මානව හිමිකම් කොමිසම ගුවන්  හමුදාපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසුරිය මහතාගේ අත්සනින් යුක්තව මෙම ලිපිය ඉකුත් 14 වෙනි දින ගුවන් හමුදාපතිවරයා වෙත යොමු කොට ඇත.

එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂණ් සභාව වෙත ඉකුත් 09 දින ලද පැමිණිල්ලකට අනුව පැමිණිලි අංක HRC /1443/21 දරණ පැමිණිල්ලට අනුව කොමිසෙමේ යාපනය සම්බන්ධීකරණ නිලධාරී ටී.කනගරාජ් මහතා ඇතුළු කණ්ඩායම මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගිය අවස්ථාවේ විමර්ශනයට අවශ්‍ය තොරතුරු එම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ලබා දී නැති බව ද, අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යාලයෙන් ගුවන් හමුදාපති දැනුම්වත් කර දෙවැනි දිනටත් කණ්ඩායමක් මූලික පරීක්ෂණය සඳහා ගොස් ඇති බවය.

දෙවැනි වර කොමිෂන් සභා නිලධාරී කණ්ඩායම කඳවුරට ගිය අවස්ථාවේ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා දොරටුව අසලට පැමිණ එම කණ්ඩායම මුණ ගැසී ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට යෑමට අවස්ථාව ලබාදී නැති බව ද කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙසේ කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය හා බලතල අගරුවීමකට ලක්ව ඇති බව සඳහන් කරන කොමිසම, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව අධිකරණ ආඥාවක් මඟින් හෝ වෙනත් ආකාරයකින් පුද්ගලයන් රඳවනු ලැබ තිබෙන ස්ථාන නිරීක්ෂණය කිරීමට බලය ඇති බව ද මෙම ලිපියෙන්  අවධාරණය කර ඇත.

එබැවින් මෙලෙස මූලික පරීක්ෂණයට සහාය නොදැක්වීම පිලිබඳ පරීක්ෂා කොට ජූලි 20 වැනිදාට පෙර කොමිසම වෙත වාර්තාවක් එවීමට කටයුතු කරන ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා ගුවන්හමුදාපතිවරයාට දැනුම් දී ඇත.

-ශානි-

Social Sharing
නවතම