ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? – කීර්ති ගොඩිගමුව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙකම 1944 එකම දිනක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා ගනු ලැබීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ක්‍රියාකාරිත්වය පවතින ක්ෂේත්‍ර වන්නේ, මූලික වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික ක්‍රියාකාරිත්වය සහ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට උදව් කිරීම තුළින් රටවල ආර්ථිකය ස්ථාවර කිරීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විශේෂත්වය වන්නේ ඔවුන් විසින් නිර්දේශ කරන කොන්දේසිවලට වලට අනුගත වීම මත පහසුකම සැපයීමයි.

ඉහත කරුණු සඳහා කෙටි සහ මධ්‍ය කාලීන මුල්‍ය පහසුකම සැපයීම, ගෙවුම් ශේෂ අර්බුදවල දී මැදිහත් වීම මෙම ආයතනයේ සේවාවන් වශයෙන් හඳුනාගත හැකිය.

ඔවුන්ගේ කොන්දේසි සංක්ෂිප්තව පහත ලෙස දැක්විය හැකිය.

  1. රාජ්‍ය ණය අඩුකර ගැනීම සඳහා බදු වැඩි කිරීම සහ රජයේ වියදම් අඩු කිරීම

2.මුල්‍ය ස්ථාවරත්වය සඳහා පොලී අනුපාත ඉහළ දැමීම

3.පාඩු ලබන ආයතන වසා දැමීම

4.ව්‍යුහාත්මක ගැලපුම් සිදු කිරීම, ඒ යටතේ පුද්ගලිකකරණය කිරීම, නිදහස් වෙළෙඳ පොළ සංවර්ධනය, නාස්තිය සහ දූෂණය පීටු දැකීම සහ නිලධාරිවාදය බැහැර කිරීම.

මෙම කොන්දේසි පිළිබඳව විවිධ මති මතාන්තර පවතින අතර එයින් එක් ප්‍රධාන මතයක් වන්නේ මෙම කොන්දේසි වල ක්‍රියාකාරිත්වය යටතේ බොහෝ විට දිළිඳු රටවල තත්ත්වය නරක අතට යෑමට ඇති ඉඩකඩ වැඩි බවත්, එසේ සිදු වූ අවස්ථා නිරීක්ෂනය කර ඇති බවත්ය.

එහෙත් බොහෝ දිළිඳු රටවල ආර්ථික තත්ත්වය සහ අර්බුද නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ එම රටවල ඒ ඒ තත්ත්ව පවතින්නේ ඓතිහාසික තත්ත්ව සහ බොහෝ විට ආර්ථික සහ අනිකුත් කළමනා කරන දුර්වලතා නිසා මිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මතම නොවන බවයි.

දිළිඳු රටවල කෙසේ වෙතත් සංවර්ධිත රටවල ආර්ථික ක්‍රියාකාරිත්වය මෙම කොන්දේසිවලට බොහෝ විට අනුකූල බව නිරීක්ෂනය කල හැකිය.

දැනට පවතින බෙදුම් රේඛාව අනුව දිළිඳු (සංවර්ධනය වෙමින් පවතින) හා පොහොසත්  (සංවර්ධිත) රටවල් වශයෙන් සලකනුයේ ආර්ථික මිනුම් දඬුවලට අනුව බව පිලිගැනීමට සිදු වෙයි. අප්‍රිකා මහාද්වීපය කෙතරම් අමු ද්‍රව්‍යවලින් පොහොසත් වුවත්, එහි ආර්ථික තත්ත්වය සාපේක්ෂ වශයෙන් පොහොසත් නොවන බවද පිලිගැනීමට සිදු වෙයි.

එසේ නම් මෙම බෙදුම් රේඛාව තුනීකර ගැනීම සඳහා ඇති ක්‍රියාකාරකම වන්නේ දිළිඳු රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වීමයි. ඒ සඳහා සංවර්ධිත රටවල් අනුගමනය කල ක්‍රියා මාර්ගය විශ්ලේෂණය කොට එම ක්‍රියා මාර්ග අනුගමනය කිරීම මෙම තත්වයන් වෙනස්කර ගැනීමට ඇති කෙටිම සහ පහසුම මාර්ගයයි. කෙටියෙන් සඳහන් කළ හොත් ධනවාදී සංවර්ධනය සඳහා ක්‍රියා කිරීමයි. මක්නිසාදයත් සමාජවාදී සමාජයක් බිහි වීම පවා ධනවාදී සංවර්ධනයකින් තොරව සිදු විය නෙහැකි බව මේ වන විට අවබෝධ වී ඇති නිසා ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි අතර  පළමු වැන්න ලෙස ඇති රාජ්‍ය ණය අඩු කර ගැනීම සඳහා බදු වැඩි කිරීම සලකා බලමු. බදු අය කිරීම ඈත අතීතයේ සිටම පැවති ක්‍රියාකාර කමකි. එහි මූලික හරය වනුයේ යම් ආර්ථික ක්‍රියාවලියකින් උපයන අතිරික්තයෙන් කොටසක් එම ක්‍රියා කාරකම කිරීමට අවස්තාව සලසා දුන් සමාජය පවත්වාගෙන යෑම සඳහා වැය කළ යුතු බවයි. මෙම ක්‍රියාදාමයේ කෙතරම් අක්‍රමිකතා පැවතිය ද එය සමාජයේ පැවැත්ම උදෙසා මුල්ගලක් වශයෙන් සැලකිය හැකිය. එබැවින් එය වඩා විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම පවතින ආණ්ඩුවට පැවරෙන වගකීමකි.

