පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි!

ඉකුත් සතියේ කොළඹ නගරයේ පැවති උද්ඝෝෂණ වලදී පොලිසිය අනිසි ලෙස සිය බලය හා නිරෝධායන නීතිය භාවිතා කරමින් හැසිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි  පිලිබද ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශන අරඹා ඇත.

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සහ බත්තරමුල්ල පොල්දූව වටරවුම අසල උද්ඝෝෂණවල නිරත වූ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැර තිබියදී ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව පොලීසියට චෝදනා කරමින් කරමින් සිටියි.

ඒ ඔවුන් සිය බලය අවභාවිතා කළ බවටය. බලහත්කාරී ලෙස නිරෝධායන කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කර ඇත. මේ අතර සිවිල් සංවිධාන කිහිපයක් මේ සම්බන්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද පහුගිය සතියේ පැමිණිලි කර තිබුණි.

මේ සම්බන්ධව ජාතික පොලිස් කොමිසමේ සභාපති, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කර සිටියේ ලැබුණු පැමිණිලි වලට අදාලව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. එසේම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය වින්දිත පාර්ශවය මේ වන විට නිරෝධායන කටයුතු වල නියැලෙන බැවින් ඔවුන් නිරෝධායන කටයුතු අවසන් කර පැමිණි වහාම ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවය.

-ශානි-

Social Sharing
නවතම