කුමන වේශයකින් ආවත් කොතලාවල පනත පරාජය කළ යුතුය! – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

kotelawala defence university act Must be defeated

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන් ගෙන් වෙනස් වූයේ ඊට ඇතුළත් වීමට ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් එමෙන්ම කුසලතා අනුපිළිවෙලින් පිට පැන එයට සිසුන් බඳවා ගැනීමත් ය. එහිදී වඩාත් ම බැරෑරුම් ගැටලුව වූයේ එම වෛද්‍ය පීඨයෙන් ලබා දුන් අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවයට වඩා එමගින් සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇති කරලීමය.

සයිටම් ආයතනය යනු පෞද්ගලික ආයතනයකි. එනම් එය ව්‍යාපාරිකයකුට අයත් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් ම පවත්වාගෙන ගිය ව්‍යාපාරයකි. එය ලෝකයේ අනෙක් බොහෝ දියුණු රටවල දක්නට ලැබෙන පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලවලට වඩා වෙනස් ය. එනම් හාවඩ්, ප්‍රින්ස්ටන්, යේල් වැනි විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස හැඳින්වූවත් ඒවා ලාභ අපේක්ෂාවෙන් පවත්වාගෙන යන, එමෙන්ම තනි ව්‍යාපාරිකයෙකුට අයිති ව්‍යාපාර නොවේ. ඒවා සමාජය සතු පොදු ආයතන විශේෂයකි. ඒවායෙහි ලාභ බෙදා ගැනීමක් නැත. ඒවායෙහි පදනම ලාභය නොව කීර්තියයි. ඒවා සමාන වන්නේ ලංකාවේ ශාන්ත තෝමස් ත්‍රිත්ව මියුසියස් වැනි පාසල් වලටයි. නැතිනම් පාසල් ජනසතුවට පෙර පැවති ආනන්ද නාලන්ද ධර්මරාජ වැනි පාසල්වලටයි. නමුත් සයිටම් යනු හුදු ලාභය ම අපේක්ෂා කරන ලද, පුද්ගලයෙකු සතු ව්‍යාපාරයකි. ඒ නිසා එමගින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට නොහැකිය. ඊට හේතුව වන්නේ එබඳු ආයතනවලට සිසුන් පැමිණෙන්නේ ගුණාත්මක තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොව ඒ වෙනුවට උසස් වෘත්තියක් සඳහා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට වීම නිසාය. එම ප්‍රවේශපත්‍රය දැරිය හැකි මිලකට තමන්ට ලැබීමෙන් ශිෂ්‍යයා සතුටට පත්වන අතර එම ප්‍රවේශ පත්‍රය ශිෂ්‍යයාට විකිණීමෙන් ලබාගත හැකි ලාභය නිසා ව්‍යාපාරිකයා ද සතුටු වෙයි. ඒ අනුව මිල නියම වන්නේ උපාධියේ ගුණාත්මක භාවයට නොව උපාධි සහතිකයටයි. ඒ අනුව සයිටම් විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නය බවට පත්වූයේ ම ගුණාත්මක භාවයයි. ඒ සමඟම කුසලතා අනුපිළිවෙළ බිඳින බැවින් සමාජ සාධාරණත්වය පිළිබඳව ද යම් ගැටලුවක් තිබිණ.

නමුත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය නමින් දැන් පටන් ගන්නට යන ආයතනය පිළිබඳ ප්‍රශ්නය ඒ දෙකටම  වඩා බෙහෙවින්ම බැරෑරුම්ය. මීට හේතුව එමගින් ගුණාත්මකභාවය හා සමාජ සාධාරණත්වයට අමතරව වෙනත්, ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් ඇති කරන බැවිනි. එනම් මිලිටරිකරණය යි. මිලිටරිකරණය යනු හමුදාව මගින් මර්දනයක් දියත් කිරීම ම නොවේ. ඒ එක පැත්තක් පමණකි. එබඳු මර්දනයක් වඩා දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන යාමට හැකි වන්නේත් එමෙන්ම එම මිලිටරි විලංගුවෙන් සමාජයකට මිදිය නොහැකි තත්ත්වයක් ඇති වන්නේත් සමස්ත සමාජයම මිලිටරියේ ක්‍රියාකාරීත්වයට හසුකර ගැනීම මගිනි. එය සිදු වන්නේ හමුදාවට අයත් නොවන වෙනත් ක්ෂේත්‍රවල පාලනය සහ ක්‍රියාකාරීත්වයද හමුදාවට භාර දීම මගිනි. පාකිස්තානය, බුරුමය සහ සමහර අප්‍රිකානු රටවල අද සිදුව ඇත්තේ එයයි. එම රටවල ආර්ථික, ව්‍යාපාරික, පරිපාලන, අධ්‍යාපන ආදී සෑම ක්ෂේත්‍රයක්ම පාහේ මිලිටරියේ බලයට යටත් වී ඇත. එමගින් ආපසු හැරවිය නොහැකි තත්වයක් ඇති වී ඇති නිසා එම රටවල් එකතැන පල්වෙන හෝ විනාශය කරා ගමන් කරන සමාජයන් බවට පත් වී ඇති බව පැහැදිලි වේ.

