පඩිපාලක සභාව මගින් නියම කොට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති දෛනික මූලික වැටුප වන රුපියල් දහස කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක් දියත් කර තිබේ.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ දෙසැම්බර් 14 වැනි අඟහරුවාදා තලවකැලේ ලිදුල මට්ටකැලේ වතුයායේ කම්කරුන් සිය ගණනක් විරෝධතාවය සදහා එක්ව සිටි බවයි.
වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත් වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස කප්පාදු කිරීමට කටයුතු කරන බවට ඔවුන් එහිදී චෝදනා කළේය.
රුපියල් දහසක දෛනික මුලික වැටුපක් ගෙවීමට නම් එක් කම්කරුවෙක් දිනකට අවම වශයෙන් තේ දළු කිලෝ 20 ක් කැඩිය යුතු බවට වතු කළමනාකරුවන් විසින් කොන්දේසි පනවා ඇති බව පෙන්වා දෙන වතු කම්කරුවන් එහිදී තව දුරටත් පවසා තිබුනේ නොඑසේනම් දිනකට නෙලන තේ දළු ප්‍රමාණය අනුව වැටුප් ගෙවීමට වතු කළමනාකරුවන් විසින් කටයුතු කරන බවයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එක් කම්කරුවකුට දිනකට අවම වශයෙන් තේ දළු කිලෝ 20 ක් කැඩීමට නොහැකි වූවහොත් වතු පාලනාධිකාරිය විසින් ගෙවීම් කරනු ලබන්නේ එක් කිලෝවක් වෙනුවෙන් රුපියල් හතලිහත් පනහත් අතර මුදලක් බවයි.
තේ වගාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට නොලැබීමත්, එහි හිමිකරුවන් විසින් වගාව නියමාකාර ලෙස කළමනාකරණය නොකිරීමත් නිසා දිනකට එක් කම්කරුවෙක්ට තේ දළු කිලෝ 20 ක් කිසිසේත්ම නෙළිය නොහැකි බව උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවෝ වැඩි දුරටත් සදහන් කළහ.
එවැනි පසුබිමක් යටතේත් දිනකට තේ දළු කිලෝ විස්සක් කඩන ලෙස වතු කළමනාකරුවන් තර්ජනය කරන බවත් ඔවුන් අවධාරණය කළේය.
රුපියල් දහස දක්වා ඉහළ දැමු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වතු හාම්පුතුන් විසින් කප්පාදු කරන බවට දිගින් දිගටම වතුකරයෙන් චෝදනා එල්ල වෙමින් පවති.
වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුභ සාධන දිනා ගැනීමට නම් සමාගම් සමඟ පැවති සාමූහික ගිවිසුම යළි අත්සන් කළ යුතු බවට වතු කම්කරුවෝ යළිත් වරක් ඉල්ලා සිටිති.