නීතිපති දෙපාර්තමේන්තුව සරසවි බලධාරීයා වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට හේතු දැක්වීම සඳහා සරසවි බලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය නොවැම්බරයේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් යාපනය විශ්ව විද්‍යාලයේ   නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමරවඩිවේල් ගුරුපරන්ට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කර තිබුණි.

යුද හමුදාවේ බලපෑමකින් පනවන ලදුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හෙලා දැකීමට ලක්වූ එම තහංචිය අභියෝගයට ලක් කරමින්  ආචාර්ය ගුරුබරන් විසින් ගොනු කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම මේ මස 16 දා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන, පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම විමසනු ලැබූ අවස්ථාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ යාපනය සරසවිය හෝ වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ යැයි ආචාර්ය ගුරුපරන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමරවඩිවේල් ගුරුපරන්

මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ක්‍රියාධරයකු වන කුමරවඩිවේල් ගුරුපරන්ට තහංචි පනවන ලද්දේ හමුදා බාරයේ සිටියදී 1996 දී අතුරුදහන් වූ තරුණයන්  24 දෙනකු සොයා දෙන ලෙස ඉල්ලමින් හබයාස් කොපුස් පෙත්සමක් ගොනුකළ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමත් සමග එල්ලවූ තර්ජන හා අඩන්තේට්ටම් වලින් පසුවය.

යාපනය මහාධිකරණය හමුවේ ගොනුකර ඇති එම පෙත්සමින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ යුද  හමුදාපති සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානයි.

නීතිය පිළිබඳ ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ට නීතිඥ වෘත්තියේ යෙදීමට ඉඩ දිය යුතු යැයි තමන් මීට ඉහතදී අදහස් පල කොට ඇති බව දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රියන්ත ජයවර්ධන ඉදිරි නඩු විභාගයෙන් ඉවත් වී තිබේ.

Social Sharing
නවතම