
භික්ෂුව සහ ළමා අපයෝජන ගැන ආයෙත් වතාවක් කතාබහට ලක්වෙලා තියෙන වෙලාවේ දරුවෝ දහස් ගාණක ළමා විය අහිමි කරන්න ලංකාවේ අගමැතිවරයෙක් දරපු උත්සහයක් ගැන මතක් වුණා.
මම හිතන්නේ මේ කතාව මම කලිනුත් කියල තියෙනවා.
සිදුහත් ගෞතමයින් බුද්ධත්වය ලැබීමේ 2600 වෙනි සංවත්සරය සමරන්න අපූරු වැඩක් කරන්න ඕන කියල එවකට හිටපු අගමැති දිමු ජයරත්නට කල්පනාවක් පහළ වෙලා තිබුන. මම හිතන්නේ ඒ වෙලාවේ බෞද්ධ කටයුතු ඇමති පදවිය දැරුවෙත් ඔහු.
2600 වෙනි සංවත්සරය වෙනුවෙන් දරුවන් 2600ක් සසුන්ගත කරන්න අගමැති දිමු ජයරත්න සැලසුම් කළා. ඔහු කිවුවේ 2011 වෙසක් උත්සවයත් එක්ක ඒ තරම් දරුවන් පිරිසක් සසුන්ගත කිරීමේ අරමුණ බුදු දහම නගා සිටුවීම සහ දිළිඳු පවුල්වල දරුවන් දරිද්‍රත්වයෙන් ගලවා ගැනීම කියලා
අගමැතිවරයා මේ සැලසුම නිවේදනය කළේ විශේෂයෙන්ම බෞද්ධ සිද්ධස්තානවල සහ අනෙකුත් ආගමික ආයතනවලත් සිද්දවෙන ළමා අපයෝජන ගැන නිරන්තරයෙන් වාර්තා පළවෙමින් තියෙද්දී.
මම මෙතනදී විශේෂයෙන්ම බෞද්ධ සිද්ධස්තාන ගැන සඳහන් කළේ ලංකාවේ පුරවැසියන්ගෙන් අති බහුතරය බෞද්ධයන් වීම නිසා, රට පුරාම බහුලව තියෙන්නේ බෞද්ධ විහාරස්තාන වීම හේතුවෙන් ආගමික ආයතන සම්බන්ධයෙන් සැලකුවම ළමා අපයෝජන බහුලව සිද්දවෙන්නෙත් ඒ තැන්වල. කතෝලික හෝ වෙනත් ආගමිකයින් බහුලව ඉන්න රටවල ආගමික ආයතන සම්බන්ධයෙන් සැලකුවම බහුලව ළමා අපයෝජන සිද්ද වෙන්නේ ඒ රටේ බහුතරයක් අදහන ආගමට සම්බන්ධ ආයතනවල. ඒ නිසා බෞද්ධ සිද්ධස්තානවල සිද්දවෙන ළමා අපයෝජන ගැන කතා කළාම බොරු කුමන්ත්‍රණ න්‍යායවල් ඇදගෙන එන්න එපා. කොටින්ම බුදු දහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනව නම් ඒ කුමන්ත්‍රණය කරන්නේ අපයෝජන කරන පුද්ගලයින් (භික්ෂූන් හෝ ගිහියන්) සහ ඒ අපරාධ වසන් කරන අය විනා අපරාධ හෙළිකරන අය නෙවෙයි.
ඉතින් අගමැති දිමු ජයරත්න ගෙ සැලසුම අනාවරණය වුණ ගමන්ම ළමාරක්ෂක ක්‍රියාධරයින් දැඩිව ඒකට විරෝධය පළ කළා. පැහැදිලිවම ඔහු කරන්න හැදුවේ වැරදි වැඩක්. කවුරු හරි සසුන්ගත විය යුත්තේ ඒ ගැන පූර්ණ අවබෝධයක් ඇතුව. එහෙම නැතුව බුදු දහම නගා සිටුවන්න හරි දිළිඳුකම පිටුදකින්න කියල දරුවන්ගේ ළමා කාලය අහිමි කරන්න දෙමාපියන්ට නෙවෙයි රාජ්‍යයටවත් අයිතියක් නැහැ. කොටින්ම දරුවන් මහණ කිරීම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ට එල්ලවෙලා තියන ළමා අපයෝජන චෝදනාවෙන් හෙළිවෙන්නේ මේ විදියට දරුවන් විහාරස්ථානවලට දැක්කීම ළමා අයිතිවාසිකම් උල්ලංඝනයක් විතරක් නෙවෙයි මහා අපරාධයකට උඩගෙඩි දීමක් වෙන්නත් පුළුවන් බව.
