මැරයෝ ගහලා දවස් 4යි මොරගහහේන පොලීසිය තවම නිදී

‘පහුගිය සෙනසුරාද (29) මම නාට්‍ය රිහර්සල් ඉවරවෙලා හවස ගෙදර ආවා. මගේ තාත්තා ගෙදර ළඟම කඩයක් කරනවා. එයාට දැන් වයස 84ක්. එයා හින්දම තමයි අපි අවුරුදු 15කට විතර පස්සේ පහුගිය කොරෝනා කාලේ හොරණ කෝරළේ ඉම ගෙදරට ආවේ. ඉතිං රිහර්සල් ඉවරවෙලා ගෙදරට ඇවිත් ටික වේලාවක් ඉන්නකොට කඩේ පැත්තෙන් ලොකු සද්දයක් ආවා. මම එළියට බැහැලා බැලුවා. කඩේ ළඟ තරුණයෝ පිරිසක් මගේ තත්තට ගහන්න හදනවා. සිගරැට් ඉල්ලලා නැහැයි කිව්වා කියලා. මේ කියන දවසේ අල්ලපු ගෙදර ලොකු මඟුල් ගෙයක් තිබුණා. මේ මඟුලට ආපු පිටගම්වල පිරිස් තමයි මෙහෙම හැසිරුණේ. මම එතනට ගිහිං මේ සිද්ධිය ගැන ඇහුවා විතරයි මේ පිරිස වටවෙලා මට හොඳටම ගැහුවා. මම බිම වැටුණා. මම කෑගැහුවා මට ගහන්න එපා කියලා. මගේ වයිෆ් ආවා මාව බේරගන්න. වයිෆ්ටත් හොඳටම ගැහුවා. මගේ මල්ලිටත් හොඳටම ගැහුවා. කොහොම හරි මාව මරන්නම තමයි හැදුවේ. මාව ගේ අස්සට දාලා දොර වැහුවා. මේ මැරයෝ රෑ ආයෙත් දෙවෙනි පාරටත් ඇවිත් මාව මරනවාම කියලා මට තර්ජනය කරා. මගේ වයිෆ් ගිහිං පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. මම ඒ වෙලාවෙම විදුර වික්‍රමනායක ඇමතිතුමාට කතා කළා, මිනිහා කිව්වා පොලිස්පතිට කියන්නම් කියලා. මේ මොනා කිව්වත් තවමත් නීතියේ සරණක් අපිට නෑ. මේ මැරයෝ කොයිවෙලාවේ ඇවිත් මාව මරලා යයිද කියන්න දන්නේ නෑ. මගේ දරුවෝ බිරිඳ ඔවුන් ත්‍රස්ත වෙලා බයෙන් බිරාන්තවෙලා ඉන්නේ මේ උන දේ ගැන..’

Buddhika damayantha

මේ හඬ බුද්ධික දමයන්තගේ. බුද්ධික දමයන්ත කියලා කියන්නේ මේ රටේ ඉන්න ප්‍රකට නාට්‍යකාරයෙක්. බොහෝම අමාරුවෙන් වෙහෙස මහංසියෙන් ලෝ ප්‍රකට නාට්‍ය නිර්මාන සිංහල වේදිකාවට ගේන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. මේ ප්‍රහාරය සිද්ධවෙන්න කළින් ඔහු ගෙදර යන්නේ තමන්ගේ 24 වෙනි නාට්‍යයේ රිහර්සල් අහවර වෙලා. ඔහු කියන විදිහට මාර්තු මාසේ ඒකේ මංගල දර්ශනය තියෙනවා. අද සිංහල සිනමාවේ ටෙලි නාට්‍යයේ දිදුලන තරු බොහෝමයක් බුද්ධික දමයන්තගේ වේදිකාව හරහා රංගනයට ආපු අය. ඒත් දැන් මේරට තුළ සාමාන්‍ය පුරවැසියෙකුට තියා කලාකරුවෙක්ටවත් නිදහසේ ජීවත්වෙන්න බැරිවෙලා තිබෙනවා. මජර දේශපාලනය නිසා උඩ ගිය ප්‍රාදේශීය දේශපාලන එහෙයියෝ මැරයෝ විදිහට වැජබෙන්න අරගෙන. ඔවුන්ට නීතිය අදාළම නෑ. අද පොලීසියත් නීතිය ක්‍රියාත්මක කරන්නේ පක්ෂ පාට බලලා. පොහොට්ටුවට ගෑවුණ කෙනෙක් මේ සහාසිකයෝ අතරේ හිටියොත් පොලීසිය තමන්ගේ ඇස් කන් වසාගෙන නින්දකට වැටෙනවා. දැනගන්න තියෙන විදිහට මේ සහාසික ප්‍රහාරයට මුල්වුණ මැරයෝ අතර බහුතරය පොහොට්ටු ආධාරකරුවන්.

