
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මාරාන්තික නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම, මෙම ඛේදවාචකය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සඳහා නැවත ආයෝජනය කිරීමේ හදිසි අවශ්‍යතාවය මනාව පෙන්නුම් කරන බව ද ඔහු අවධාරණය කර ඇත.
අඟහරුවාදා (7) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. එම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි කම්පාවට පත්ව ඇති අතර, මියගිය අයගේ පවුල් වෙත ශෝකය පළ කරමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් රජය සහ මහජනතාව වෙනුවෙන් ඉහළ වගකීමකින් යුතුව රාජකාරි ඉටු කරන අතර, රැඳවියන් රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ පසුවන පිරිසක් බව නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව බන්ධනාගාර කාර්ය මණ්ඩලය මෙන්ම රැඳවියන්ද මීට වඩා ඉහළ ආරක්ෂාවකට හිමිකම් කියන බවත්, එම ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික වගකීමක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ පවතින දිගුකාලීන ගැටලු වන අධික තදබදය, යල්පැන ගිය පරිපාලන ක්‍රමවේද සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින දුර්වල පහසුකම් පිළිබඳව යළි අවධානය යොමු කරවන බව ද නිවේදනයේ සඳහන් වේ.
අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාව ලබා දී ඇති ප්‍රතිඥාවන්, නිදහස අහිමි වූ පුද්ගලයින්ගේ ආරක්ෂාව, ගෞරවය සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වැදගත් රාමුවක් සපයන බව ද එහි පෙන්වා දී ඇත.
මෙම සිදුවීමට තුඩුදුන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමට රජය ගත් තීරණය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇගයීමට ලක් කර තිබේ. එම කමිටුවේ සොයාගැනීම් බන්ධනාගාර පද්ධතියේ තිරසාර ප්‍රතිසංස්කරණ සඳහා දායක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
එමෙන්ම, බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් කොන්දේසි වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ යහපැවැත්ම නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවතත් තහවුරු කර තිබේ.
