් ඇතිවෙන බෙදුණු රටක ඉදන්. ඒ ගමන් මාර්ගය අපි වැළැක්වුවා.

රාවය : 19 වෙනි ව්‍යවස්ථාව කොයි ආකාරයෙන්ද සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ?

අභයතිස්ස හිමි: නව ව්‍යවස්ථාවක් හදනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියනවා. එතනදි 19 අහෝසි වෙනවා. නව ව්‍යවස්ථාවක් සෑදීම කිසිසේත්ම පාර්ලිමේන්තුව තුළ සිදු නොවිය යුතුයි. එහෙම වුණොත් පාර්ලිමේන්තුව ඇතුලේ මේ ගොල්ල ඇවිල්ලා අපි හිතනවාටත් වඩා මහා විනාශයක් කරන්න පුළුවන්. ඒ නිසා ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් පිට හදන්න ඕනේ. ඒකට බුද්ධි මණ්ඩලයක් හදන්න පුලුවන්. මේ රටේ මිනිස්සු ඕනේ තරම් ඉන්නවා ඒක නියෝජනය කරන්න. ඒකට අපි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියනවා දස පනත කියලා.

රාවය : නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදෙන්න ඕනේ ජනතාව සම්බන්ධ කරගෙන හරි, එහෙම නැත්නම් ජනතා නියෝජිතයන් සම්බන්ධ කරගෙන හරි නේද? පාර්ලිමේන්තුවෙන් පිටතදි ඇයි ඒක කරන්නේ? එතකොට කවුරුන්ද ව්‍යවස්ථාව හදන්නේ?

අභයතිස්ස හිමි: පාර්ලිමේන්තුව ඇතුලේ ඕක කරන්න ගිහිල්ලා ආයෙත් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් හැදුවොත් ඉවරයි. 19 වෙනි සංශෝධනය ගෙනා වෙලාවේ ඒකට බොහෝ දේවල් ඇතුලත් කළේ කාරක සභා අවස්ථාවේදී. ඒ වගේ හොර වැඩවලට ආයේ ඉඩ තියන්න නරකයි. 2009 යුද්ධය අවසන් වෙන්නේ මහින්ද රාජපක්ෂ කියන තනි පෞරුෂය එක්ක. මේ වෙලාවේ ගෝඨාභයගේ පෞරුෂය පාවිච්චි කරන්න ඕනේ මේකට.

මේ ගමන වෙනස් කරන හැරවුමක් ගන්න ඕනේ. රට යන්නේ අපාය පාරේ නම් ඒ පාරේ වතුර ටැප් දාලා, ගස්වවලා, පාර කාපට් කළාට වැඩක් නෑ. යෝජනා ඉදිරිපත් කර කර ගොඩක් අය එතුමාට බල කරන්න පුළුවන් ‘මේ පාරේ යමු, පාර හොඳයි’ කියලා. නමුත් එතුමාට අපි කියන්න ඕනේ පාර වැරදියි කියලා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙන්න තමයි හොඳ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ.

රාවය : එක පැත්තකින් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදාගෙන අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවට පිටතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන එක බැලූ බැල්මටම ප්‍රජාතන්ත්‍ර විරෝධියි නේද?

අභයතිස්ස හිමි: අපි මහා ජාතිය හැටියට මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කාටත් සාධාරණය ඉටුවිය යුතුයි කියන තැන අපි ඉන්නවා. නමුත් අන්තවාදීන් නිතරම ඉන්නේ ඔවුන්ගේ ඉලක්කය සාර්ථක කරගන්න. රටේ සාමාන්‍ය ජනතාවට සමඟියෙන් ජීවත්වෙන්න පරිසරය හදන එක මිසක් අන්තවාදීන්ගේ ඉලක්ක සම්පූර්ණ කිරීම නොවෙයි කළ යුත්තේ.

රාවය : මේ යන ගමන කෙළවර වෙන්නේ රට මිලිටරි පාලනයට නතුවීමෙන් කියලා දේශපාලක නිරීක්ෂකයෝ කියන කතාව සැබෑවක් වෙයි නේද එහෙම නම්?

අභයතිස්ස හිමි: හමුදා නිලධාරියා කියලා කියන්නේ යුද්ධයක් අවසන් කළ කෙනෙක්. ඒ නිසා ඔහුට තියනවා දැවැන්ත ආත්ම ශක්තියක් සහ පුහුණුවක්. ඒ පුහුණුව මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න පාවිච්චි කරන්න ඕනේ. අවි පුහුණුව ඇරෙන්න හමුදාවේ අනෙක් සියලු පුහුණුව මේ රටේ ජනතාවටත් දෙන්න ඕනේ. නමුත් මෙතන හමුදා ආණ්ඩුවක් ගේන එකක් නෑ. ගෝඨාභයට ඕනේ රට හදන දැක්ම ඇතුලේ යන පිරිසක් හදන්න මිසක් හමුදා ජුන්ටාවක් හදන්න නෙවෙයි. ඒකට හමුදාව යොදාගන්න එකයි මෙතනදි වෙන්නේ.