ආර්ථික වශයෙන් දිළිඳු රටවල බදු අය කිරීම අක්‍රමවත් බවත්, බොහෝ විට වක්‍ර බදු ප්‍රතිශතය ඉහළ බවත්,අනිත් අතට පොහොසත් රටවල ඍජු බදු ප්‍රතිශතය ඉහළ බවත්, පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි. ඒක පුද්ගල ආදායම ඉහළ මමට්ටමක පවතින ස්කැන්ඩිනෙවියානු රටවල මෙම ඍජු බදු ප්‍රතිශතය 50%ක් තරම් ඉහළ බව දක්නට ඇත. එම රටවල පවතින වාතාවරනය සලකා බැලීමේ දී පෙනී යන්නේ එම බදු යාන්ත්‍රනය එනම් අය කිරීමේ සහ වියදම් කිරීමේ ක්‍රමවේදය විද්‍යාත්මකව හා ඉතා ප්‍රශස්ත ආකාරයෙන් ක්‍රියාත්මක වන බවයි.

මෙහි දෙවන කොටස වන රජයේ වියදම් අඩු කිරීම යන කාරණය දිළිඳු රටවල පවතින තත්ත්වය අනුව මත බේදයට තුඩු දෙන කාරණයකි. මේ යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හෝ පහසුකම් කප්පාදු කිරීම වැනි පියවර වෙනුවට සුදු අලි ව්‍යාපෘති නතර කිරීමටත්, නාස්තිය හා දූෂණය අවම කිරීමටත්, පවතින රජයයන් අපොහොසත් වීම මෙබඳු ගැටළු මතු වීමේ හේතුව යි.. මෙම කාරණය පිළිබඳව විද්‍යාත්මක සහ ප්‍රයෝගික ක්‍රමවේදයක් වෙනුවට දේශපාලන වූවමනාවන් මත ක්‍රිය කිරීමේ අවශ්‍යතාවයෙන් මිදීමට ඇති නොහැකියාව නිසා දිළිඳු රටවල ආණ්ඩු වලට රජයේ වියදම් අවම කිරීමට ඇත්තේ නොකැමැත්තකි.

ශ්‍රී ලංකාව සඳහා 2016දී ජා.මූ.අ විසින් අනුමත කරන ලද ඇ.ඩො බිලියන  1.5 වූ මුල්‍ය පහසුකම් වල අවසාන කොටස වූ ඇ.ඩො.මි 290 ක් 2020 දී එම අරමුදල විසින් අත්හිටුවනු ලැබීය. ඒ සඳහා පාදක වූයේ පවතින රජය විසින් බදු සංශෝධනයක් සිදු කිරීමයි. එම සංශෝධනය යටතේ බදු ආදායම පැවති ප්‍රමානයෙන් 1/3 කින් අඩුකර ගැනීමට රජයට සිදු විය. මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට පටහැනි බැවින් ඔවුන් එම මුල්‍ය පහසුකමේ අවසාන කොටස කපා හරියේ ය.

2020 මැද භාගයේ දී මහ බැංකුව විසින් රුපියල් ආර්ථිකයට එන්නත් කිරීමත් පොලී අනුපාත පහත හෙලීමත් හරහා කොවිඩ් අගුලු දැමීම් නිසා හිරවී තිබූ ආර්ථිකයට නව ජීවයක් සපයන ලදී.

පොලී අනුපාත අඩු කිරීම පිලිබඳ විවිධ මතිමතාන්තර පැවතිය ද එය ජා.මූ.අ හි කොන්දේසි සමඟ නොගැළපෙන බව නම් පැහැදිලිය.

පාඩු ලබන ආයතන නඩත්තු කිරීම පිලිබඳව ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා ඉහළ වර්තාවකි. රජයට අයත් බැංකු කිහිපය හැර අනෙකුත් සියලු ආයතන පාඩු ලබමින් ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලි කාරනයකි. මෙම පාඩු අවසාන වශයෙන් මහා භාණ්ඩාගාරය වෙත යෝමු කෙරෙන අතර මහජන මුදලින් එම පාඩු ප්‍රති පූර්ණය කිරීම සිදු කරනු ලබයි. මෙම පාඩු ලබන ආයතන පවත්වා ගෙන යෑම සඳහා රාජ්‍ය බැංකුවලින් ණය සැපයෙන අතර පොලී මුදල් වලින් බැංකු විශාල ආදායමක් ලබයි. මෙලෙසින් පාඩු ලබන ආයතන පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය බැංකුවලින් ලැබෙන්නේ නොමඳ සහායකි.

