රට විරැවන්ගේ ජීවිත අනතුරේ..!

අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 පාලනය කිරීම සම්බන්ධව අපට මේ මොහොතේ යම් පමණකට සතුටු විය හැක. ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවල මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, ඉන්දියාව තුළ පමණක් දිනකට වාර්තාවන කොරෝනා රෝගීන් ප්‍රමාණය මේ වන විට 15,000කට ආසන්න වී තිබේ. පකිස්තානය තුළ දිනකට රෝගීන් පන්දහසක් ද, බංගලාදේශය තුළ දිනකට රෝගීන් දෙදහසකට වැඩි පිරිසක් ද වාර්තා වේ. නමුත් ශ්‍රී ලංකාව තුළ මෙම වසංගත තත්ත්තවය ඉතා සාර්ථකව පාලනය කර ඇති අතර, ඊයේ සහ අද දින කිසිදු රෝගියෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

අසල්වැසි රටවල තුළ මෙම වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීම අපට ඉතා අවදානම් වන අතර, ඊටත් වඩා අවධානමට මුහුණ දෙන තවත් බරපතල ගැටලුවක් ලෙස විදේස්ගතව සිටින අපගේ ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ දී ඇතිවන ගැටලුව හැදින්විය හැක.

දැනටමත් මිලියන තුනකට වැඩි ශ්‍රී ලාංකියන් පිරිසක් විවිධ රටවල සේවයේ යෙදී සිටී. ඉන් වැඩි පිරිසක් සේවයේ යෙදී සිටින්නේ මැද පෙරදිග කලාපය තුළ බවයි වාර්තා වන්නේ. අද වන විට දකුණු ආසියාව මෙන්ම, මැද පෙරදිග කලාපයේ රටවල් තුළද මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිරෙමින් තිබේ. මින් සවුදිආරාබිය, කටාර් රාජ්‍යය හා කුවේටය යන රටවල තත්ත්වය බරපතල වී තිබේ.

මේ හේතුවෙන් මැද පෙරදිග වෙසෙන අප ශ්‍රමිකයින් සැලකිය යුතු පිරිසකට දැනටමත් මෙම වෛරසය වැලදී ඇති බව වාර්තා වන අතර, දැනටමත් ශ්‍රී ලංකාව තුළ මෙම වෛරසයෙන් මිය ගිය ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් මැද පෙරදිග දී මෙම වෛසරය හේතුවෙන් මිය ගොස් ඇති බවත් වාර්තා වේ.  කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි පසුගියදා වාර්තා විය. ඒමෙන්ම, පසුගිය දා 18 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි 290ක් පමණ වූ පිරිසෙන් 19 දෙනෙකුට මෙම වෛරසය වැලදී ඇති බවට වාර්තා විය.

ඉතා අවම කොන්දේසි මත, මූලික කම්කරැ අයිතිවාසිකම් පවා නොමැතිව මැද පෙරදිග සේවයේ යෙදෙන මෙම ශ්‍රමිකයන් මෙම වසංගත තත්ත්වය තුළ විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ඔවුන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර ඇති තොරතුරැ හරහා පෙනේ. අවම සෟඛ්‍ය පහසුකම් තබා කෑම බීම ඉදුම් හිටුම් ඇතුලු මූලික අවශ්‍යතාවයන් පවා නොමැතිව පාරවල් හා පේමන්ට් තුළ ජීවත් වන විශාල පිරිසක් සිටින බව ද වාර්තා වේ. ඒමෙන්ම, සමහර සේවකයින් මෙම තත්ත්වයට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානිකර ගෙන ඇති බවත්, සවුදියේ දමාම් නගරයේ දී ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු ඒසේ සිය දිවි හානිකර ගෙන ඇති බවත් පසුගියදා මාධ්‍ය වාර්තා කලේය.

පසුගිය අවුරැදු කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග බවට පත්ව තිබුනේ විදෙස්ගත ශ්‍රමිකයින් වීම නිසා ඒවකට පැවති රජයන් විසින් රටවිරැවෝ නමින් ඔවුන්ට විශේෂ ගෞරව නායමක් ද ලබා දෙන ලදී. නමුත් අද ඔවුන් පත්වී සිටින තත්ත්වය ඉතා ඛේදජනකය. ඒදා රටවිරැවන් අද කොවිඩ් වෛරසය ලංකාවට ගෙන ඒනු ලබන මිනිස් බෝම්බකරැවන් බවට පත්ව තිබේ.

දැනටමත් විවිධ රටවල් තුළ ඒසේ සේවය කළ 12,000 කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්වා ගත් බව විශයභාර ඇමතිවරයා ප්‍රකාශ කර තිබුනි. නමුත් මෙම රෝගය වේගයෙන් පැතිරෙන රටවල හිරවී සිටින ශ්‍රී ලංකිකයින් ගෙන්වා ගැනීම සදහා දැනට යොදා ඇති ක්‍රමවේදය සාර්ථක නොවන බව නම් කිව යුතුය.

උපුටා ගැනීම – රිපෝටර්ගේ කොලම www.dailyreporter.lk

Social Sharing
නවතම විශේෂාංග