රාවය : සිවිල් සේවාවේ ප්‍රමුඛ තනතුරවලට පවා දිගින් දිගටම හමුදාවේ පොලිසියේ නිලධාරින් පත් කරමින් යනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් ලෙසත් හමුදා නිලධාරින් රාශියක් ඉදිරිපත්ව සිටිනවා. ඔබවහන්සේ කියන ආකාරයෙන් හමුදා පුහුණුව ජනතාවටත් දෙන්න ඕනේ කිව්වාම ජනතාවත් මිලිටරිකරණය වෙනවා. අමුතුවෙන් හමුදා පාලනයක් අවශ්‍ය වෙන්නේ නෑ නේද එහෙම වුණාම?

අභයතිස්ස හිමි: රට දියුණු වෙනවා නම්, මේ රටේ මිනිස්සුන්ට යහපතක් වෙනවා නම් හමුදාවේ තියන ‘ඩිසිප්ලින්’ එක සමාජයට ගියාම මොකද වෙන්නේ? හිරගෙවල්වල වැඩ ටික සම්පූර්ණයෙන් අවුල්වෙලා තිබුණා. ඔබ කියන්නේ එතන නිවැරදි කරන්න ක්‍රමානුකූලව නැඟී ඇවිල්ලා රාජ්‍ය නිලධාරියෙක් එතනට යවන්න කියලද? ටැලිෆෝන් එක අධෝ මාර්ගයේ ගහගෙන ගිහිල්ලා දෙන නිලධාරීන්නම් එතන ඉන්නේ, කුඩු ව්‍යාපාරය කරන මධ්‍යස්ථානය හිරගෙදර බවට පත්වෙනවා නම් ඒවාට තවදුරටත් ඉඩ දෙන්න කියලද?

වරාය කියන්නේ අමු දූෂිත ස්ථානයක් කියලා අපි අතීතයේ ඉදලම කතා කරනවා. ඒවා වළක්වන්න එතනට හොඳ ශක්තිමත් හමුදා නිලධාරියෙක් දැමීමේ ඇති වැරැද්ද මොකක්ද? ගුවන් තොටුපල ගත්තත් එහෙමයි. හමුදාවේ ඉන්නෙත් ලංකාවේ පුරවැසියන්මයි. එකම දේ තියෙන්නේ ඔවුන්ට තියනවා නිවැරදිව යමක් කිරීමේ දැක්මක් සහ පුහුණුවක්. එහෙම මිනිස්සු දාලා රට හදන්න ඕනේ. මේවාට විතරක් නෙවෙයි පාසල් පද්ධතියටත් මේක කරන්න ඕනේ.

 රාවය : එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයටත් හමුදා නිලධාරියෙක් දාන්නේ ඇයි?

අභයතිස්ස හිමි: ඔබ දන්නවාද බේත් මාෆියාව කියලා එකක් තියනවා කියලා. ඒත් එක්කම කාර්යක්ෂමතාවය. පහසුකම් තිබුණත් බොහෝ තැන්වල පෞද්ගලික රෝහල්වල ආකාරයෙන් වැඩ කෙරෙන්නේ නෑ. ඒ නිසා මේක අපි වැඩකරන රටක් බවට පත්කරන්න ඕනේ.

රටේ ජනාධිපතිකමට හමුදාකාරයෙක් තෝරාගත්ත ජනතාවකට අනෙක් තනතුරුවලට හමුදා නායකයන් පත් කිරීම ගැටලුවක් වෙන්නේ නෑ. මොකක්ද ඕකේ මිලිටරි කියන්නේ? රට මිලිටරි කරනවා කියන්නේ සතුරානේ. මොකද තුවක්කු තියාගෙන වැඩ කරනවාද? ඒ මිනිස්සු වැඩක් පිළිවෙළට කරන එක විතරයි කරන්නේ.

වැඩක් අපිළිවෙළට කරනවා දකින එකද ඔබලාගේ අපේක්ෂාව? මිනිහා ආවේ කොහෙන්ද කියන එක නෙවෙයිනේ වැදගත් වෙන්නේ. වැඩක් පිළිවෙළට කරනවාද, නැත්ද කියන එකයි. පුද්ගලයාගේ හැකියාව මත මිසක්, ක්‍රියා පටිපාටිය මත මිසක් මේකට වෙනත් අර්ථකථන දෙන්න එපා. ගෝඨාභය පත් කරලා තියෙන්නේ මේ තියන සිස්ටම් එක ඒ විදිහටම ගෙනියන්න නෙවෙයි. සිස්ටම් චේන්ජ් එකකට.

සංවාදය හා සටහන ශ්‍රීලාල් සෙනෙවිරත්න -ravaya.lk

Social Sharing
සාකච්ඡා