
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන විමර්ශන කිසිදු හේතුවක් මත නතර නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව අවධාරණය කරයි.
කොළඹ අගරදගුරු මැදුරේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගරු සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළේ, ප්‍රහාරය පිටුපස තිබූ බව කියන කුමන්ත්‍රණය හෙළිදරව් කිරීම වින්දිතයන්ගේ අයිතියක් වන අතර ඒ සඳහා සිදු කෙරෙන විමර්ශන ස්වාධීනව හා අපක්ෂපාතීව ඉදිරියට ගෙන යා යුතු බවයි.
මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පියතුමන් පැවසුවේ, එය විමර්ශනවලදී අනාවරණය වූ සාක්ෂි මත සිදු කර ඇති ක්‍රියාවක් බවයි. එමෙන්ම එම අත්අඩංගුවට ගැනීම කිසියම් අපහාස නඩුවක් අඩාල කිරීමේ අරමුණින් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අදහස් පිළිබඳව ද තමන් අවධානය යොමු කර ඇති බව සඳහන් කළේය.
“මේ බෝම්බකරුවන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණාද යන්න සොයා ගැනීම වින්දිතයන්ගේ අයිතියක්. කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙක් මේ විමර්ශනවලට බලපෑම් නොකළ යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගරු සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළේ, එම පනත යටතේ රැඳවියන්ට අමානුෂික ලෙස සැලකෙන බවට චෝදනා පවතින බැවින් පනත සංශෝධනය කිරීම හෝ සම්පූර්ණයෙන් අහෝසි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.
“PTA පනතේ අමානුෂික පැති තිබෙන බව අපිත් දකිනවා. ඒ නිසා එය සංශෝධනය කළ යුතුයි. එසේ නොමැතිනම් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
පාස්කු ප්‍රහාරය පිටුපස ඉස්ලාම් අන්තවාදීන් සිටි බව කතෝලික සභාව පිළිගන්නවාදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පියතුමන් සඳහන් කළේ, සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම අන්තවාදී මතවාදයක් මත මරාගෙන මැරෙන ප්‍රහාරයන් සිදු කළ බව ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, එම ප්‍රහාරයන් සිදු කිරීමට අනුබල දුන්, පෝෂණය කළ හෝ ආරක්ෂා කළ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළිදරව් කිරීම සඳහා විමර්ශන අඛණ්ඩව සිදු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ “මහ මොළකරු” හෙළි කරන බවට ජනාධිපතිවරයා පසුගිය වසරේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පියතුමන් පැවසුවේ, තමන්ගේ අවධානය යොමුව ඇත්තේ දින වකවානු පිළිබඳව නොව විමර්ශන නීත්‍යානුකූලව හා අපක්ෂපාතීව අවසන් කර අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීම පිළිබඳව බවයි.
“අපි බලාපොරොත්තු වන්නේ මේ විමර්ශන නීත්‍යානුකූලව, අපක්ෂපාතීව කරගෙන ගොස් අවසානයේදී අධිකරණය හමුවේ සත්‍යය අනාවරණය වීමයි,” යනුවෙන් ගරු සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශ කළේය.
