ආණ්ඩුවේ ගජ මිතුරු සැලකීමේ උත්සහය නැවතත් – පා.ම. මනුෂ නානායක්කාර

කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක්  සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දෙන්නේ කාගේ අවශ්‍යතාවය අනුවදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා විමසා සිටියි.

කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය  කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගකට අවසර ලබාදීමට සූදානම් වන්නේ ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමේ උත්සහයක් වශයෙන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී  ඔහු මේ බව ප්‍රශ්ණ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

ජාතික ආරක්ෂාව පෙන්නලා බලයට ඇවිත් මේ වන විට මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නැති වෙලා. මිනිස් ජිවිත නොවටිනාගානට ජීවිත අහිමිවෙමින් තිබෙන විට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය බරපතල අර්බුදයකට ලක්වෙලා.

පොහොර සම්බන්ධයෙන් අත්තනෝමතික තීන්දුවක් ගනිපු නිසාම ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල අර්බුදයක් ඇතිවෙලා. අද වන විට මොනරාගල, අම්පාර, උතුරු මැද පළාතේ බඩ ඉරිඟු  ගොවියා ඊළග කන්නයේ වගා කිරීම ගැන කල්පනා කරනවා. තේ වගාකරුවා තවදුරටත් තේ වගාව පත්වාගෙන යනවාද කියලා හිතනවා. හෙට දවසේදී වී වගාවක කරනවාද කියලා වී ගොවියා නැවත වරක් සිතමින් ඉන්නවා.

ව්‍යාපාර කෘෂිකර්මාන්තය කරන බඩ ඉරිගු ගොවීන්ට බරපතල ගැටලුවක් ඇතිවෙලා. බඩ ඉරිගු කද තමයි සත්ව ආහාර ලෙස යොදාගන්නේ. ලබන අවුරුද්ද වන විට හරක්ට ආහාර ලෙස බඩඉරිගු කදන් නැතිවෙලා කිරි නිෂ්පාදනයටත් බලපෑම් එන්න පුලුවන්. එවිට මේ  රටේ කිරි නිෂ්පාදනයත් පහළ ගිහින් බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙනවා.

වසරකට කෘෂි අපනයනයෙන් ඩොලර් බිලියන දෙකයි දශම පහක ආදායමක් ලැබෙනවා. මේ  ආදායම අහිමි කරගැනිමටද ආණ්ඩුව සූදානම් වෙන්නේ.

ආණ්ඩුව පසුගිය දවසේ පකිස්ථානයෙන් හාල් අරගෙන ආවා. බැර ලෝහ තියෙන නිසා ජනතාව ලෙඩ වෙනවා කියලා රසායනික පොහොර තහනම් කළා. දැන් මේ  විදියට පකිස්ථානයෙන් ගෙනාවේ කාබනික සහල්ද? ඒ සහල්වල බැර ලෝහ නැද්ද? ආණ්ඩුව ජනතාව වකුගඩු රෝගීන් විය හැකි බව කියලා, ජනතාවගේ හදවතට කතා කරලා අද අමාරුවේ  වැටිලා ඉන්නවා.

හෙට අනිද්දා වන විට එළවළු ගොවීන්, එළවලු වගා කරන්නේ නැති වන විට, අඩුවන එළවළු නිෂ්පාදනයේ හිඩැස පුරවාගන්නේ කොහාමද? ඒ එළවළු ටිකත් පිටරටින් අරගෙන එනවාද? පිටරටින් ගේන්නේ කාබනික එළවළුද? ඒ විදියට කාබනික එළවළු ගෙන්වීමට ආණ්ඩුවට මුදල් තියෙනවාද?

ඩොලර් නැතිව තෙල් ණයට ගන්න ආණ්ඩුව, බංගලාදේශයටත් ණය වෙන ආණ්ඩුවට හාල්, එළවළු පිටරටින් අරගෙන එන්න ආණ්ඩුවට ඩොලර් තියෙනවාද? එහෙම වුනොත් බරපතල තත්වයක් මේ රටේ නිර්මාණය වෙන්න පුලුවන්. මේවා  අපිට චීනයෙන් නොමිලේ දේවිද දන්නේ නැහැ. එහෙම වුනොත් අපේ රට පවරාගැනීම හැර වෙන කිසිම දෙයක් කරන එකක් නැහැ.

දැනට ගෙන්වන ආහාර කාබනිකද, රසායනික ද‍්‍රව්‍ය යොදා තිනෙවාද කියලා සොයා නොබලන ආණ්ඩුව දැන් කිඹුල් කදුළු හෙලලා කාබනික වගාවක් ගැන කතා කරන්නේ ඩොලර් සාගතය නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි.

අර සීනි ව්‍යාපාරය වගේ, ඇන්ටිජන් ඒකාධිකාරයක් හැදුව වගේ, හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරලා ගරානාවක් කරගැනීමට අවස්ථාව ලබාදුන්නා වගේ ගොවීන් අමාරුවේ  දාලා  කෘෂි රසායන ගෙන්වීමත් ගජ මිතුරන්ට සලකන ගරානාවක් බවට පත් කිරීමටද සූදානම් වෙන්නේ?

ශානි

 

 

Social Sharing
නවතම