Buddhika damayantha

Buddhika damayantha

මේ ලියුම්කරු මේ ප්‍රහාරය සහ නීතිය ක්‍රියාත්මක නොවීම ගැන අහන්න කෝරළේ ඉම අයත්වෙන මොරගහහේන පොලීසියේ ඕඅයිසී නලීන්ගේ දූරකථනයට (0718591687) ඇමතුවා. මුලින්ම ඔහු කීවේ මෙහෙම ප්‍රහාරයක් ගැන දැනගන්න නැහැ කියලා. පස්සේ මේ මැරයෝ පිටිපස්සේ ප්‍රාදේශීය පොහොට්ටු දේශපාලකයෙක් ඉන්නවා නේදැයි ඇහුවාම ඔහු කීවේ මෙවැනි සිද්ධියක් ගැන යම් ආරංචියක් තියෙනවා හොයලා බලන්නම් කියලා. මේක තමයි අද සරත් වීරසේකරගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ පොලීසියේ තත්ත්වය. අද නීතියේ දෙවඟනගේ පිහිට හම්බවෙන්නේ පොහොට්ටු ප්‍රේමීන්ට ලෝලීන්ට විතරයි.

මේ සිද්ධිය සිදුවුණ ගමන් බුද්ධික දමයන්ත තමන්ගේ ෆේස්බුක් වෝල් එකේ මෙහෙම ලියනවා ‘ (මටත් උබලට දෙන ආරක්ෂාවක් දීපියව්) අති ගරැ ජනාධිපති ගෝටාබය මහත්තයො.. මහිංද අගමැතිතුමෝ.. කෝරලඉම සිල්වර්වැලිවත්තෙ.. ගමට පිටින් ආපු  මැරයො ටිකක් බුද්ධිකයගෙ ගෙවල් වලටම පැනලා වට වෙලා බිම දාගෙන  පහර දෙනවා. තව පොඩිඩෙන් මම මැරෙනවා. එකෙක්, කට අරින්නෙ නෑ.. මගෙ ගෑනිට බිම පෙරලගෙන  පිරිමියෙක් ගහනවා දොරවල් කඩනවා. මාව හංදියෙදි මරනවලු. ඇමතියන්ට සහජන මුදලින් දෙන ආරක්ෂාව මටත් දියවි. මාව කෝරඉම හංදියෙදි,  මරනවා කියුවා. මරන බය අපිටත් දැනෙනවා. අපිටත් ඔයාලට වගේම ලමයි ඉන්නවා.’

මේ රටේ ප්‍රකට කලාකරුවෙක්ට මැරයෝ සලකන්නේ මෙහෙම නම් සාමාන්‍ය මනුස්සයෙක්ට ගමක තියෙන තත්ත්වය මොකද්ද? අද ගමේ චන්ඩියා තමන්ගේ කැසට් එක සද්දෙට දැම්මාම ඒකට විරුද්ධවෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. යුක්තිගරුක මිනිස්සුත් අද මේ අවකල් ක්‍රියා දිහා බලාගෙන ඉන්නේ නාට්‍යක් දිහා බලාගෙන ඉන්නවා වගේ ආතල් එකකින්. සොමියකින්. තමන්ට ඇර වෙන කාට මොනා උනත් අද මිනිස්සුන්ට ගානක් නෑ. මේක ඛේදවාචකයක්. මේ ඛේදවාචකය අස්සේ නැඟිටින්න නම් යුක්තිගරුක මිනිස්සු තමන්ගේ හඬ අවධිකරන්න ඕනෑ.

කොහොමහරි මොරගහහේන පොලීසියට කියන්න තියෙන්නේ අපි මේක දිහා අවධානයෙන් බලන් ඉන්නවා කියන එක විතරයි.

කේ. සංජීව

Social Sharing
නවතම