වෘත්තීය සමිති වලට යකා නටන්න එපා යැයි උපදෙස් දෙන GMOA නටන්නේ මොන නාඩගමද? –  දුලාන් දසනායක

අතීතයේ සෞඛ්‍ය කෙසේ වෙතත්, රටේ ඕනෑම ප්‍රශ්නයකදී මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ගිනිකෙළි සංදර්ශන පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක් වරම නින්දෙන් ඇහරෙමින් ගිනිකෙළි සෙල්ලමක් ආරම්භ කර ඇත. නමුත් ඒ ආණ්ඩුවට එරෙහිව නොව වෘත්තීය සමති වලට එරෙහිවය.

ඕනෑම මාධ්‍ය සාකච්ඡාවකදී එය පවත්වන අය ආණ්ඩුවෙන් ගේම ඉල්ලන්නේ නම් එය පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය. අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවන් තුළදී වසංගතයේ ඔඩු දිවීම පිළිබදව ආණ්ඩුවට එල්ල කරන ලද විරෝධය පැහැදිලිව දැකිය හැක. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවසානයට පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් වුවද වඩා ඉස්මතු වන්නේ වෘත්තීය සමිති වලට එරෙහි ප්‍රහාරයයි. ආණ්ඩුව විවේචනය කලද ආණ්ඩුවට අවශ්‍ය ප්‍රකාශයක් දැඩි ලෙස ප්‍රකාශ කරමින් ආණ්ඩුවේ හිත දිනා ගැනීමටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය බව පෙනෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිය සාමාජිකත්වයේත් සමාජයේත් වලංගු භාවයක් ලැබීමට නම් කොවිඩ් මර්දනය සම්බන්ධ රජයේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කල යුතුය. නමුත් ආණ්ඩුව තරහ කර ගැනීම කල යුතු නොවේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම හැසිරුනේ මේ ආකාරයටය. කොවිඩ් ව්‍යසනය වෙනත් රජයක් පැවතියකදී පැතුරුණිනම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැසිරෙන අයුරු සාමාන්‍ය බුද්ධියක් ඇති අයකුට වටහා ගත හැකි වනු ඇත.

නිදහස් අධ්‍යාපනයේ මුර දේවතාවන් මෙන් පසුගිය කාලයේ පෙනී සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත මගින් අධ්‍යාපනය වෙළදපලකරණය කරනවා පමණක් නොව දරුණු මිලිටරිකරණයකටද පත් කිරීම පෙනෙන්නේ ඉතා අඩුවෙනි. ඒ සදහා ඔවුන් සිදු කරන්නේ සිය සාමාජිකත්වය ෂේප් කර ගැනීමට හා සමාජ වලංගුතාවය තබා ගැනීමට මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පමණකි. ඕනවට වඩා සංදර්ශන පැවැත්වීමට ගියහොත් ආණ්ඩුවේ විශේෂයෙන් එකී සංගමයේ සභාපති දෙකට තුනට නැවෙමින් ආචාර කරන ජනාධිපතිවරයාගේ උදහසට ලක් විය හැක.

කොවිඩ් සම්බන්ධ ක්‍රියාවලිය තුළදීද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරීත්වයද මෙයට සමානය. කිසිදු වැඩසටහනක් නැති සැලැස්මක් නැති රජයේ ක්‍රියාමාර්ගයන් පිළිබද ඔවුන්ගේ විවේචනයන් ඇසෙන නෑසෙන තරමෙන් කිරීමට ඔවුන් බොහෝ සෙයින් ප්‍රවේසම් විය. වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී ඇතුළු සෞඛය නිලධාරීන්ට එරෙහිව නම් මහ හඩින් ගිගුම් දෙන්නට ඔවුන් පසුබට නොවීය.

ධම්මික පැණිය ගැන විමසූ විට ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවකදී දුන් පිළිතුර දියාරු ලැජ්ජා නැති එකකි. වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත් හා භාවිතා කල බටහිර වෛද්‍ය විද්‍යාවටද ලැජ්ජාවකි ඔවුන්ගේ පිළිතුර. මේ පැණි සෙල්ලම ආණ්ඩුවේ ගේමක් බව හොදින්ම දන්නා ඔවුන් ආණ්ඩුවට නොරිදෙන්න ආයුර්වේදයේත් ඇති මොනවහරි දෙයක් වැනි විලි ලැජ්ජා නැති උත්තර දුන්නේය. සුප්‍රසිද්ධ හොර වෙදෙකු වූ ඒලියන්ත වයිට්ගේ මෙහෙයවීමෙන් ගංගා වලට මුට්ටි දැමූ සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු ඇමති නඩය විවේචනය කිරීමට ඔවුන්ට නොහැකි විය. සයිටම් විරෝධි සටන අවස්ථාවේ ලංකාවේ විසූ හේතුවාදියකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාව කර උඩ තියාගෙන සිටි මේ සංගමයට  විද්‍යාත්මක පදනමක පිහිටාවත් ආණ්ඩුවේ මේ අඥාන සෙල්ලම් විවේචනය කිරීමට නොහැකි විය.

