නියුරම්බර්ග් උපකල්පනීය නඩු විභාග තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට!

ජර්මනියේ පැවති 14 වැනි නියුරම්බර්ග් උපකල්පනීය නඩු විභාග තරගාවලිය – 2026 (14th Nuremberg Moot Court Competition 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.

ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලොව පුරා රටවල් නියෝජනය කරමින් නීති ශිෂ්‍ය කණ්ඩායම් සහභාගී වූ මෙම තරගාවලිය, දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසි යුද අපරාධකරුවන්ට එරෙහි ඓතිහාසික නියුරම්බර්ග් නඩු විභාග පැවැත්වූ Courtroom 600 හිදී පැවැත්විණි.

අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍ය කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසරේ උපාධි අපේක්ෂකයන් වන ගෙවිඳු පිටිදුව ගමගේ, සමාන් නසාර් සහ සහන්මා මෙත්සරණි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර, බුත්මිණි මොහොට්ටි කණ්ඩායමේ උපදේශකවරියක ලෙස කටයුතු කළාය.

මෙහිදී ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් එක් කරමින් තරගාවලියේ දක්ෂතම කතිකයා ලෙස සමාන් නසාර් තේරී පත්ව තිබේ.

මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලාංකික නීති ශිෂ්‍යයන්ගේ දක්ෂතා සහ හැකියාවන් ඉස්මතු කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

Social Sharing
නවතම පුවත්