මේ ගැන විමසීමක් කළාම අගමැති දිමු ජයරත්න මා සමග කිවුවේ සසුන්ගත වෙන් දරුවන්ගේ දෙමාපියන්ට ආණ්ඩුව මූල්‍යාධාරයකුත් දෙන්න සැලසුම් කරන බව. ඒ වගේම ළමා භික්ෂූන්ට විශ්වවිද්‍යාලය දක්වා යන්න ආණ්ඩුව මූල්‍යාධාර ලබාදෙන බවත් අගමැතිවරයා කිවුව. ඒ සඳහා ජනතාවගෙන් ආධාර බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කළා. (බීබීසී වාර්තාවේ ලින්කුව කොමෙන්ටුවේ)
නමුත් ළමාරක්ෂක අධිකාරියේ නිර්මාතෘ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා සහ ආචාර්ය හිරන්ති විජේමාන්න වගේ ලංකාවේ බුහුමනට පාත්‍ර වෙච්ච ලක්වෙච්ච ළමාරක්ෂක ක්‍රියාධරයින් මේ සැලසුමට දැඩි විරෝධය පළ කළා. ලස්සනම දේ තමයි කොටි සංවිධානයට ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන මහ ලොකුවට කෑගහපු අපේ සමාජය සසුන්ගත කරලා දරුවන්ගේ ළමා විය අහිමි කිරීම ගැන හ්ම් කිවුවේ නෑ. ඒකත් හරියට පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට ළමා අපයෝජන චෝදනාවක් ආපු ගමන් හැමදාම ළමා අපයෝජනයක් නැත්නම් ඝාතනයක් වෙනකොට එල්ලුම් ගහ ඉල්ලලා කෑගහන මිනිස්සු බේතකට වත් හොයාගන්න බැරි වුණා වගේ.
සාමාන්‍යයෙන් ධනවත් පවුල්වල දරුවෝ මේ විදියට ඉතාම බාල වියේදී සසුන්ගත කිරීමක් ගැන අහන්න ලැබෙන්නේ නැති බව ආචාර්ය හිරන්ති විජේමාන්න පෙන්නලා දුන්න. ඇය කිවුවේ ඇත්තටම මේ වගේ දේවලට මුලින්ම විරුද්ධ විය යුත්තේ නායක හාමුදුරුවරු කියල. ඒත් අපේ රටේ සිද්ද වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.
මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මාත් එක්ක කියපු විදියට ළමා සොල්දාදුවන් සහ ළමා භික්ෂූන් කෙලින්ම සංසන්දනය කරන්න නොහැකි වුනත් ඒ දෙක අතර බොහෝ සමානකම් නුත් තියෙනව. සමූහ වශයෙන් දරුවන් සසුන්ගත කිරීමේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රයත්නය මහාචාර්යවරයා දැඩිව හෙලා දුටුවා.
අන්තිමට දරුවෝ 2600 කට ළමා විය අහිමි කිරීමේ සැලසුම අකුලගන්න ආණ්ඩුවට සිද්ද වුණා. ආණ්ඩුව විසින් ළමා විය අහිමි කරනු ලැබීමට තැත් කළ දරුවන් පිරිසක් රැක ගැනීම වෙනුවෙන් හඬ නගන්න හැකිවීම ගැන අදත් මට දැනෙන්නේ සතුටක්.
ළමා විය අහිමි කෙරුණ ළමා භික්ෂූන්, ළමා මවුවරුන් ඇතුළු උතුරේදීත්, දකුණේදීත් වෛද්‍යවරියක ලෙසින් දුටු අත්දැකීම් ගැන ස්වීඩනයේ ඉන්න වෛද්‍ය බෝධිනී සමරතුංග එක්ක කරපු සාකච්ඡාවකුත් පහත ලින්කුවේ දාන්නම්.
