අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!

කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු කොට තිබේ.

ඒ  නීතිපති දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයත් එකතුවෙනි.

අහ්නාෆ් ජසීම්ට එරෙහිව නඩුව නොවැම්බර් 15 වැනි සදුදා පුත්තලම මහා අධිකරණයේදී විභාග කර තිබේ.

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට තරුණ කවියකු වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසන්නේ සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය චෝදනා ගොනුකර තිබෙන්නේ කුමන්ත්‍රණකාරිව බවයි.

නීතිඥවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ත්‍රස්ත මර්දන කොට්ඨාශය අදාළ වගකිව යුතු පාර්ශ්ව සමග එකතු වී  අධිචෝදනා ගොනු කර  ඇත්තේ  සැකකරු ලෙස  නම් කර  සිටින  අහ්නාෆ්ටවත්, ඔහුගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන තමාටවත්  දැනුම් දීමෙන් තොරව බවයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට මුල සිටම අවශ්‍ය වූයේ අහ්නාෆ් නිරපරාදේ සිරගත කිරීමට බවත්, ඔවුන් ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සිටින බවත් නීතිඥ විල්සන් ජයසේකර  වැඩි දුරටත් පවසයි.

දෙසැම්බර් 15 දාට නියමිත ඊළඟ නඩු  වාරයේදී නඩුව විභාග කෙරෙන දින වකවානු සහ කවියාට ඇප ලබාදීම සම්බන්ධ නීතිපති මතයත් ප්‍රකාශ කෙරෙනු ඇතැයි නීතිඥවරයා පවසයි.

අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.

2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් රඳවාගෙන සිටි  ඔහු  රිමාන්ඩ් කර තිබුණේ අවුරුද්දකටත් වැඩි කලකට පසු අධිකරණයට ගෙන ඒමෙන් පසුවය.

Social Sharing
නවතම