මේ සෑම රටකම පාහේ එම මිලිටරිකරණය මුලදී ආරම්භ වූයේ සමාජයේ ආශිර්වාදය මතිනි. නමුත් කාලයක් ගත වෙද්දී සමාජයට ගැලවිය නොහැකි විලංගුවක් බවට එය පත් විය. රටක හමුදාවක් පවතින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් එමෙන්ම ජාතික ආපදා තත්ත්වයකදී අවශ්‍ය සහාය ලබාදීමටත් ය. ඒ විනා රාජ්‍ය ව්‍යුහයට හෝ රටේ ආර්ථිකයට සම්බන්ධ වීමට හමුදාවට අවස්ථාවක් දිය යුතු නැත. එසේ අවස්ථාව ලබාදුන් ලබා දුන් සෑම රාජ්‍යයක්ම අතිවිශාල විනාශයන්ට ගමන් කර ඇති බව ලෝක ඉතිහාසය සාක්ෂි දරයි. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පිළිබඳ ප්‍රශ්නය මීට පෙර පැවති උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සහ සයිටම් ආයතනය වැනි ප්‍රශ්නවලට වඩා ඉතාමත්ම බැරෑරුම් ගැටලුවක් වන්නේ මේ නිසාය.

ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හොඳ වුවත් නරක වුවත් ඒ පිළිබඳ කුමන මතවාදයක් දැරුවත් ඒ සියලු දෙනා දෙනා මේ සටනේදී එක් පිලකට ගොනු වීම අත්‍යාවශ්‍යය. මෙය එක අතකින් අධ්‍යාපන ප්‍රශ්නයක් වන අතරතුරම අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුවකි. ලංකාවේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයකි.

රටක ශක්තිමත් හමුදාවන් පැවතීම කිසිසේත්ම ගැටලුවක් නොවේ. නිදසුනක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රංශය බ්‍රිතාන්‍ය වැනි රටවල ලෝකයේ බලවත්ම හමුදා පවතී. නමුත් එම රටවල හමුදා විසින් ඉටු කරන්නේ හමුදාවන් විසින් ඉටු කළ යුතු වගකීම් විනා වෙනත් රාජ්‍ය අංශයන් හෝ පෞද්ගලික අංශයන් විසින් ඉටු කළ යුතු දේ නොවේ. ඒ නිසා ඒවා ශක්තිමත් රාජ්‍යයන් වන  අතරතුර ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් බවට ද පත්ව ඇත. නමුත් ලෝක පරිමාණයෙන් ගත්කල දුර්වල හමුදා පවතින සමහර රටවල ඒ තත්ත්වය වෙනුවට හමුදාව සමස්ථ  රාජ්‍යය බවට පත්වෙන අවස්ථා අපි අත්දැක ඇත්තෙමු. එවිට සිදුවන්නේ ඒ  රාජ්‍ය විනාශ වී ප්‍රජාතන්ත්‍රවාදය නැති වී මුළු සමාජයම ඉතාමත්ම අඳුරු ඉරණමකට ලක් වීමය. ශ්‍රී ලංකාව මේ මොහොතෙහි පවතින්නේ එම තෝරාගැනීම් දෙක ඉදිරිපිටය.

කුමන වේශයකින් පැමිණියත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල විද්‍යාල පනත පරාජය කළ යුතුම වන්නේ ඒ නිසාය.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
Social Sharing

Related posts