රටම අගුලු දමා ජනතාවද කැප කිරීම් කර කොරෝනා රෝගීන් අවම කරගෙන සිටියදී බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වුනු ආකාරය පිළිබඳව සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍යතාවයක් නැත. මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් හිටපු නීතිපතිවරයාද පොලීසියෙන් ඉල්ලා සිටි නමුත් ඒවා පිළිබද හඩ නැගීමට ගොස් ආණ්ඩුව තරහ කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් නැත. යුක්රේනයේ සංචාරකයන් ගෙන්වමින් සිදු කරන ලද අඥාන අත්හදා බැලීම් ගැන මොවුන් නිහඩය. ඩෙල්ටා ප්‍රභේදය ඉස්මතු වෙද්දී ක්ෂණික තිරණයක් ගෙන කටයුතු කිරීමට නොහැකි වූ ආණ්ඩුව ගැන කතා කිරීම සිය සාමාජිකත්වය බේරා ගැනීමට පමණක් ලාවට සිදු කිරීම ප්‍රමාණවත්ය. ලොකු ලොකු සද්ද දාන්නේ ඇයි? සෞඛ්‍ය ප්‍රශ්නයක් වූ කොවිඩ් 19, රොගය මැඩලීම සදහා වූ කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වය හමුදාපතිට ලබා දීම පිළිබද ඔවුන්ට ප්‍රශ්නයක් නැත. පවතින නීතිය අනුව බලපෑම් සහගතම නිලධාරියා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා වුවත් ඒ බලතල අනියමින් පැහැර ගැනීම ගැන වගේ වගක් මේ සංගමයට නැත.

එනමුත් තමන්ට අයිති නැති විෂය ක්ෂේත්‍රයන්හිද මහා දැනුමැත්තන් ලෙස පෙනී සිටිමින් දොස්තර රස්සාවට තවමත් නොමේරූ වැඩවසම් යදම් වලින් පිරුණු ලංකා සමාජයේ ඇති තත්වය පාවිච්චි කරමින් ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති පිළිබදව අගය කරමින් සංදර්ශන පැවැත්වීමට නම් මේ සංගමය පසුබට නොවේ. ආන්ඩුව නින්දෙන් ඇහැරුණාක් මෙන් රසායනික පොහොර තහනම් කරද්දී කාබනික පොහොර ගැන ප්‍රශස්ති කියමින් ජනාධීපතිතුමාට පිං අයිති වන හැටි විස්තර කරමින් ගොවියන් විනාශ කරවන ඒ ප්‍රතිපත්තිය අගය කරමින් කොළඹ වාටියේ ජීවත්වන අළුත් සුළු ධනේශ්වර මැද පන්තියට ආණ්ඩුව වෙනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එය ඔවුන්ට පැවැරුණු කොන්ත්‍රාත්තුවක් දැයි අප නොදනිමු. මේ රසායනික පෙහොර ප්‍රශ්නයේදී රට පිළිගත් කෘෂි ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් පොහොර සමාගම්හි ඒජන්තයන් යැයි කියමින් ඉතාම පහත් පෙළේ අපහාසයන් කරන්නේ මේ සංගමයේ සභාපති පාදෙණිය මහතායි. ඔහුට කණ කිස් කන පිළිතුරක් කෘෂි ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් අතිවිශාල පිරිසකගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කරමින් ලබා දී තිබුණි. බාල පොල් තෙල් ආනයනය කරමින් ආණ්ඩුව අමාරුවේ වැටෙන විට ආණ්ඩුව වෙනුවෙන් ගෙදරදීම පොල් තෙල් හදා ගන්නා හැටි ජනතාවට කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.

