
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු හතර දක්වා අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම මෙම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද පස්වරු හතරට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමිවන අතර යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.
එමෙන්ම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කටුනතිලක ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසන ආකාරයට පක්ෂය මේ සම්බන්ධයෙන් නිල ස්ථාවරයක් ගෙන නොමැති බවයි.
