“කෙහෙළිය නම් උඩරට අමුඩය, ඇෆ්ගනිස්ථානය සහ ලංකාව” – කේ. සංජීව

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළේ ගුවන් ගතවීමට ආසන්න ඇමරිකානු හමුදා ගුවන් යානයකට රොතු බුරුතු පිටින් ඇෆ්ගනිස්ථානයෙන් පැන යන්නට දඟලන ඇෆ්ගන් වැසියන් ගොඩවීම අද විදෙස් මාධ්‍යවල ජනප්‍රියම පුවත විය.

එම මාධ්‍ය වාර්තා අතර ඉහළ අහසින් පියාඹා පොළවට පතිතවෙන ඇෆ්ගන් වැසියන් දෙදෙනෙක් ගැන ද අසන්නට දකින්නට ලැබෙයි. මේ සිදුවීම නැරඹූ මම කල්පනා කළේ ඉහළ අහසේ පියාසරන්නට නියමිත ගුවන් යානයක බදේ එල්ලී මේ මිනිසුන් මේ කෙළින පිස්සුව කුමද්ද කියා ය. දුටු පළමු මොහොතේ එය සිතාගන්නටවත් අමාරු සිදුවීමක් වනු ඇත..!. එහෙත් මිනිස්සු මේ මරණයට අභියෝග කරන්නේ ඉස්සරහට එන්නට නියමිත තලෙයිබාන් පාලනයක් ඇතුලේ ජීවත්වෙනවාට වඩා මරණය තෝරාගැනීම වඩා හොඳ බව ඔවුන් සිතන නිසාද? අතීත අන්තගාමී තලෙයිබාන් පාලනය අත්විඳ ඇති මිනිසුන් අනාගතය දකිනවාට සැක නැත.

වර්තමාන තලෙයිබාන් සටන්කරුවන්ද කාබුල් නගරයට ඇතුල් වූවේ නගර බිත්ති සරසමින් තිබුණ ගැහැනු සිනහ මුහුනු වසමින් සුද පිරියම් කරමින් ය. මෙම පාට කිරිල්ලි දකිනවිට එකවරටම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වී සිස්ටම් චේන්ජ් වන්නට පටන්ගත් මුල් කාලය සිහිවිය. ඇත්තටම කටුනායක ගුවන්තොටට ඇමරිකානු ගුවන් යානයක් පැමිණ වීසා අවශ්‍ය නෑ යන්න වරෙල්ලා කිව්වා නම්, කුමක් සිදුවන්නට පුලුවන්ද? මිනිසුන් ගුවන් යානයේ තටුවල එල්ලුනේ නැතිවුණත්, අඩුම කටුනායක සිට කොළඹට මිනිසුන් පෝලිම් ගැසෙනවා නියතය. ඒ කුජීතවී නන්නස්තාර වී සිටින මේ රටින් පැනගන්නටය. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකල ඇමරිකා ගියේත් දිව්‍ය ලෝකය එහි ඇතැයි සිතමින්, මේක අපායක් බව පසක් කරගත් නිසා ය.

මෙලෙස විදෙස් පුවත් අතර සරණවිට එක් වෙබ් අඩවියක් වාර්තා කළේ අද වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තාවී ඇති බවය. එම ගණන 167ක් ය.   දැන් හැම රැයක්ම වැඩිම මරණ ගානේ වාර්තාව අලුත් කරමින් සිටියි. මෙම මරණ සංඛ්‍යාව පසුගිය 15 වැනි දින තහවුරු කරනු ලැබූ මරණ සංඛ්‍යාවයි. මේ අනුව 5 වන දිනටත් මරණ 150ට වඩා වාර්තාවී ඇත. පසුගිය 15 වැනි දින වනවිට රජය තහවුරු කළ සමස්ථ මරණ සංඛ්‍යාව 6263 කි. මේ මරණවලින් බහුතරය අවුරුදු 60ට වැඩි මහළු පුද්ගලයින් ය. තත්ත්වය මෙසේ වනවිට 16 වැනි දිනය තුළ තහවුරු කළ ආසාදිතයන් සංඛ්‍යාව 3466කි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පසුගිය 16 දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය තුළ 34%කින් ආසාදිතයන් වැඩිවී ඇති බවය. එමෙන්ම 60%කින් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බව ඇය කියන්නීය. එහිදී තවත් වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේ රෝහල් ගත ආසාදිතයන්ගෙන් 50%කට ඔක්සිජන් අවශ්‍ය බවය. මේ ප්‍රමානය පසුගිය කාලයේ 20%ත් 30%ත් අතර විය. ආසාදිතයන් 50%කට හෝ ඊට වැඩි ප්‍රමානයකට ඔක්සිජන් අවශ්‍ය වුණත් ඔක්සිජන් ඇත්තේ නැත. පසුගිය කාලයේ අමාත්‍ය චන්න ජයසුමන ඔක්සිජන් නිශ්පාදනය වැඩිකරනවා කියමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවත් අවසානයේ ඔක්සිජන් ද ඉන්දියාවෙන් හෝ මැලේසියාවෙන් ආනයනය කරන්නට සිදුවී ඇත. ඇඳන් රැලිද ඔක්සිජන් රැලිද රෝහල් පහසුකම් වැඩි කිරීමේ රැලි ද එක පිට ආවත් අවසන දැන් ඇවිත් තිබෙන්නේ මිනී පෙට්ටි රැල්ලක් ය. මෙම වෛද්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තවත් විශේඥ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේ තමන් ලෙඩ වුණත් දැන් රෝහලක් හොයාගන්නට වෙන්නේ නැති බවය. මෙම මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදිනියක් ප්‍රශ්න කළේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටි හමුව නොලැබීම පිළිබඳව කනගාටු වන්නේ දැයි කියා ය. එහිදී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණසේකර මහත්මිය ප්‍රකාශ කළේ ඒ පිළිබඳව තමන්ට කනගාටුවක් නැතිබවය. එහෙත් තමන් ජනතාව ගැන කනගාටු වෙන බව ඇය කියන්නීය.

