ආණ්ඩුව කයිවාරු ගැහුවට ක්ෂුද්‍ර මුල්‍ය වලට සහනයක් නැහැ – නිරෝෂා ගුරුගේ

රෑ එළි වෙනකොට බඩු මිල ඉහළ ගොස් ඇති බවත් ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින ජනතාව අද රජය විසින් සෑම පැත්තකින්ම සිර කර ඇති බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ නිරෝෂා ගුරුගේ මහත්මිය පවසයි.

මුලු රටම ලොක්ඩවුන් එකක හිටියත් ලංකාවේ මුල්‍ය ආයතන වලට ගෙයින් ගෙට ගොස් මුදල් වාරික එකතු කිරීමට බලපත්‍ර ලැබී තිබෙන බවත් නමුත් මිනිසුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වලට අවසර ලැබුණේ නැති බවද ඇය පවසයි.

කොවිඩ් සහන ගැන ආණ්ඩුව මොන තරම් කයිවාරු ගැහුවත් ක්ෂුද්‍ර මුල්‍ය වලට කිසිදු සහනයක් ලැබී නොමැති බවත් විශේෂයෙන්ම වතු කම්කරු ජනතාව මේ ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලේ සිර කර ඇති බව ඇය පෙන්වා දෙයි.

ලොක්ඩවුන් කාලයේ පොදු ප්‍රවාහන ගමනා ගමනය පමණක් අඩාල වු බවත් පෙන්වා දෙන නිරෝෂා මහත්මිය පවසන්නේ මේ දින වල මුල්‍ය වාරික ගෙන යාමට පැමිණෙන පුද්ගලයින් වාරික මුදලම නැතිනම් තියෙන ගාණක් හෝ ඉල්ලා ගෙන යාමට උත්සහ කරන බවත් නැතිනම් නිවසේ ඉදිරිපස රැඳී සිටින බවය.

විශේෂයෙන්ම මේ දිනවල පොහොර අර්බුදයෙන් හැම වගාවකම ගැටලු මතුව ඇති අතර ණය ගෙවා ගන්න ජනතාවට නොහැකිව සිටින විට ආණ්ඩුව පම්පෝරි පමණක් කියමින් සිටින බව ඇය චෝදනා කරයි.

ආණ්ඩුව රුපියල් 2000 දීපු අය අද  හොයා ගන්න බැරි බවද රජයට මෙවන් වසංගත සමයක ජනතාවට සහන දිය නොහැකි තත්ත්වයක අද සිටින බවත් මීට එරෙහි අරගලයක් ඉදිරියේදි සිදු කළ යුතු බවද ඇය වැඩිදුරටත් කියා සිටියි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වසංගතය පරදවන ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමයේ වසංගතය මැයෙන් පැවති සාකච්ඡාවකදීය. මෙය www.aithiya.lk  හා www.right2lifelanka.org වෙඩ් අඩවි විසින් සංවිධානය කර තිබුණි.

ශානි

Social Sharing
නවතම