ජයග්‍රහණයේ මොහොත යනුම පරාජයේ මොහොතකි!

ජාතික ජන බලවේගය ගෝලීය (වසංගත) ධනවාදයට එරෙහිව විමුක්තිවාදී ව්‍යාපෘතියක් යෝජනා කරන්නේ නැත. පසු ජාතික ප්‍රාග්ධනය හා එහි විවිධ ආධිපත්‍යයන් පිළිබද පැහැදිළි අවබෝධයකින් තොරය. දෘෂ්ටිවාදී අරගලයක ඇති ප්‍රමුඛත්වය අවධාරණය කරන්නේ නැත. න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙලක් ලෙස සමාජවාදය පිළිබද සෘජු ප්‍රකාශනයක් නැත. මේ කිසිවක් මා ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු වන්නේ නැත. පසුගිය දා ලැබුණු ඇරයුම මත එකී සමුළුවට මා සහභාගි වූයේද ඉහත කිසිවක් ගැන කියනු අසන්නට නොවෙයි.

එය එසේම විය. ඒවා නොකියා සිටින්නට ඔවුහු උපරිමයෙන් පරිස්සම් වී සිටියහ. එවැනි අරගලකාරී දේශපාලනයකට අවැසි උද්වේගය වෙනුවෙන් ජන අරගල වාම අක්ෂයක් තිබෙයි. වාමාංශය නාමයෙන් වන සංවාද-විසංවාදය ඇත්තේ එතනය.

එහෙත් ජවිපෙ මූලික ජාතික ජන බලවේගය සතුව මේ මොහොතේ අත්‍යවශ්‍ය දේශපාලනික භූමිකාවක් ඇත. එය නම් ලංකාවේ ජරපත් ප්‍රභූ දේශපාලනය හා එහි අනුග්‍රාහක-සේවාදායක වැඩවසම් ජාලය අභියෝගයට ලක් කිරීමේ අවශ්‍යතාවයයි. වෙනත් අයුරකින් කිවහොත් ජනතාවගේ සැලකිය යුතු බහුතරයකට ප්‍රභූ (ධනේෂ්වර) දේශපාලනය පිළිබඳ ඇති කළකිරීමට එරෙහිව ඉක්මන් ආමන්ත්‍රණයක් ලබා දීමයි. මෙතනදී එය ප්‍රකාශමාන වනු ඇත්තේ මැතිවරණ දේශපාලන අඩවිය තුළයි. ජනතාව තවමත් වෙනසක් පතන්නේ මැතිවරණ ජන මතයන් හරහාය. ජන අරගල වාමාංශය විසින් ජනතාව සංවිධානය කරන්නේ මැතිවරණ මානසිකත්වයෙන් පිටත කලාපය තුළය. එවැනි සීරියස් දේශපාලන අඩවියක පැවැත්ම අත්‍යවශ්‍යම වන බවට විවාදයක් නැත. එහෙත් මැතිවරණ හරහා ආණ්ඩු බලයේ වෙනසක් පිළිබඳව වන ජන මනසට ලංසුවක් තැබීමේ අමුතු වරදක් නැත. ජවිපෙ මූලික ජාතික ජන බලවේගය මෙතනදී තීරණාත්මක විය හැකිය. අවම වශයෙන් වඳ පීදුණු සම්ප්‍රදායික හා නව ප්‍රභූ ධනපති දේශපාලන ස්ථරය බෙලසුන් කර දමමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ සාක්ෂරතාවයකින් යුත් නව පරම්පරාවකට රාජ්‍ය බලය ලබා දීම වැදගත් වනු පෙනෙයි. ජවිපෙ ප්‍රමුඛ ජාජබට මගේ එකගතාවය ඇත්තේ මෙතැනය.

එහෙත් සැබෑ දේශපාලන වියවුල ඇතිවන්නේ එවැනි බලයක් දිනාගත් පසුවය. ධනේෂ්වර යථාර්තවාදයෙන් පිටත අනාගත සාමූහික ප්‍රජාවක් ගැන පරිකල්පනයක් බහුජනතාව අතර ගොඩනැගීමේ බරපතළ දෘෂ්ටිවාදී අරගලය අතහැර දමා රාජ්‍ය බලය පමණක් උරගා බලන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයකට ඉක්මන් පරාජයක් උරුම වනු ඇත. රාජ්‍ය බලය ලබාගැනීමට පෙර රාජ්‍ය බලය අභ්‍යාස කළ යුතු යැයි ග්‍රාම්ස්චි කී අදහස මෙහිදී යළි සිහිපත් කළ හැකිය. ජයග්‍රහණයේ මොහොත යනුම පරාජයේ මොහොතකි. ධනේෂ්වරයේ වත්මන් යුග මොහොත විසින් කියා දීමට නියමිත පාඩම එයයි.

විදර්ශන කන්නංගර

Social Sharing
නවතම