
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෙසෙන තවමත් උප්පැන්න සහතික නොමැති සියලුම දරුවන්ට උප්පැන්න සහතික ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටුවට නියෝග කර ඇති බවට වාර්තා වේ.
ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා උප්පැන්න සහතික අත්‍යවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති කමිටු රැස්වීමේදී ඇය අවධාරණය කළ අතර උප්පැන්න සහතිකයක් නොමැතිව, දරුවන් මුල සිටම දුෂ්කරතාවන්ට මුහුණදෙන බවත්, විශේෂයෙන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ගැටලු පැනනගින බවත් ඇය එහිදී අවධාරණය කළාය.
එබැවින් මෙම ගැටලුවට මුහුණ පා සිටින දරුවන් සඳහා කඩිනමින් උප්පැන්න සහතික නිකුත් කිරීම සඳහා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය සමඟ එක්ව ජංගම සේවා ඒකක සංවිධානය කිරීමට ද ඇය යෝජනා කර ඇත.
පාසල් නොයන දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සහතික කිරීම, පාසල් හැර ගිය වයස අවුරුදු 16 ට අඩු දරුවන් වෘත්තීය පුහුණුව සඳහා යොමුකිරීම, ගමනාගමන අභියෝගවලට මුහුණදෙන දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම, මව්වරුන් තම දරුවන් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීමේ සිද්ධීන් විමර්ශනය කිරීම ඇතුළු කඩිනම් අවධානය යොමුකළ යුතු තවත් කරුණු කිහිපයක් ද එහිදි දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දී ඇත.
