
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කටයුතු සිදු කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් ගෙවීම අද (27) ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එක්වීම වැළැක්වීමේ අරමුණින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2019 වසරේදී නිල්වලා ගඟ ආශ්‍රිතව විශේෂ ව්‍යාපෘතියක් ලෙස කරදිය බාධකයක් ඉදිකර තිබුණි.
කෙසේ වෙතත්, එම බාධකය හේතුවෙන් 2019 වසරෙන් පසු වාර්ෂිකව ඇති වූ ජලගැලීම් නිසා ප්‍රදේශයේ වගාබිම් රැසකට හානි සිදුවී ඇති අතර, ගොවීන්ට වගා කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
විශේෂයෙන් මඩිහගොඩගම, කැකුණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ සහ මැද උයන්ගොඩ ඇතුළු ප්‍රදේශවල ගොවිජන සේවා බල ප්‍රදේශ රැසක වගාබිම් මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇත.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් සහ ගොවි සංවිධාන දිගින් දිගටම අදාළ ආයතන දැනුවත් කිරීමෙන් අනතුරුව, 2019 සිට 2022 දක්වා අනුක්‍රමික කන්න 07ක් සඳහා වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, 2026 ජාතික අයවැය මගින් රුපියල් මිලියන 1,200ක මුදලක් මෙම වගාබිම් සඳහා වන්දි ගෙවීමට වෙන්කර ඇත.
මෙහිදී ගොවීන් 5,000 දෙනෙකුට සහ වගා නොකළ ඉඩම් අක්කර 12,800කට අදාළව වන්දි මුදල් ලබාදීමට නියමිතය.
වන්දි ගෙවීමේ ආරම්භක වැඩසටහන අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, තෝරාගත් ගොවීන් 250 දෙනෙකුට සංකේතාත්මකව වන්දි මුදල් ලබාදීමට නියමිත බව සඳහන් වේ.
අනෙකුත් සියලු වන්දිලාභී ගොවීන් සඳහා ද ඉදිරි දින 14 ඇතුළත අදාළ වන්දි මුදල් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ලවණ බාධක ගැටලුව සම්බන්ධව අප විසින් සිදුකළ වීඩීයෝව
