
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසත්, වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
මෙවැනි ව්‍යසනයකට ජනතාව නැවත ලක් නොවන අයුරින් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නායයෑම් හේතුවෙන් නිවාස 1289ක් පූර්ණ හානියට සහ නිවාස 44,574ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බව දැනට සිදුකරන ලද සමීක්ෂණවලදී තහවුරු වී ඇති බව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