ඇෆ්ගනිස්ථානය සම්පූර්ණයෙන්ම තලේයිබාන්වරුන් අද ඊයේ අල්ලා ගත්තත් ලාංකේය අපි දැන් සෑහෙන්න කාලයක සිට රාජපක්ෂ පවුල් පාලනයට හසුව පීඩාවන් විඳිමින් සිටියි. එයට බහුතර ජනමතයද හේතුවෙයි. හැම අවස්ථාවේදීම බහුතර මතය නිවැරදි නැති බව අද ඔප්පුවී ඇත. වර්තමාන ජනාධිපතිවරයා කිසිඳු විශේෂඥ මතයකට ඇහුන්කම් නොදෙමින් උද්දච්ච ස්වරූපයෙන් හැසිරෙමින් සිටී.  ඩෙල්ටා ව්‍යාප්තියේ උච්චම අවස්ථාව එලබෙන සැප්තැම්බරයේ මැද පමණ බව විශේෂඥ මතය වෙන පසුබිමක මේ උද්දච්ච හැසිරීම ලංකාවට කෙබඳු තත්ත්වයක් උදාකරනු ඇතිද? ඉහත සංඛ්‍යා දත්ත දෙස බැලීමේදී එම ව්‍යසනයේ තරම පිළිබඳව උපකල්පනය, පරිකල්පනය අසීරු නැත. එහෙත් අප තවමත් සංඛ්‍යා දත්ත පිරිස්සමින් පෙරයිම් කරමින් අර්බූදයට විසඳුම් සොයන නවීන මඟක නැත. එය තවදුරටත් පැහැදිලි වන්නේ පුරවැසියා දෙවියාට භාරකළ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලාබාදීමෙන් ය.

ඇෆ්ගනිස්තානයේ වැසියන්ද ආගමික අන්තවාදය ආගමික උමතුව තුළින් තලෙයිබාන් පාලනයකට පාර හදාගෙන ඇත. අපි ද පහුගිය කාලයේ වඳ කොත්තු වඳ යට ඇඳුම් අස්සෙන් දේශමාමකයින්ගේ රාජ්‍යයක් සාදා ගත්තේ ය. දැන් ඒ රාජ්‍ය අබ්ගාත විකුර්තියක් පමණි. දැන් නැවතත් පවිත්‍රා නැමති අමුඩය ගලවා කෙහෙළිය නම් උඩරට අමුඩය අන්ඳවා ඇත. එහෙත් අතීසාරය සනීප නැත. මළ මුත්‍ර දුර්ගන්ඳය හැම තැනමය. ඇෆ්ගනිස්ථානයේ වර්තමාන තලෙයිබාන් අත්පත් කරගැනීම පිටුපසද චීනය සිටින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරමින් සිටියි. අපේ රටේ පවතින මේ අබ්බගාත පාලනට පිටුපසද සිටින්නේ චීනයයි. ඒ අතින්ද අපි සමානය. ඇෆ්ගනිස්ථානයේ වගේ කැරැල්ලක් නොවුණත් අපිටත් දැන් අවශ්‍ය වන්නේ ජනතා කැරල්ලක් ය. ඒ මේ පිස්සන් රංචුව ඇමරිකාවට එළවා දැමීම සඳහා ය.

Social Sharing
නවතම විශේෂාංග