වසන්ත කරන්නාගොඩ ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට?

කොළඹ හා ඒ අවට පදිංචි තරුණයන් ඇතුළු 11 දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉහලම නාවික හමුදා නිලධාරියාට එරෙහිව නඩුවක් පවත්වාගෙන නොයාමට නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක්ව තිබේ.

නීතිපති විසින් දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ තවමත් චුදිතයෙක් බව නීතිඥ සංවිධානයක් අවධාරණය කරයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට නීතිපති ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ ගොනු කළ පෙත්සමක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ 13 වැනිදා කැඳවූ විට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා පැවසුවේ හිටපු නාවික හමුදාපතිට  එරෙහිව ඇති අධි චෝදනා ඉවත් කරගන්නා බවය.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහොමයක් එය වාර්තා කර තිබුනේ හිටපු නාවික හමුදාපති නිදොස් කොට නිදහස් කරන ලද බවකි.

“මාධ්‍ය පවසන ආකාරයට හිටපු නාවික හමුදාපතිවරයා නිදොස් කොට නිදහස් කිරීමක් හෝ ඔහුට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමක් හෝ සිදු වී නැහැ. සිදුව ඇත්තේ නීතිපති ගේ තීරණය අභියාචනාධිකරණය දැනුම් දීමක්, තාමත් ඔහු මේ නඩුවේ චුදිතයෙක්,“ යැයි ජනතා නීතිඥයෝ සංවිධානයේ විධායක සභික අචලා සෙනෙවිරත්න පැවසුවාය.

කරන්නාගොඩගේ අධි චෝදනා ඉවත් කිරීමට නීතිපති ගත් තීරණයට එරෙහිව අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් පෙත්සමක් ගොනු කර ඇති බව පවසන මානව හිමිකම් නීතිඥවරිය, එය ඉදිරි දෙසතිය තුල කැඳවනු ඇතැයි විශ්වාසය පළ කළාය.

යුද්ධය උත්සන්නව පැවති 2008-2009 වසර වල කොළඹ පදිංචි දරුවන් සහ ස්වාමි පුරුෂයන් ඇතුළු පිරිමින් 11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම් ගැනීම සහ අතුරුදන් කිරීම ගැන වසර 13ක විමර්ශනයෙන් අනතුරුව  චෝදනා 667 ක් සාක්ෂිකරුවන් 126 ක් සහ නඩු ලේඛන 64 ක් ඇතිව විත්තිකරුවන්  14 දෙනකුට එරෙහිව අධි චෝදනා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපති විසින් ගොනු කරනු ලැබුණි.

විත්තිකාර නාවිකයෝ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 14 වැනි විත්තිකරුවා වන මෙම නඩුවේ නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කොමදෝරු දසනායක කම්කානම්ලාගේ පියසේන දසනායක, විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී, ප්‍රධාන සුළු නිලධාරි මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ සෙසු විත්තිකරුවෝ වෙති.

කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, ඇන්ටනි කස්තුරි ආරච්චි, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, කනකරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබේ. අදාළ පරීක්ෂණ වලදී හෙළිවුයේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක් කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිඩ් කඳවුරේදී මරා දමා ඇති බවය.

නීතිපති විසින් 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපතිගේ අධි චෝදනා ඉවත් කර ගැනීමට විරෝධය දක්වමින් 13 වැනිදා දහවල් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රජීව් නාගනාදන්ගේ මෑණියන් වන සරෝජා පෙරේරා නාගනාදන් උද්වේගයෙන් යුතුව කියා සිටියේ තම දරුවන්ට සිදුවූ දෙය කුමක්ද කියා හිටපු නාවික හමුදාපතිවරයා දන්නා බවය.

“මේ වගේ වැරදි කරුවන්ව නිදහස් කරන්න එපා. මේ ගොල්ලෝ තමයි අපේ ළමයින්ට මොකද වුනේ කියලා දන්නේ. වැරදිකරුවන් මෙහෙම නිදහස් කරනව නම් මේ රටේ නීතියක් තියෙනවද? කරන්නාගොඩ මුකුත් දන්නේ නැති අහිංසකයෙක් නෙමේ. මොහු තමයි අපේ දරුවන් අල්ලා ගෙන තියා ගත්තේ. අපේ දරුවන් වෙනුවෙන් ජිනීවා නොවේ ඕනෑම තැනකට යන්න අපි ලැහැස්තියි. අපි බය නෑ දිගටම සටන් කරනවා,“ යැයි ඇය ප්‍රකාශ කළාය.

දේශද්‍රෝහී ලේබල්

මාධ්‍ය සාකච්ජාවට එක්වූ ජනතා නීතිඥයෝ සංවිධානයේ විධායක සභික අචලා සෙනෙවිරත්න කියා සිටියේ කෙතරම් තර්ජන ආවද අතුරුදහන් කළවුන්ට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් පුරවැසියෙක් ලෙස වැඩ කරන බවයි.

“අපිට එරෙහිව පෙත්සම් ගහන, අපිට දේශද්‍රෝහී කියන අය රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ“ යැයි සෙනෙවිරත්න නීතිඥවරිය ප්‍රශ්න කර සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්ය.

යුද සමයේත් ඉන් පසුවත් සිදුකෙරුණු සාහසික අපරාධ සම්බන්ධයෙන් රජයේ ආරක්ෂක අංශ වලට නැගෙන චෝදනා විභාග කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් ජාත්‍යන්තරයට දෙන පොරොන්දු සංවිධායකයන්ගේ දැඩි හෙලා දැකීමට ලක්විය.

“මේ කිසිම ආණ්ඩුවක් අතුරුදහන් කළවුන් වෙනුවෙන් විසදුමක් දෙන්නේ නැහැ. මාර්තු සැප්තැම්බර් වලදී ජිනීවා එද්දී තමයි මතක් වෙන්නේ. මේ ආණ්ඩුවෙන් නම් සත පහක විශ්වාසයක් තියන්න බැහැ. එදා 89 දී අතුරුදහන් කළවුන්ට විරුද්ධව අපිත් එක්ක පෙනී හිටපු `ඔස්තාර්` මහින්ද රාජපක්‍ෂ අපි වෙනුවෙන් ජිනීවා ගියා. අපිත් එක්ක පාගමන් ගියා දැන් අගමැති වෙලා ඉද්දී කියන්නේ රණවිරුවන්ට බාධා කරන දේවල් මුකුත් කරන්නේ නැහැ කියලා. ලංකාවේදී එහෙම කියන මිනිස්සු ජිනීවා ගිහින් කියනවා මේ අපරාධ ගැන දේශීය යාන්ත්‍රණයකින් කරන්න. මේ දේශීය යාන්ත්‍රණයෙන් අපි හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ“ යැයි අතුරුදහන් කළවුන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

 

Social Sharing
නවතම