මේ ආකාරයේ නානාවිධ නාඩගම් නටමින් සිටිනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ද වෘත්තීය සමිතියක් බව අමතක කරමින් රට විවෘත කල පසු වෘත්තීය සමිති  වලට යකා නටන්න එපා යැයි ඔවදන් දෙයි. වෘත්තීය සමිතියක් තවත් වෘත්තීය සමිතියක වෘත්තීය අරගලයන් ආණ්ඩුවක් වෙනුවෙන් සමාජයේ ගර්හාවට ලක් කරයි නම් එවන්නන් විලි ලැජ්ජා නැති මිනිසුන්ය. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාධරයන් නොව ලැජ්ජා නැති ආණ්ඩුවේ කටු ලෙවකන්නන්ය. මොවුන් මේ ප්‍රකාශය සිදු කරන්නේ ආණ්ඩුව සලිත කිරීමට සමත් වෘත්තීය අරගලයක් දියත් කල ගුරු විදුහල්පති සංගම්වලට බව කවුරුත් දන්නා කරුණකි. ඒ ආණ්ඩුවේ අවශ්‍යතාවයයි. ආණ්ඩුව මේ දක්වා දිගටම උත්සහ කලේ ගුරු සටන මගින් කොරෝනා පැතුරුණු බව කියන්නටය. ආණ්ඩුවේ බොරුව කීමට කිසිදු අයෙක් ඉදිරිපත් නොවූ පසුබිමක ඒ සදහා රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය ඉදිරිපත් වී තිබේ. වෛද්‍යවරයකුට මේ තරම් පහතට වැටිය හැකිද? මෙය නම් සමස්ත වෛද්‍ය වෘත්තියටම කරන ලද නිගාවකි.

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ මර්දනය කිරීමට නිරෝධායන නීතිය කිසිදු පදනමකින් රෙව යොදා ගැනීම ගැන විරෝධතාකරුවන් බලහත්කාරයෙන් නිරෝධායනය සදහා රැගෙන යෑම් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විවේචනයක් නැත. ඒ සියල්ල සිදු වන්නේ ඔවුන් ගොඩ නැගූ ආණ්ඩුව වෙනුවෙන්ය. සයිටම් අරගලයේදී තමන්ගේ සටන් සගයන් වූ ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ, ඇතුළු කණ්ඩායම්ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයද, ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයද මර්ධනයට ලක් කිරීම ගැන ඒ සදහා නිරෝධායන නීතිය අවිද්‍යාත්මකව යොදා ගැනීම ගැන මේ අවස්ථාවාදී වෘත්තීය සමිතියේ කට හෙල්ලෙන්නේ නැත. සයිටම් සටන ජයග්‍රහණය කරමින් තම වෘත්තීය අවස්ථාවාදය තවදුරටත් පවත්වා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ සමිති අවශ්‍යය. මේ මිනිස්සු අවශ්‍යය.  දැන් ඔවුන් පාරේ යකා නටන්නන්ය. සයිටම් අරගලයට මේ සමිති සම්බන්ධ වූයේ අවංකවම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සදහා සම්බන්ධ වූයේ සිය වෘත්තීය අවස්ථාවාදය පවත්වා ගැනීම වෙනුවෙන් බව දැන් හොදින්ම පැහැදිලිය. අතුරු වෛද්‍ය සේවාවන්ගේ උසස් අධ්‍යාපනය පුළුල් කල සම සෞඛ්‍ය උපාධියට එල්ල වූ ඔවුන්ගේ විරෝධයට වඩා වැඩි යමක් එහි තිබී නැත.

වෘත්තීය සමිති වලට යකා නටන්න එපා යැයි කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් වෛද්‍යවරුන්ගේ ඥාතීන්ට කිසිදු පරිපාලනමය අවසරයකින් තොරව එ් වන විට අතිශයින් සීමිතව පැවැති ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීමට බලහත්කාරයෙන් කටයුතු කරමින් නැටුවේ යක්ෂ නැටුමක්ද නොඑසේ නම් වෙන කුමක්ද යැයි ඔවුන්ගෙන් නැවත ප්‍රශ්න කල යුතුය.

මේ අවස්ථාවාදයට නම් තවදුරටත් ඉඩදිය යුතු නැත. එමෙන්ම ගරු කටයුතු අධීන වෛද්‍ය වෘත්තිකයන්ද අපහාසයට ලක් කරනා මේ නිවටභාවයටද තවදුරටත් ඉඩ දිය යුතු නැත. අපගේ වෛද්‍ය මිතුරන් කියන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවස්ථාවාදී ක්‍රියාවන්ට වෛද්‍යවරුන්ද ගොදුරු වෙයි. ඔවුන් අභ්‍යාස කරමින් සිටිනනේ එවන් බලයකි. තමන්ගේ පෙර සටන් සගයන් බලහත්කාරයෙන් නිරෝධායනය කරා අවිද්‍යාත්මකව රැගෙන යද්දී ඒ පිළිබද වචනයකුදු නෙදොඩා සිට සිය ආණ්ඩුවේ යටි පතුල් සැනසීම වෙනුවෙන් එකී සටන් සගයන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමට තරම් පහළට වැටෙන්නේ නම් එය මොන තරම් නිවටභාවයක්ද? මොන තරම් ආත්මාර්ථකාමී අවස්ථාවාදයක්ද? මේ අවස්ථාවාදයට හා නිවටභාවයට තිත තැබිය හැක්කේද වෛද්‍යවරුන්ටමය.

දුලාන් දසනායක

Social Sharing
නවතම