ළමා ආරක්ෂණ අධිකාරියෙන් අපයෝජන දී කටයතු කළ යුතු ආකාරය පිලිබඳව පාසල් වෙත උපදෙස් මාලාවක්!

කොටහේනේ ප්‍රදේශයේ මියගිය දැරිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටියි. එහි සභාපති, මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින් වාර්තාවක් කැඳවා ඇති බවයි.

පාසලේ කීර්ති නාමය ආරක්ෂා කිරීම හෝ පැමිණිලිකාර පාර්ශ්වය අධෛර්යට පත්කිරීම වැනි කරුණු නිසා පාසල් තුළ ළමුන්ට සිදුවන ශාරිරික, මානසික හා ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් නොදීම සිදුවන බවට නිරීක්ෂණය වී ඇතැයිද ළමාරක්ෂක අධිකාරිය ප්‍රකාශ කර ඇත. මෙවැනි තත්ත්ව අවම කර ගැනීම සඳහා මේ ආකාරයට සිදුවන අපයෝජන අවස්ථාවල දී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පහත පරිදි දැනුවත් කිරීමට කටයතු කර ඇති බව මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසා සිටියි.

1. ඒ අනුව යම් අපයෝජන සිද්ධිය පාසල තුළ වාර්තා වූ වහාම විදුහල්පති විසින් හෝ වගකිව යුතු පාර්ශ්වයන් විසින් ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ළමා උපකාරක සේවය මගින් හෝ ජාතික ළමාරක්ෂක අධිකාරිය, අංක 33 , තලවතුගොඩ පාර මාදිවෙල ශ්‍රී ජයවර්ධනපුර, යන ලිපිනය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත වාර්තා කරන්නැයි පාසල්වලට උපදෙස් ලබාදී ඇත.

2. ළමා අපයෝජනයක සැකකරුවන් යැයි චෝදනා ලබන විදුහල්පතිවරු හෝ ගුරුවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, අවසාන නඩු තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ට තවදුරටත් ළමුන් සමග කටයුතු කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ලබා දීම.

3. එකී වග උත්තරකරුවන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පවත්වන අවස්ථාවලදී වින්දිත ළමයින් තවදුරටත් පීඩාවට පත් නොවන පරිදි එකී පරීක්ෂණ පැවැත්විය යුතු බවට බලධාරින් දැනුවත් කිරීම.

4. ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් හෝ පොලිසිය මගින් ළමා අපයෝජනවල සැකකරුවන්ට එරෙහිව නීතිය බලාත්මක කරන විට පැමිණිලිකාර ළමයින් පාසලෙන් ඉවත් කිරීම හෝ ළමයින්ට බලපෑම් සිදුකිරීම, එම ළමයින් කොන් කිරීම හෝ ලේබල් කිරීම යන අගතිගාමි ක්‍රියාමාර්ගවලින් වැළකී සිටිය යුතු බවට අධ්‍යාපන බලධාරින් දැනුවත් කිරීම යන කරුණු ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සහ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමුකල යුතු බව.

එමෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ළමයින් සම්බන්ධව සිදුවන අපයෝජන සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේ කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා ඒ පිළිබඳ තොරතුරු නොසඟවා ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත කඩිනමින් වාර්තා කිරීම අත්‍යවශ්‍ය බවයි.

 

Social Sharing
අවකාශය පුවත්