කාබනික ගොවිතැන ගැන ගොවීන්ගේ දැනුම අඩුයි – නවතම සමීක්ෂණයකින් හෙළි වේ.

රසායනික ද්‍රව්‍යවලින් තොර කෘෂිකර්මාන්තයට මාරු වීමට අවශ්‍ය දැනුම පිළිබඳ විශ්වාසය ශ්‍රී ලාංකික ගොවීන් අතර  ඉතා අඩු මට්ටමක පවතින බව අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ තම සමීක්ෂණයට භාජනය වු ගොවීන් අතරින්  සුදුසු කාබනික පොහොර සහ එය භෝගවලට යොදන නිවැරදි ආකාරය පිළිබඳ දැනුම ඇතැයි ප්‍රකාශ කළේ ගොවීන්ගෙන් 20%ක් පමක් බවය.

ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය තහනම් කරන බව  2021 අප්‍රේල් මස 22 වැනි දින, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

එම ප්‍රතිපත්තිය හා ඉන් අපේක්ෂිත බලපෑම පිළිබඳ ගොවියන්ගේ අදහස විමසීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය විසින් දුරකථනය ඔස්සේ “ෆාමර්ස් පල්ස්  – Farmers’ Pulse” නම් සමීක්ෂණය පවත්වා තිබේ.

සංඛ්‍යාලේඛනාත්මකව දීපව්‍යාප්ත ප්‍රතිඵල නියෝජනය කරමින් මෙම ප්‍රතිපත්තිය පිළිබඳ ගොවියන්ගේ අදහස් ඉදිරිපත් කෙරෙන ප්‍රථම අවස්ථාවද මෙය බව වෙරිටේ රිසර්ච් ආයතනය  සදහන් කරයි.

කැපී පෙනෙන ප්‍රධාන කරුණු

සමීක්ෂණයට සහභාගි වූ ගොවීන් අතරින් 90%  ට වඩා වැඩි දෙනෙක් දැනට රසායනික පොහොර භාවිතා කරන බව සදහන් කර තිබේ.

රසායනික පොහොර භාවිතා කිරීමට නොහැකි වුවහොත් ඉන් වැඩි පිරිසක් (85%) තම ඵලදාවේ විශාල අඩු වීමක් බලාපොරොත්තු වෙති . (අපේක්ෂිත අඩු වීමේ සාමාන්‍යය 47%කි).

ශ්‍රී ලංකාව රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව කෙරෙන ගොවිතැනට මාරු කිරීම සඳහා රජයට ඇති දැක්මට සහය දක්වන බව ගොවියන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් පවසා ඇත.

එහෙත්, එසේ සහය පළ කළ ගොවීන්ගෙන් 80% ට ආසන්න සංඛ්‍යාවක් එම පරිවර්තනය සඳහා වසරකට වඩා වැඩි කාලයක් ගත වනු ඇතැයි  වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ලැබූ මූලික අවබෝධයන්

වැඩිම රසායනික පොහොර භාවිතය වාර්තා වී ඇත්තේ   වී ගොවීන් ඇසුරින් වන අතර, එම ගොවීන්ගේ ප්‍රතිශතය 94% කී.

දෙවනුවට වැඩිම රසායනික පොහොර භාවිතය වාර්තා වී ඇත්තේ  තේ හා රබර් වගා කරන්නන්ගෙනි. එම ප්‍රතිශතය 89% කි.

වෙරිටේ රිසර්ච් ආයතනය  වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රසායනික ද්‍රව්‍යවලින් තොර කෘෂිකර්මාන්තයට මාරු වීමට අවශ්‍ය දැනුම පිළිබඳ විශ්වාසය ඉතා අඩු මට්ටමක පවතින බවය.

“සුදුසු කාබනික පොහොර සහ එය භෝගවලට යොදන නිවැරදි ආකාරය පිළිබඳ දැනුම ඇතැයි ප්‍රකාශ කළේ ගොවීන්ගෙන් 20%ක් පමණි.”

වෙරිටේ රිසර්ච් ආයතනය  පවසන පරිදි ගොවි ජනතාව රජය වෙත   ප්‍රධාන ඉල්ලීම් 3  යොමු කරයි.

(1) කාබනික පොහොර පිළිබඳ අවවාද හා උපදෙස් ලබා දීම

(2) ක්‍රමයෙන් ඒ වෙතට මාරු වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීම සහ

(3) ප්‍රමිතිගත කරන ලද කාබනික විකල්ප සැපයුමයි.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ විශේෂිත සමීක්ෂණ ආයතනයක් වන වැන්ගාඩ් සර්වේ ආයතනය හරහා, ගොවීන් 1,042 ක් සම්බන්ධ කර ගනිමින්, 2021 ජූලි මාසයේ දුරකථනය ඔස්සේ මෙම සමීක්ෂණය පවත්වා ඇත. “වාණිජමය වශයෙන් භෝග වගා කරන ගොවීන්ගෙන් සමීක්ෂණ නියැදිය සමන්විත වූ අතර එය පළාත් 9 හරහා සමව බෙදී ගොස් තිබිණ.”

තවද, අක්කර භාගයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වගා කරන සහ වසර 3ට වඩා ගොවිතැනෙහි නියැලී සිටින ගොවීන් පමණක් සමීක්ෂණය සඳහා තෝරා ගෙන තිබේ. වී, පළතුරු, එළවළු, පොල්, තේ, සුළු අපනයන බෝග (කුළුබඩු) සහ ධාන්‍ය වර්ග වගා කරන ගොවීන් අතර මෙම සමීක්ෂණය සිදු කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය වැඩි දුරටත් සදහන් කරයි.

 

 

Social Sharing
නවතම