උතුරු – නැගෙනහිර තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය අහිමි කරලා -පා.ම. ශානකියන් රාසමානික්කම්

එක රටක්, එක නීතියක් කියා පැවසුවාට උතුරු – නැගෙනහිරට එය නැති බවත් ඔවුන්ට වෙනස් ආකාරයකින් සලකන බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසයි.

අද උතුරු – නැගෙහිර කමිටු රැස්වීමකට පවා මාධ්‍යවේදියෙකුට, ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටවත් සහභාගී විය නොහැකි බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ මේ සියල්ල සිදු වන්නේ ආණ්ඩුව නියෝජනය කරමින් එහි සිටින දේශපාලන මැති ඇමතිවරුන්ගේ උපදෙස් මත බවය.

ඒ් මැති ඇමතිවරු කමිටු සාකච්ඡාවෙන් පසුව පිටතට පැමිණ විනාඩි කිහිපයක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා යන බවත් නමුත් කමිටුව ඇතුලේ සිදු කිසිවක් මාධ්‍යවේදියාට මෙන්ම වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැනගත නොහැකි බවද ඔහු පවසයි.

මේ සම්බන්ධ තොරතුරු ප්‍රාදේශිය ලේකම්වරයා පැවසුවහොත් ඔහුට සිදු වන්නේ ස්ථාන මාරුවක් ලැබීමට බවත් පෙන්වා දෙන ඔහු අවධාරණය කරන්නේ උතුරු – නැගෙනහිර සත්‍ය  තොරතුරු මාධ්‍ය හරහා ජනතාවට දැන ගැනීමට ඇති අයිතිය අහිමි කරවීමක් බවය.

නිදසුනක් ලෙස මඩකලපුව ප්‍රදේශයේ රැකියා දස ලක්ෂ්‍ය වැඩ සටහන යටතේ රැකියා හිමි වුවන් කවුද කියා තමන් අදටත් නොදන්නා බවත් මේ තොරතුරු ඉල්ලා අදාල තැන් වලට ලිපි යොමු කළද තවමත් කිසිදු පිලිතුරක් ලැබී නොමැති බවත් උතුරු – නැගෙනහිර සත්‍ය තත්ත්වය මෙය බවත් ශානකියන් මහතා කියා සිටියි.

එසේම විවිධ අවස්ථාවල තොරතුරු දැන ගැනීමට තොරතුරු කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා සිටියත් ඒවායේ පිලිතුරු ලැබීමේ ප්‍රමාදයෙන් බොහෝ දේවල් මඟහැරී යන බවත් තමන් මඩකලපුව වැලි ජාවාරම පිලිබඳ තොරතුරු කොමිසමෙන් තොරතුරු ඉල්ලා මාස අටක් පමණ ගත වී ඇති අතර ඔවුන් කියන ආකාරයට කටයුතු කරන විට / ඒ් ක්‍රමවේදය තුල යනවිට මේ වැලි ජාවාරමෙන් සිදු විය හැකි පරිසර හානිය සිදු වි අවසන් බව ඔහු පෙන්වා දෙයි.

ඒ් නිසා ජාත්‍යන්තරය ගැන කථා කිරිමට පෙර ලංකාවේ ඇති දේ හරියට ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ් පනත් / වගන්ති පොත් වලට සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමටත්, සෑම දෙයකටම ලියුම් ලිය ලියා තැපැල් ‌නොකර ඒ්වා නවීන තාක්ෂණය සමඟ බද්ධ කරගෙන සිදු කිරිමේ ක්‍රියාවලියකට යා යුතුව ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) දිනට යෙදී තිබු තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කර තිබු සජිවී සංවාදයකට එක් වෙමිනි.

ශානි

Social Sharing
නවතම