මෙම ප්‍රතිපත්තිය ද ජා.මූ.අ ප්‍රතිපත්තිවලට විරුද්ධ වූවකි. වසා දැමීමට විකල්ප ලෙස පාඩු ලබන ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමට යෝජනා වුවද ඒ සඳහා ද උනන්දුවක් පවතින ආණ්ඩුවට නොමැති බව පැහැදිලි කරුණකි.

ව්‍යුහාත්මක ගැලපුම් යටතේ යෝජනා වන්නේ පුද්ගලික කරණය, එකාධිකර ලිහිල් කර නිදහස් වෙළෙඳ පොළ සංවර්ධනය, නාස්තිය සහ දූෂණය පීටු දැකීම ආදියයි.

පුද්ගලීකරණය යන්න කරලියට එන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන එයින් මුදවා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස වුවද ඒ ඔස්සේ ඉදිරියට ගමන් කිරීමෙන් අදාළ ක්ෂේත්‍ර ඉතා ඉහළ තලයකට ඔසවා තැබූ අවස්තා කොතෙකුත් දැකගත හැකිය.

පුද්ගලිකකරණය යටතේ සිදුවන්නේ රාජ්‍ය ප්‍රාග්ධනය පුද්ගලික ප්‍රාග්ධනයෙන් විස්ථාපනය වීමයි. ඒ සඳහා රාජ්‍ය ආයතන හා රාජ්‍ය දේපොළ ද අයත් වෙයි . ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද ඇතුළුව ලෝකය පිළිගත් පුද්ගලිකකරණ ක්‍රමවේදය ඉතා සංකීර්ණ වූවකි. එය එසේ වන්නේ රජය සතු ආයතන සහ වත්කම් සියල්ල පුද්ගලීකරණය කළ නොහැකි බැවිනි. තවද එම විකුනුම් මුදල නිර්ණය කිරීමද භාරදූර කාර්යයකි.

එබැවින් ඒ සඳහා ආයතන බෙදීම්, ප්‍රති ව්‍යුහගත කිරීම්, තරඟකාරීත්වය සඳහා විවෘත කිරීම්, සහ එසේ තරඟ කාරීත්වය සඳහා විවෘත කල නොහැකි කොටස් නියාමනයට යටත් කිරීම්, ආදිය සිදු කළ යුතුය.

මෙ සඳහා රජයක කැපවීම අත්‍යවශ්‍ය වන අතර එය සිදු කළ යුත්තේ ඉතා විවෘත ලෙස සහ එහි කොටස් කරුවන්ගේ එකඟතාවය මතය. මෙහි දී රටේ ජනතාව මෙහි කොටස්කරුවන් බැවින් භාෂණයේ නිදහස, තෙරතුරු දැනගැනීමෙ නිදහස, මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය, ස්ථාවර ප්‍රතිපත්ති ආදියෙහි දීර්ඝ කාලීන පැවැත්ම අත්‍යවශ්‍ය බව අවධාරනය කෙරෙයි.

පවතින රජය පුද්ගලික කරණය සඳහා යම් යම් උත්සාහයන් ගත්තද ඒ කිසිවක් මේ දක්වා එතරම් සාර්ථක වී නැත. එයට හේතු වශයෙන් දැක්විය හැක්කේ ඔවුනට ජන වරම ලැබී ඇත්තේ අතිශය ජාතිකවාදී වැඩ පිළිවෙළක් සඳහා ඔවුන් ඉදිරිපත් කර තිබූ ඡන්ද ප්‍රකාශනයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වීමයි. ඊට අමතර වශයෙන් ඔවුන් මැතිවරණය වෙනුවෙන් කුලුගන්වනු ලැබූ ඇමරිකන් හා බටහිර විරෝධී සටන් පාඨ හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට අනුකූලතාවයක් දැක්වීම පවා රජයට පවතින ජනතා විශ්වාසය තව දුරටත් පළුදු වීමට හේතු වන බැවින් එවැනි පියවරක් ගැනීමට රජය පසුබට වීම යි.

පවතින තත්ත්වය යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් මුල්‍ය පහසුකම් ලබා ගැනීම රජයට අසීරු කරුනක් බව ඉහත කරුණු විශ්ලේෂණය කිරීමේ දී අවබෝධ කරගත හැකිය.

රජය මේ සම්බන්ධයෙන් වඩාත් හොඳ අවබෝධයකින් සිටින බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් මුල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති ශක්‍යතාවය අඩු බව අවබෝධ කර ගෙන ඇත.

ඒ අනුව දැනට අවසන් තෝරා ගැනීම ලෙස චීනය මතම බලාපොරොත්තු තබා කටයුතු කළ ද නව මුදල් ඇමතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසු මෙම තත්ත්වය වෙනස්වීමට ඇති ඉඩ කඩ ද බැහැර කළ නොහැකි ය.

කීර්ති ගොඩිගමුව

Social Sharing

Related posts