මීළඟ ටිකට් එක අමරවීරට ඇදෙන ලකුණු?

ජනාධිපතිවරයා විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීමේදී ඔහුට එල්ලවූ ප්‍රධාන චෝදනාව එනම් ආණ්ඩුව විවේචනය කිරීම මෙම ඉවත් කිරීමටත් අදාළ විය හැකි බව දැනගන්නට ඇති අතර, ශ්‍රීලනීපය විසින් දිගටම ආණ්ඩුව විවේචනය කිරීම කියන කාරණයද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව වාර්තා වෙයි.

මහින්ද අමරවීර ශ්‍රීලනීපය නියෝජනය කරමින් ආණ්ඩුවට සම්බන්ධවී සිටින අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර ආදී ශ්‍රීලනීප ප්‍රධානීන් පසුගිය කාලයේදී දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරන ප්‍රකාශ මාධ්‍යට නිකුත් කළේය. මහින්ද අමරවීර අමාත්‍යවරයාද පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් යම් යම් ප්‍රකාශ මාධ්‍යට නිකුත් කළේය. මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙම ඉවත් කිරීම සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දා ශ්‍රීලනීප නායකයා ආණ්ඩුව දැඩිව විවේචනය කළ අතර එම සිදුවීම මෙම නෙරපීමට ආසන්නතම හේතුව විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම ඉවත් කිරීම ප්‍රමාදවීමට දැනට හේතුවී ඇත්තේ කැබිනට් සාමූහිකත්වය අධිකරණය ඉදිරියේ පවා අභියෝගයට ලක් කළ අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු පිරිස අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් නොකර මෙවැනි සුළු විවේචන කළ අය පමණක් ඉවත් කිරීම පොහොට්ටුව තුළම විරෝධයට ලක්වීමය.

Social Sharing
නවතම